Saturday, July 7, 2018

හුළඟත් එක්ක ගිය හදවත්



එංගලන්තේ මහපොළොවට පය තියලා දවසක් යන්නත් කලින් ඉරාන් අයියා කළේ මට ෆෝඩ් තේම්ස් වෑන් එකක ෆොටෝ එකක් එවන එක. ඒ වෑන් එක තමයි ඔය උඩ තියෙන්නේ. 

ඉරාන් අයියා එංගලන්තේ පදිංචියට යනවා කියලා මම දැනගත්තේ බොහොම පස්සේ. මගේ රාජකාරී වැඩ සහ මුරුක්කුසඤ්ඤං සෝෂල් ස්කිල්ස් නිසා ළඟම යාළුවෝ එක්ක පවා තොරතුරු හුවමාරු වෙන්නේ අඩුවෙන්. කොටින්ම තාම බැඳලා නෑ කියලා මම හිතන යාළුවෝ එයාලගේ දුවලාගේ වෙඩින් වලදී මට මුණගැහෙන්න පවා ඉඩ තියනවා.

ඉරාන් අයියාව මම අඳුරගත්තේ ටික කාලයකට කලින් මම රැකියාව කරපු ආයතනයකදී.  පොත් ප්‍රකාශන ආයතනයක ඉතාම හොඳ මට්ටමේ රැකියාවක් කළත් ඒක ඉතාම ගතානුගතික තැනක් වීම නිසා මට මගේ හැකියාවන් හොඳට පාවිච්චි කරන්න පුළුවන් රැකියාවකට මාරුවෙන්න අවශ්‍ය වුණා. එහෙම හොයාගෙන ගිය තැන තමයි ඉරාන් අයියා හිටියේ. මාව ඉන්ටර්වීව් කළෙත් ඉරාන් අයියා. කිසිම නෑදෑකමක් නොතිබුණත් මගේ වාසගමම තිබීම නිසා, නෑදෑයෙක් වැඩට ගත්තා නේද කියලා හැමෝම අහන්න ඉඩ තියෙද්දී පවා ඉරාන් අයියා සමාගමේ ප්‍රධානියාට මාව නිර්දේශ කළා. වැඩි කාලයක් නොඉඳ මම එතනින් අස් වුණත් එතනදී අඳුරගත්තු ඉන්දිකත් ඉරාන් අයියත් මගේ ජීවිතේට බොහොම සමීප වුණු හැටි ගැන, මගේ ජීවන රටාව එක්ක බලද්දී, මටම පුදුමයි. 

ලංකාවෙන් යන්න කලින් මට කෝල් එකක් දීපු ඉරාන් අයියා කතා කළේ බොහොම හැඟීම්බරව. ලංකාවේ ජීවත් වීමෙන් කැරපොතු පිහාට්ටක ප්‍රතිලාභයක් නොලැබෙන බව දන්නා මිනිස්සු පවා උපන් රටින් යද්දී මනෝ ගහනවා. ඒ අතින් ලංකාව ගැන බරපතළ විවේචන නොතිබුණු ඉරාන් අයියාට කොහොම හිතෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන්. 

"මල්ලි අපෙන් වෙන්න දෙයක් තියනවා නං කියපන්."

එදා රෑ, මම කවදාවත් අහලා නොතිබුණු විදිහේ බර හඬකින්, ඉරාන් අයියා එහෙම කිව්වා. සාමාන්‍යයෙන් සංවාද වලදී හිස් බ්ලැක් බෝඩ් එකක් වගේ ඉඳලා, තනියම කල්පනා කරන්න ගත්තට පස්සේ විතරක් ප්‍රොෆෙසර් කැල්කියුලස්ගේ නෝට් පෑඩ් එක වගේ අවුල් යන මනසක් තියන මගේ හිත ඒ වෙලාවේ නම් නිරිතදිග මෝසමේ හුළඟක් එක්ක වහින වැස්සක් වගේ හෝස් ගාලා ගියා. 

ඉරාන් අයියා එහෙම කියලා දවස් දෙකක් යන්නත් කලින් තමයි වට්ස්ඇප් එකට තේම්ස් එකේ ෆොටෝ එක ආවේ. 

එංගලන්තයේ ෆෝඩ් සමාගම තේම්ස් වෑන් එක (Ford Thames 400E) හඳුන්වලා දුන්නේ 1957 අවුරුද්දේ. 1965 අවුරුද්ද වෙනකල් නිෂ්පාදන කටයුතු සිද්ධ වුණු බවත්, මෙයින් වෑන් 187,000 ක් නිෂ්පාදන වුණු බවත් විකිපීඩියා එකේ තියනවා. 

මේ සිද්ධියත් එක්ක මට කෞශි (මගේ බිරිඳ) ගේ හොඳම යාළුවා වුණු හර්ෂණී ඉතාලි ගිය එක මතක් වුණා. සාමාන්‍යයෙන් අපිත් එක්ක විශේෂ ගමන් බිමන් යන්න නිතර එකතු වුණු හර්ෂණී, කාර් පිස්සුවෙ පළවෙනි 'හිට් එක' වුණු පාහියන්ගල ලිපියට අදාළ ගමනට පවා අපිත් එක්ක එකතු වුණා. කොටින්ම මම, අම්මා සහ කෞශි ඇරුණම 9 ශ්‍රී 5333 එක්ක වැඩිම ගමන් ගිහින් තියෙන්නේ හර්ෂණී වෙන්න ඕනේ. 

විවාහ වෙලා ටික දවසකින් හර්ෂණීට ඉතාලි යන්න අවස්ථාව ආවා. ජීවිතේ දුකට සැපට ළඟින් හිටපු යාළුවෙකුට හොඳක් වෙන එක සතුටක් වුණත්, එහෙම කෙනෙක් අපේ ජීවිත කතා වලින් ගැලවිලා යන එක දුකක්. ඒ දුක අපේ අම්මට පවා තදට දැනුණා. අපේ අම්මා තාමත් උන්හිටි ගමන් 'දැන් හර්ෂණී කොහොමද?' කියලා අහනවා. 

හර්ෂණී එක්ක අපි අන්තිමට සංචාරයකට කියලා ගියේ බෙල්ලන්විල පාක් එකට. ලංකාවේ පරිසරවේදීන් නොහිටපු කාලෙක බෙල්ලන්විල අභයභූමිය ගොඩකරලා හදාපු ඒ පාක් එකට යන එක සතුටක් සහ දුකක් මුසුවෙන අත්දැකීමක්. 


එදා බෙල්ලන්විල පාක් එකේ 

හර්ෂණී ක්ලැසික් කාර් වලට ආසා කෙනෙක් නෙමෙයි. නමුත් 9 ශ්‍රී 5333 එක්ක එක්තරා විදිහකට අපූරු ආදරණීය යාළුකමක් හර්ෂණීගේ හිත ඇතුළේ තිබුණා. ඒ නිසා එයා විවිධ අවස්ථා වලදී 5333 එක්ක ෆොටෝ අරන් තියනවා. අන්තිම දවසේ පවා 5333 එක්ක ෆොටෝ එකක් අරන් දෙන්න කියලා හර්ෂණී කිව්වා. ඒවා තාමත් හිත බර කරන මතක. 

ඉතාලියට පය තියලා සතියක් යන්නත් කලින් වයිබර් හරහා හර්ෂණීගෙන් අපූරු ෆොටෝ දෙකතුනක් ලැබුණා. එයා එවලා තිබුණේ ඉතාලියේ තියන අපූරු කොළ පාට බීට්ල් එකක්. මගේ හිතට එදත් අර නිරිතදිග මෝසම් වැස්ස කඩාවැටුණා. එදා මම ඒ ෆොටෝ එකත් එක්ක ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් තිබ්බා. 


"හර්ෂණී...

උඹව මම අඳුරගත්තේ 2008 අවුරුද්දේ...

එදා ඉඳන් පවුලේ නොවුණත් පවුලේ කෙනෙක් විදිහට සමීප වුණු එකම එකා උඹ. මමයි කෞශියි කසාදෙ ලියාපදිංචි කරපු දවසේ එතන හිටපු හතරපස් දෙනාගෙන් එකෙක් උඹ. තාත්තා නැතිවුණු දවසේ මුලින්ම උදවු කරන්න ආපු අයගෙන් එකෙක් උඹ. අපි රට ගිය පළවෙනි වතාවේ අපිත් එක්ක එයාපෝට් ආපු එකාත් උඹ. කාර් පිස්සුව බ්ලොග් එක ඔළුවෙන් හිටෝපු පාහියන්ගල ගමන ගිය දවසේ කාර් එකේ පිටිපස්සේ හිටපු එකා උඹ. මයිනරේ බලන්න ගිය වෙලාවෙත් 'ඒක නං හොඳයි වගේ' කියලා ඉස්සරලාම කියපු එකා උඹ. ඒ ඔක්කොටම වඩා, බීට්ල් එකේ ගමන් යන්න පැනගෙන ආපු, 'උඹලගේ කාර් එකත් එක්ක ෆොටෝ එකක් ගන්න ආසයි' කියලා සැරින් සැරේ කියපු එකම කෙල්ල උඹ...

උඹ ප්‍රර්ථනා කරපු ජීවිතේ උඹට ලැබුණට කෞශිටයි මටයි බොක්කෙන්ම සතුටුයි... හැබැයි දැන් 9 ශ්‍රී 5333 එක්ක ගමනක් යන්න, ෆොටෝ එකක් ගන්න උඹ ලංකාවේ නැති එක ගැන දුකයි...

Miss you මචං...


ප.ලි. : මෙහෙම සටහනක් උඹ වෙනුවෙන් තියන්න හිටියේ උඹ අන්තිමට අපිත් එක්ක රවුමක් ගහපු දවසේ හෝ උඹ රට ගිය දවසේ. ඒ වුණාට අද වෙනකල් ඒකට හිත හදාගන්න මටයි කෞශිටයි බැරි වුණා... සමාවෙයන් ඒ ගැන.."

හර්ෂණී එදා එවපු ෆොටෝ තුනෙන් එකක් 

මේ පුංචි සටහන ලියන්න හිතුණේ අපේ සජියා (Saji D Sil) එංගලන්තේ ඉඳන් හාලි ඩේවිඩ්සන් එකක ෆොටෝ එකක් එවුව නිසයි. පුංචි ඇළක් ගාව ඒ බයික් එක තියෙන්නේ හරියට නොදන්නා භාෂාවකින් ලියවුණත් අනුමානෙට යාන්තම් සද්ද ගැටගහගෙන කියවනකොට අර්ථය නොතේරී  රිද්මයෙන් හිත කළඹවන කවියක් වගේ. 




මගේ පරම්පරාව ක්‍රමයෙන් මැදි වයසට යමින් ඉන්නේ. ඉස්කෝල කාලේ එකට හිටපු යාළුවෝ විතරක් නෙමෙයි, ඉතාම මෑතක් වෙනකල් ජීවිතේ ළඟින්ම හිටපු යාළුවෝ පවා, හරියට හවස් කාලේ එළඹෙනවත් එක්ක මූදුකරේට හමන හුළං එක්ක ගහගෙන යන වරාමල් වගේ ලෝකේ එක එක රටවලට පාවෙලා යන්න පටන් අරන්. කොච්චර වට්ස්ඇප්, වයිබර් වලින් ටච් එකේ ඉන්නවා කිව්වත්, ජීවිතේ අනන්ත කරදර කලබල එක්ක ඔළුව උස්සගෙන ඉන්න අපි දරන අනන්ත අපරිමාණ උත්සාහයන් අස්සේ, ඒ පුංචි පුංචි පොරොන්දු හෙමින් හෙමින් කාලයේ දූවිලි තට්ටු අස්සේ පොඩ්ඩ පොඩ්ඩ හැංගෙන්න පටන්ගන්නවා. 

ඒ වෙලාවට මගේ හිත ඇතුළේ අර එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ 'මේ ඉරහඳ යට හමුවී' ගීතය ඇහෙන නොඇහෙන ගානට වාදනය වෙනවා. 

කොහොම වුණත් කාලෙන් කාලෙට, දුරු රටක මහ මගක තාමත් හරියටම පුරුදු නැති සීතලෙන් හැංගි හැංගී යන අතරේ පවා, ක්ලැසික් වාහනයක් හෝ විශේෂ වාහනයක් දැක්කම, අපේ යාළුවන්ට අපි දෙන්නව මතක් වෙනවා. 

එහෙම දකින වාහන වල ෆොටෝ, මම උදේට නැගිටිද්දී සමහර දවස් වලට වට්ස්ඇප් හෝ වයිබර් මැසේජ් එකක් විදිහට ෆෝන් එකට ඇවිත් තියනවා. උන් නොදන්නවා වුණාට, කෙටි විඩාබර නින්දකින් තාමත් රිදෙන ඇස් වලින් ඒ ෆොටෝ බලද්දී, ඉඳහිටක මගේ ඇස් වලට කඳුලක් එනවා.... 

සමහර විට, උඹලා ආයේ කවදාවත් හැබැහින් දකින්න ලැබෙන එකක් නෑ... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
2018 ජූලි 07 
www.facebook.com/CarPissuwa


20 comments:

  1. No Comment බිකෝස් මේ ගැන කියන්න දෙයක් නෑ.
    ඉදල ඉදල දාපු පොස්ට් එක හිතට මදි වගේ

    ReplyDelete
    Replies
    1. පුද්ගලික සංවේදනා බං

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ලොක්කා. කොමෙන්ටුව තමන්ම ඩිලීට් කරගෙන නෙව :(

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. වාහන වලට හිතන්නබෑ කියන්නෙ කවුද ...අමාරුවෙන් හුස්මගන්න ගමන් තේම්ස් එක මොනවහරි කල්පනා කරනව වගේ...

    අලුත් කිරි කිරි මතක වලට වඩා පැරණි මතකයන් හරි බරයි..ඉඳහිට දූවිලි පිහදාගෙන හිතට එබෙනකොට ක්ලැසික් කාර් එකක් වගේ හැඩකාරයි..රෝද හතර කැරකෙන්නෙ නැතිවගිය සමහර හිතවත්කම් දිරල පොළොවට පස් වෙන එකත් අපිට නවත්තන්න බෑනෙ…..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒවා ගැන ඕනාවට වඩා ගැඹුරට හිතෙන්න ගන්නේ මැදි වයසට ඇවිල්ලා කියලා දැනෙනකොට...

      Delete
  5. කාලෙකින් ලියපු එක හොදායි....එත් මදි මදි මදි මදි මදි මදි මදි............

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඕන වුණේ ඉරාන් අයියා, හර්ෂණී සහ අනෙක් හිතවත්තු ගැන මගේ වේදනාව ලියන්න... ඒකයි ඒ. ප්‍රතිචාරයට ස්තූතියි :)

      Delete
  6. බැඳීම් තියෙන ඈයො ඈත් උනාම දුකයි තමයි.

    ඒ වගේම අපි බැඳීම් තියාගෙන ඉන්න බ්ලොග් වල මෙච්චර පොඩ්ඩක් ලියවෙන එකත් දුකයි.

    ReplyDelete
    Replies
    1. අධික ලෙස වැඩ ප්‍රසන්න අයියා. ලියවෙයි කියලා හිතුවේ නැහැ මේ ගානට වත්. ඉරාන් අයියා ගිය එකත් එක්ක පුංචි සටහනක් ලියන්න ඕන වෙලා තිබ්බා. ඊයේ තමයි ලියවුණේ.

      Delete
  7. බැඳීම්.. බැඳීම් .. බැඳීම් ... හ්ම්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ වෙනස් වෙන වේගේ දරාගන්න අමාරු වෙන්නේ මැදි වයසට එනකොට...

      Delete
  8. හිස් හැඟීමක් දැනුනා. අපිටත් අපේ ගොඩක් ළඟ යාළුවො ඔය වගේ මිස් උනා...
    හැබැයි ලඟදි ඉඳලා අපි whats-up චැට් ගෘප් එකක් හදාගෙන ඉස්සර වගේ එක එකාව බයිට් කරගෙන දුක සැප බෙදාගෙන ආපහු කැම්පස් කාලේ වගේම පොඩි ෆන් එකක් ගන්නවා...
    ඒ හරහා අහල පහළ ඉඳලත් වැඩිය මුණ ගැහෙන්න බැරි වෙච්ච යාළුවො පවා දැන් ලන්ච් එකකට හරි එළියේදී සෙට් වෙනවා...

    ReplyDelete
    Replies
    1. පරණ යාළුකම් අලුත් කරගන්න එහෙම හරි ක්‍රම හොයාගන්නව දකින එක සතුටක්!

      Delete
  9. උබ බොක්ක නිසා ඔන කෙනෙක් උබට බොක්ක

    ReplyDelete
    Replies
    1. ආදරණීය ප්‍රතිචාරයක්. ස්තූතියි මෙන්ඩයියේ...

      Delete