Wednesday, May 23, 2018

ඩම්ප් ට්‍රක් හැදුණු හැටි


Pinterest

අවුරුදු මිලියන ගාණක් තිස්සේ සතෙක් එලාගෙන, හේනක් වවාගෙන, අහස බලාගෙන ගෙවිච්චි මනුස්ස සංස්කෘතිය ඔළුවෙන් හිටගත්තේ කාර්මික විප්ලවයත් එක්ක. කාර් පිස්සුවෙ අපට වැදගත් වෙන විදිහට කියනවා නම් මනුස්ස ශ්‍රමය වෙනුවට ආදේශ කරන්න පුළුවන් යන්ත්‍රසූත්‍ර බිහිවීමත් එක්ක.

19 වන වන සියවසේ සහ 20 වන සියවසේ මුල නිර්මාණය වුණු කාර්මික යන්ත්‍රසූත්‍ර වල හරි අපූරු පෞරුෂයක් තියනවා කියල මට හිතෙනවා. තාක්ෂණය නහයට උඩින් කිලෝමීටර් සීයක් විතර ඉහළට ගිහින් තියන අද වගේ කාලෙක කාර්මික යන්ත්‍රසූත්‍ර පවා නිකං රෝස මලේ හදවත වගේ මටසිළිටි වෙලා තියෙන්නේ. මීට සාපේක්ෂව බලනකොට අර අතීතයේ මුලින්ම බිහිවුණු යන්ත්‍රසූත්‍ර මනුස්ස චින්තනයේ සහ සංස්කෘතියේ හදිස්සි වෙනසක් ගැන අපූරු කතාවක් කියනවා..

මේක බොහොම පුළුල් මාතෘකාවක් නිසා මම ඒ ගැන පොදුවේ කතා නොකර ඩම්ප් ට්‍රක්ස් (Dump Trucks) ගැන විතරක් කතා කරන්නම්.


Mike Jorgensen- Pinterest

කර්මාන්ත සාර්ථක වෙන්න නම් අමුද්‍රව්‍ය සැපයුම කාර්යක්ෂම සහ වාසිදායක වෙන්න ඕනේ. ඉස්සර ඊජිප්තුවේ පිරමීඩ හදන්න වහල්ලු ලක්ෂ ගාණක් දාලා අවුරුදු විස්සක් තිහක් උන්ව මැරෙව්වා වගේ කර්මාන්ත පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා එකපාරට අමුද්‍රව්‍ය ගොඩක් අරගෙන ඇවිල්ලා, ඒවා ඉක්මනට අන්ලෝඩ් කරන ක්‍රම අවශ්‍ය වුණා. ඒ වගේම කුණු අදිනවා වගේ වැඩ වලදී පටෝගත්තු කුණු ටික මැද්දට බැහැලා සවල් ගගහා ඉන්නවා වෙනුවට ඒවා එකපාර හලලා දාන්න ක්‍රමයක් අවශ්‍ය වුණා.


බොක්කට වැදෙන්න කියනවා නම්, ප්‍රථම ප්‍රේමය අහිමි වුණු අලුත දවස් යනවා වගේ හෙමින් නැතුව, රස්සාවල් කරන මිනිස්සුන්ගේ සෙනසුරාදා සහ ඉරිදා දවස් ගෙවෙනවා වගේ ඉක්මනට ලෝඩ් අන්ලෝඩ් කරන ක්‍රමයක් අවශ්‍ය වුණා.

මේකට විසඳුමක් හැටියට තමයි ලෝකෙට ඩම්ප් ට්‍රක් බිහිවුණේ.

ඒ දවස් වල ලෝකයේ ප්‍රධානතම ඉන්ධන වුණේ ගල් අඟුරු. ඉතින් ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් විදිහට තමයි මුලින්ම මේ ඩම්ප් බොඩි නිර්මාණය වුණේ. මම ඩම්ප් බොඩි කියන යෙදුම පාවිච්චි කරන්නේ මේවා වෙනම වාහන වර්ගයකට වඩා වෙනම බොඩි වර්ගයක් විදිහට සලකන්න අවශ්‍ය නිසයි. 


Pinterest 

මුල් කාලයේ මේවා ඩම්ප් බොඩි හයිකරපු අශ්ව කරත්ත විදිහට ආපු බව ඔයාලා දැනටමත් අනුමාන කරලා ඇති. ඔවු, මේවා ඉස්සරාලම ආවේ එහෙම තමයි. හැබැයි මෙතැනදී මතුවන වැදගත්ම ප්‍රශ්නය තමයි ලෝඩ් එක ඩම්ප් කරන්න පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියන එක. මොකද ඒ වෙනකොට මෝටර් හෝ Hydraulic තාක්ෂණ ලෝකයට බිහිවෙලා තිබුණේ නැහැ. ඉතින් මිනිස්සු තෝරාගත්තේ අපි කාගේත් නොදුටු මිතුරාගේ පිහිට තමයි. 

ඒ මොකාද ඒ? 

ඒ තමයි ගුරුත්වාකර්ෂණය... 

මේ ඩම්ප් බොඩි නිර්මාණය කරලා තිබුණේ ලෝඩ් එක ගැහුවට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය (Center of gravity) පිටිපස්සේ ඇක්සල් එකට පොඩ්ඩක් පිටිපස්සෙන් පිහිටන විදිහට. ලොක් එකකින් තමයි බොඩි එක අල්ලාගෙන හිටියේ. අන්ලෝඩ් කරන්න අවශ්‍ය තැනට ගිහිල්ලා ලොක් එක පැන්නුවාම ගුරුත්වාකර්ෂණය නිසා ලෝඩ් එක ඉබේම හැලුණා. මෙහෙම ලෝඩ් එක බෑවට පස්සේ තට්ටුව ඉබේම ආපහු වැටෙනවලු. ඊට පස්සේ ඔපරේට් කරන හාදයා තට්ටුව ලොක් එක දාලා ඊළඟ ලෝඩ් එක ගන්න යනවා. 


www.andrew.cmu.edu

මේවා මුල් කාලේ රෝද දෙකේ සහ රෝද හතරේ වර්ෂන් ඇවිත් තියනවා. මුල් කාලේ අශ්වයෝ කරපු වැඩේ පස්සේ ස්ටීම් ට්‍රක් වලට භාර වුණා. නමුත් මේ ඩම්ප් ක්‍රමේ ටික කාලයක් පැවතුණා. මේකේ තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බර හැමතිස්සෙම පිටිපස්සේ ඇක්සල් එකෙන් පිටිපස්සට ඒම. මේ විදිහට බර අසමාන විදිහට බෙදී ගියාම වාහනේ හසුරුවන්න අමාරු වෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. 


Kenny Shackleford

Tom Woodruff- Pinterest

මීට අමතරව තව බොටම් ඩම්ප් සිස්ටම් එකකුත් තිබුණා. එතනදී බක්කිය තියෙන්නේ ඇක්සල් දෙක අතරේ. බොඩිය තියෙන්නේ කොටස් දෙකකට. චේන් එකකින් මේ කොටස් දෙක එකතු කරලා ලෝක කරලා තිබුණාලු. අන්ලෝඩ් කරන තැනට ගියාම ඔපරේටර් පැඩ්ල් එකකින් මේ ලොක් එක අරිනවා. එතකොට චේන් එක රිලීස් වෙලා බොඩියේ කෑලි දෙක දෙපැත්තට ගිහින් ලෝඩ් එක කරත්තේ පාමුල වැටෙනවා. 

දැන් සමහරුන්ගේ හිතේ මැවිලා ඇත්තේ මොකෙක් හරි සතෙක් මළපහ කරනවා වගේ දසුනක්. ඒ ගැන මට දොස් තියන්න එපා. Bottom Dump ක්‍රමේ තාමත් භාවිතා වෙනවා නේ. 


blackwood-hodge.typepad.com

1910 පන්නලා සියවසේ දෙවෙනි දශකයට එද්දී මෝටර් ට්‍රක් රථ පාවිච්චිය ජනප්‍රිය වෙමින් තිබුණේ. විශේෂ ට්‍රක් බොඩි හදන සමාගම් ඒ වෙනකොට දියුණු වෙලා තිබුණා. මෙයාලා ෆෝඩ් සහ මැක් වගේ චැසි වලට එක එක විදිහේ බොඩි නිර්මාණය කළා. මේ කාලේ ඩම්ප් බොඩි වර්ග කීපයක් දකින්න පුළුවන්. මේ අතරින් මෝටර් වලින් ක්‍රියාකරන වර්ග සහ Hydraulic පද්ධති වලින් ක්‍රියාකරන වර්ග ප්‍රධානයි. 


www.classicrefusetrucks.com- මේක 1921 අවුරුද්දේ පළවුණු, කුණු ලොරි වලට අදාළ බොඩි සම්බන්ධ දැන්වීමක් 


ඇත්තටම Hydraulic පද්ධති නිර්මාණය වීම තමයි ඩම්ප් ට්‍රක් තාක්ෂණය ඇතුළුව අද දවසේ කාර්මික රථවාහන බොහොමයක් නිර්මාණය දියුණු වෙන්න පදනම හැදුවේ. 



www.classicrefusetrucks.com


අද වෙද්දී ඩම්ප් ට්‍රක් තාක්ෂණය කොයි තරම් දුරකට දියුණු වෙලා තිබුණත් අතීතයේ ඩම්ප් ට්‍රක් වල තිබුණු තාක්ෂණයේ මූලිකාංග සහ අද දවසේ ඩම්ප් ට්‍රක් වල ප්‍රධාන අංග සමානයි කියලා 
www.hammertrucks.com වෙබ් අඩවිය පෙන්නලා දෙනවා. එතන පෙන්නලා දෙන මූලිකාංග මෙහෙමයි. 

1. ට්‍රක් ෆ්‍රේම් එක: එදා වගේම තාමත් ඩම්ප් ට්‍රක් වල පාවිච්චි වෙන්නේ තවත් බොහොමයක් දේවල් වලට පාවිච්චි කරන පොදු ට්‍රක් ෆ්‍රේම් එකක්මයි. ලොකු ලෝඩ් දරන්න පුළුවන් විදිහට මේවායේ සවිශක්තිය වැඩි කරලා තමයි ඩම්ප් ට්‍රක් විදිහට පාවිච්චි කරන්න ඩම්ප් බොඩි සහ යාන්ත්‍රික කොටස් සෙට් කරන්නේ. 

2. Hydraulic පද්ධති: ඇත්තටම කියනවා නම් ඩම්ප් ට්‍රක් වලට Hydraulic පද්ධති ඉස්සරලාම හඳුන්වලා දීපු දවස් වල ඉඳලා මේ දක්වා ඒවා භාවිතා වෙන විදිහ මහා ලොකුවට වෙනස් වෙලා නෑ ලු. අද වගේම එදත් සිද්ධ වුණේ Hydraulic පද්ධතියකින් බෙඩ් එක හෙමින් සීරුවේ ඉස්සිලා, ලෝඩ් එක බෑවට පස්සේ ආපසු හෙමින් සීරුවේ ආපහු පාත් වෙන එකයි. ඉස්සරම ට්‍රක් වල මේ පද්ධති වලට බල ලැබුණේ ස්ටීම් වලින්. පස්සේ මේවා ප්‍රධාන එන්ජිම හරහා PTO drive train එකකින් බලය ලබන ක්‍රම බවට පත්වුණා. එච්චරයි. 

3. ඩම්ප් බෙඩ් එක: ඩම්ප් බෙඩ් එකෙත් කියන්න තරම් මහලොකු වෙනසක් වෙලා නැහැ. වාහන වර්ගයේ හැටියට වෙනස් වුණත් පොදුවේ තාමත් සිද්ධ වෙන්නේ තට්ටුව ඉස්සුවාම පිටිපස්සේ දූර ඇරිලා ලෝඩ් එක බිමට වැටෙන එක තමයි. 

(වැඩි විස්තර කියවන්න කැමති අය www.hammertrucks.com වෙබ්සයිට් එකට යන්න). 

මේ වෙනකොට ඩම්ප් ට්‍රක් වල තාක්ෂණය සෑහෙන්න දියුණු වෙලා තියනවා වගේම ට්‍රක් වර්ග රාශියකුත් නිර්මාණය වෙලා තියනවා. මේ ට්‍රක් වල ෆොටෝ දැක්කම මතක් වෙන්නේ Kardashian ලගේ ෆැමිලි ෆොටෝ එක වගේ දේවල්. 


www.cherokeetruck.com/


ඩම්ප් ට්‍රක් ගැන පොඩි සටහනක් තියන්න හිතුණේ ඊයේ පෙරේදා Komatsu එකේ Haul Trucks වගයක් හම්බන්තොටින් ලංකාවට ගොඩ බැහැලා හෙමින් හෙමින් පුත්තලමේ යමින් ඉන්න බවට හතර අතින් ආරංචි ලැබෙන්න ගත්තු නිසයි. Komatsu එක මේවා නම්කරලා තියෙන්නේ Dump Trucks-Rigid විදිහට. මේ ට්‍රක්ස් විශේෂයෙන්ම පතල් වගේ දුෂ්කර තැන්වල දැවැන්ත බර කඳු අදින්නම හදාපුවා. මේ අතරින් මූලිකම මට්ටමේ ට්‍රක් එකේ payload capacity එක කිලෝග්‍රෑම් 36,500 ක්. රේන්ජ් එකේ ඉහළින්ම තියන ට්‍රක් එකේ  payload capacity එක කිලෝග්‍රෑම් 326,585 ක්!




  මේ ෆොටෝ එවුවේ ඉසුරු අමිල ජයලත්ගේ : www.facebook.com/CarPissuwa/posts/2236937902999362

එයාලගේ සයිට් එකට යන්න කම්මැලි අය වෙනුවෙන් ඒ චාට් එක මම මෙහෙම දානවා. මේවායේ සියලුම හිමිකම් එයාලා සතුයි.


Model
Engine Power (kW@rpm)
Weight (kg)
Payload Capacity (kg)
Travel Speed (kmph)
371@2000
31,600
36,500
70
371@2000
34,400
41,000
70
533@2000
43,100
55,000
70
533@2000
46,200
63,000
70
879@1900
72,000
91,000
65
1109@1900
249,478
144,100
58
1492@1900
328,401
181,436
64.5
1865@1900
385,848
221,648
64
2014@1900
454,363
254,000
64.5
2014@1900
501,974
291,790
64.5
2610@1900
505,755
291,790
64.5
2610@1900
576,072
326,585
64.5
2610@1900
576,072
326,585
64.5
2610@1900
625,277
326,585
61

මේක දැක්කම ඔයාලට වැඩේ පැහැදිලි ඇති. 




මේ ෆොටෝ ටික ලැබුණේ අරුණ දිසානායකගෙන් 

මේ ට්‍රක් වලට ලැබුණු ප්‍රතිචාරයේ දිග පළල දැක්ක නිසා, මේ ගැන උනන්දු වෙන අයට වැඩිදුර අධ්‍යයනය කරන්න දෙන මූලික ප්‍රවේශයක් විදිහට තමයි මේක ලිව්වේ. ගිය පාර ඩුකාටි ස්කූටර් එක ගැන ලිව්වට පස්සේ මීට වඩා නිර්මාණාත්මක දෙයක් ලියන්න හිතාගෙන හිටියත්, මේ මොහොතේ ඒ වගේ දේකින් මනෝ ගහනවට වඩා factual දෙයක් ලියන එක හොඳයි කියලා හිතුණා. 

මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊළඟ ලිපිය මොකක්ද කියන එය තීරණය වේවි... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
2018 මැයි 23 
www.facebook.com/CarPissuwa

(උපුටා ගන්න අවශ්‍ය අය කරුණාකරලා එක්කෝ අහන්න. නැත්නම් අදාළ තැන්වල කාර් පිස්සුවෙ නම හෝ ලින්ක් එක දාන්න)

පසු සටහන්:

1. ඩම්ප් ට්‍රක් වල ඉතිහාසය සරලව දැනගන්න කැමති අයට වැදගත් වෙන විස්තරයක් www.depaula.com වෙබ් සයිට් එකේ තියනවා. කැමති අය ගිහින් බලන්න.

2. කොමට්සු එකේ ට්‍රක් ගැන දැනගන්න ආසා අය www.komatsu.com.au වෙබ් සයිට් එකට යන්න. ඒක තොරතුරු ගබඩාවක්!

3. මේවා ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවා නං මෙතන කොමෙන්ටුවක් දාලා සංවාදයක් පටන්ගන්න. ඒක වටිනවා.

35 comments:

  1. පුත්තලමේ අරුවක්කාලු වල ඉන්සී එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් පටං ගන්න යන්නේ.. දැනටත් මෙයින් කීපයක් එහෙ තියෙනව ලයිම්ස්ටෝන් ඩම්පින්ග් වලට.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න තිබ්බා නම් මරු...!

      Delete
    2. ක.මි., ප්‍රොජෙක්ට් එක ගැන වැඩි විස්තර දන්නවනම් පොඩ්ඩක් කියන්න...

      Delete
    3. ඔවු අප්පා. ඒක නම් වටිනවා...

      Delete
    4. This is not a special project. Replacement of existing fleet.

      Delete
  2. මට හිතුනා නිකමට වගේ අර කහ පාට අලි ටික හුරතල් කර කර ඉද්දි මෙහෙම පෝස්ට් එකකුත් වැටුනොත් මරු නේද කියල....
    වැඩේ නම් පංකාදු පහයි..
    ඉබ්බා මේ දවස් ටිකේ වායු සමීකරණයට ලක් වෙමින් ඉන්නේ...අපිට හොඳටම වැස්ස...ඒ හන්දා ටිකක් විතර වැඩේ ඇදෙනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පුබුදු. ඉබ්බාගේ වැඩ ඉවර වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නේ. හොඳ කතාවක් ලැබේවි කියලා හිතනවා :)

      Delete
  3. අර අළුත් කාර් බ්ලොග් එකට මොකවත් ලියන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒක ඉවරයි අටම්ස්. ඔයා ඒක මට එපා කළා :D පස්සේ ඒක නිල වශයෙන් ක්ලෝස් කරන්න හිතාගෙන ඉන්නේ.

      Delete
  4. මෙව්වට කියන්නෙ ටිපර්. ඔය විදිහට පස්ස ඉස්සීමට කියන්නෙ ‘ටිපර් කිරිම‘. ටැට්ටර වලත් ඔය විදිහට තට්ටුව ටිපර් කරන්න පුළුවං. තවම් ලෑම්මාට්ටරෙයි, පයියග්ගියෝ ත්‍රීවිල් ලොරියෙයි තට්ටුව නං ටිපර් කරන්න බෑ. සහජයෙන් එන පුරුද්දක් විදිහට මං කියුබ් තුනහමාරෙ ටිපර් එකක් මහපාරෙදි දැක්ක ගමං කුරුම්බර, බාලගිරි, අඳුන්ගිරි,සඳුන්ගිරි, පුෂපගිරි, අමුසොහොන්, මහසොහොන්, ජයසොහොන් ආදී සියලුම යක්කු ඒකෙ ඉන්නව කියල හිතල පාරෙං අයින් වෙලා ඒකට ඉඩ දෙනවා.

    මේ ටිපර් ටික දැක්කම මතක් වුනේ. මෙව්වා මහපාරෙ යමිං ගමං ලැයිට් වයර්, ටෙලිපෝන් වයර් කීයක් කඩන්න ඇතිද? ඒ වගෙම තමයි මෙව්වා තව කී කාලයක් දුවයිද? අපේ රටේ වාහන දූෂකයො මේවා අලුත්වැඩියා කරද්දි මෙව්වයෙං කීයකට මිනීවල කපයිද? මෙව්වට යටවෙලා කී දෙනෙක් මිනී වලට යයිද? අපේ අය අතින් Localize වුනාට පස්සෙ නොමැරි ඉතුරුවෙන්න මෙව්වට වාසනාව ලැබේවා. හැබැයි ඉතුරු උනත් මහපාරෙ නං යන්න එපා.

    ReplyDelete
    Replies
    1. පිටරටදි ඕවයි තියෙන සුට්ටං ඇංජිං පොඩ්ඩවල් ඕවහෝල් කරන වීඩියෝ යූ බටේ තියෙනව.

      Delete
    2. අපේ පැත්තෙ නම් තියනව ටිපර් කරන්න විතරක් නෙමේ, සෙල්ෆ් ස්ටාට්, ස්ටීරින් වීල්, වින්ස්ක්‍රීන් එහෙමත් තියන ලෑම්මාට්ටරයක්. බ්රේක් ලයිට්, සිග්නල් ලයිට් එහෙමත් තියනව. ඉස්සරහ තියෙන්නෙ වාහන රෝද නිසා පාරෙ යද්දි ගැස්සෙන්නෙත් නෑ. සිරි ලාංකික නිස්පාදනයක්.

      Delete
    3. //පයියග්ගියෝ ත්‍රීවිල් // අනෙ අම්මෝ !!!!

      Delete
    4. ඔව්වා රිපීට් කරන්න එපා යකූ... අන්තිමට පුරුද්දට යයි...

      Delete
  5. අර වගේ වාහන ටිකක් දැක්කට පස්සෙ මේ දෑස මක්කටෙයි කියල ඒ සීන් එක ඩම්ප් කරල දාන්නැතුව මේ වගේ එකක් ලියල ඒ ඩම්ප් ලෝඩ් එකෙන් අපිවත් යට කරපු එක අගේ ඇති වැඩක්.

    ශ්‍රංගය කිවුව වගේ මේව නඩත්තු කරන්න පහසුකං ලංකාවෙ අලුතින් හදන්න වෙයි. නැත්තං රේල්වේ එකට තමයි මේවයි අැංජින් හදන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා... ඩිමෝ එකෙන් ගෙන්නන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නම් වෙන එකක් නෑ.

      Delete
  6. //මේ ට්‍රක් වල ෆොටෝ දැක්කම මතක් වෙන්නේ Kardashian ලගේ ෆැමිලි ෆොටෝ එක වගේ දේවල්. // අම්මප එක එක සයිස් පස්සවල්...

    ReplyDelete
    Replies
    1. http://www.dailymail.co.uk/tvshowbiz/article-1374775/Kim-Kardashians-new-slimming-secret-Stand-monster-truck.html

      Delete
    2. මම හිතුවේ නෑ කාඩෑෂියන් සීන් එක මෙච්චර දුර යයි කියලා... අවධානය බිඳුනාද මන්දා... හැක්...

      Delete
  7. නියම ලිපිය ++++
    මට ලොකු ගැටලුවක් තියෙනවා. මේවගේ ලොකු වාහන හදන්න වගේම අනෙක් ඒවටත් යකඩ විශාල වශයෙන් ඕනි වෙනවා. ඉතිං ඉල්ලුමට සැපයුමක් දෙන්න තරම් යකඩ සපයා ගන්නෙ කොහෙන්ද? ප්‍රතිචක්‍රීකරනයෙන්ද?

    ReplyDelete
    Replies
    1. ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේව ෆයිබග්ලාස් වලින් හරි හදල දෙන්නං.

      Delete
    2. මම හිතන්නේ මේක දීර්ඝ පිළිතුරක් දෙන්න ඕන ප්‍රශ්නයක්. මෙතන ඒකට සුදුසු මදි කියලා හිතෙනවා.

      Delete
    3. පුතා බයවෙන්ට එපා. නාඩාර්ලා හත් අට දෙනෙක් ලඟ තියෙන සාඩිං ටිං තොගේ උණුකරල ගත්තත් මෙව්වයිං දෙකක් ලේසියට හැදියැකි. පරණ පාලමක් ගැලෙව්වං මෙයින් යායක්ම හදල ඉතුරුත් වෙනව.

      Delete
    4. Praසන්ன: අයියා ඔයා හරියන්නෙ චීනෙට හැක්..
      Tharindu Sri Lokugamage: විස්තරය දාන්න පුළුවන් නම් අලුත් ලිපියකින් එහෙනං :)
      surangamlr: පරණ සෙරෙප්පු වලින් රෝද හැදුවෑකි.. හැක්!

      Delete
  8. ඒ කාලෙ ගෙදරට වැලි ගෙනාපුවම ට්‍රැක්ටරේ ගේනවට තමා අපි කැමති... තට්‍ටුව උස්සලා සූස් ගාල වැලි ටික බානවා බලන් ඉන්න එක මාර ආතල් මැජික් එකක්... පස්සෙ පස්සෙ එල්ෆ් එකෙන් වැලි ගෙනත් ක්ලීනර් සවලෙන් දාඩිය දාගෙන වැලි බාන එක බලන්න තරම් දෙයක් තිබුන එකක් නෙමේ...

    ReplyDelete
    Replies
    1. මම ආසයි ඩම්ප් ට්‍රක් වල එන ඩ්‍රයිවර් ලා ඒවා සූර විදිහට හරි තැනට රිවස් කරන අපූරුව බලන්න. මට නම් හිතාගන්නවත් බැහැ. මට මිනි එක රිවස් කරන්න බැහැ එච්චර හොඳට :)

      Delete
    2. ලොක්කා දවසක ලොරියක්, වෑන් එකක් පැදල බලන්න. එව්වා ඔය විදිහට හරිම රූලෙ ගෙනියන්න පුළුවං.

      Delete
  9. ප්‍රථම ප්‍රේමය අහිමි වුණු අලුත දවස් යනවා වගේ හෙමින් නැතුව, රස්සාවල් කරන මිනිස්සුන්ගේ සෙනසුරාදා සහ ඉරිදා දවස් ගෙවෙනවා වගේ ඉක්මනට ලෝඩ් අන්ලෝඩ් කරන ක්‍රමයක් අවශ්‍ය වුණා


    ඒකනම් බොක්කට වැදුනා

    ReplyDelete
  10. KatunaKa highway palama yata 3k nawaththa thibba. Supiri Badu..

    ReplyDelete
  11. වාහන කෙරැවාව වෙලාවකට පිස්සු වගේ අයියේ...දවසක් ⁣මන් දැක්කා රොද විතරක් සියයකට වඩා තියන වාහනයක්...පාරෙ යනවා..නමක් ගමක් නමි දදන්නේනැ...

    ReplyDelete
  12. mn me goda kalekin comment karanne. tharindu aiye , owa lankawata galapeida? oyage adahasa mkkda?

    ReplyDelete