Thursday, January 26, 2017

Ceylon Motor Show 2017 - ගිහිං බලන්න




(Ceylon Motor Show 2017 මේ සති අන්තයේ, ඒ කියන්නේ සිකුරාදා හවස ඉඳන් ඉරිදා රෑ වෙනකල් BMICH එකේදී පැවැත්වෙනවා. මේ සටහන තියන්නේ ඒ වෙනුවෙන්.)

BMICH එක කියන්නේ මගේ ජීවිතේ හීන අවුරුද්දකට පාරක් දෙපාරක් 'මේං බලහං, බොට නෑ, හූ හූ' කියලා ඇදලා පෙන්නලා ඊට පස්සේ අකුලගන්න හිතුවක්කාර ලාම්පු භූතයෙක් වගේ තැනක්.

කාර් පිස්සුව හැදෙන්න කලින් මගේ ජීවිතේ වුණේ පොත්. මම විනෝදයට කරේ පොත් කියවන එක. ජොලියක් ගියාම කළේ පොත් ලියන එක ගැන හීන දකින එක. සල්ලි ඕන වුණාම කළේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ වැඩට යන එක. ඉතිං BMICH එකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගත්තම මම අවුරුද්දකට පාරක් ඕකට දිව්වේ ඉස්කෝලේ ඇරෙන්න ගහන බෙල් එකේ පළවෙනි 'ටිලින්' සද්දේ ඉවර වෙන්නත් කලින් ගේට්ටුව ගාව ඉන්න පලතුරු අංකල්ගෙන් අඹ අච්චාරු ගන්න දුවන පොඩි එකෙක් වගේ. 

ෆීල්ඩ් එකේ වැඩ කරන කාලේ ප්‍රදර්ශනේ ඩියුටි කරන්නත් සිද්ධ වෙලා තියනවා. පොත් ප්‍රදර්ශනේ තියන හිච්චි ප්‍රදර්ශන කුටි ඇතුළේ දවස පුරා ඉන්නවා කියන එක හරියට ගාලු පාරේ දෙහිවල ගුවන් පාලමයි විලියම්ස් එකයි අතර තීරුවේ ට්‍රැෆික් පොලිස් ඩියුටි කරනවා වගේ වැඩක් වුණාට ඒක මට සමහර වෙලාවට හරි අපූරු අත්දැකීමක් වුණා. ලංකාවට පෘතුගීසි කාරයෝ එන්නත් කලින් තිවක්ක බමුණුගම පැත්තේ මහපු වස්තර තරම් පරණ ඇඳුම් ඇඳගෙන ඇවිත් දාස් ගණන් වල පොත් මීක් කියන්නේ නැතුව අරගෙන යන මිනිස්සු වගේම එංගලන්තේ නිවාඩුවකට ගිහිං ලන්ඩන් වලින් අරං ආපු ෂර්ට් කලිසන් ගවුම්  ඇඳගෙන ඇවිත් සීයට පනහේ ඩිස්කවුන්ට් දාලා තියන පොතට සීයට හැත්තෑවක් වත් දෙන්න බැරිද කියලා අහන මිනිස්සුත් දැකගන්න පුළුවන් අපූරු තැනක් තමයි ඔය පොත් ප්‍රදර්ශනේ.

කාර් පිස්සුව හැදුණට පස්සේ මට පොත් කෙරුවාව එපා වෙලා ගියා. මට කාර් පිස්සුව හැදුණේ මගේ පළවෙනි කාර් එක වුණු ලාන්සර් බොක්ස් එක මුල ඉඳන් හදන්න වුණු නිසා. ලාන්සර් එක හදලා ආපහු අතට එනකොටම තමයි BMICH එකේ මෝටර් ෂෝ එකක් තියනවා කියලා දැනගත්තේ. ඒ අවුරුදු හයකට හෝ හතකට විතර කලින් මම හිතන්නේ. ඉස්ඉස්සරලාම කාර් එකක් මෙහෙම හදල අතට ගත්තම මට දැනුණේ නිකං ඔරිජිනල් යාපනේ අඹයක් ලැබුණු කොළඹ ටවුන් ගිරවෙකුට දැනෙනවා වගේ ආතල් එකක්.



එදා BMICH එකේ ගේට්ටුවෙන් ඇතුළට දාලා පාක් එකට එනකල් ඩ්‍රයිව් කරද්දී මම හිටියේ කිට් එක්ක ෆිට් වෙච්ච මයිකල් නයිට් වගේ චූන් එකේ. ඒක සිලෝන් මෝටර් ෂෝ එක නෙවෙයි වෙන මෝටර් ෂෝ එකක් වුණු නිසා මගේ චූන් බැලුමට නටරාජ් කවකට්ටකින් අනින්න ඇමරිකන් කාර් හෝ බ්‍රිටිෂ් ස්පෝට්ස් කාර් වගේ මොකවත් තිබ්බේ නැහැ. හැබැයි එතන තිබ්බා පුදුම හිතෙන තරම් ලස්සනට හදපු 3 ශ්‍රී බීට්ල් එකක්. අර X-Files එකේ අහිංසකයන්ගේ ඇඟට පිටසක්වල විෂබීජ සුරුස් ගාලා රිංගනවා වගේ මගේ ඇඟට සීරියස් බීට්ල් උණ රිංගුවේ එදා...



ඊට පස්සේ කාලෙක Classic Car Club of Ceylon එක සංවිධානය කරන සිලෝන් මෝටර් ෂෝ ඉවෙන්ට් එකකට ගිය වෙලාවක තමයි මම ලංකාවේ තියන ක්ලැසික් කාර් වල උජාරුව ඇත්තටම දැක්කේ. ලංකාවට ආපු නැති කාර් මොඩ්ල් එකක් නෑ කියලා කාර් පිස්සෝ නිකමට කියන කතාවක් තියනවා. Mustang, Camaro, Baracuda, වගේ ඒවා එක්ක Jaguar E-Type විතරක් නෙමෙයි BMW Isetta බබල් කාර් පවා එකම ටෙන්ට් එකක් යට නවත්තලා තියනවා දකිද්දී තමයි හිතෙන්නේ ඒ කතාවේ පැහැදිලි ඇත්තක් තියනවා කියලා. ඒක හරියට ඉඹුල් කිරිබත්, ලඩ්ඩු සහ මට්න් බිරියානි එකම මේසෙක තියනවා දකිනවා වගේ අත්දැකීමක්... 


 
මේ ෆොටෝ තුන අයිති ළහිරු වීරසිංහට


සිලෝන් මෝටර් ෂෝ එක සංවිධානය කරන්නේ Classic Car Club of Ceylon සහ Ceylon Motor Traders Association දෙක එකතු වෙලා. මේක නිල මට්ටමින් දාන පෝස්ට් එකක් නොවන නිසා මම අනුග්‍රාහකයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ. 

ක්ලැසික් කාර් ක්ලබ් එක පටන් ගත්තේ 1992 දී. දැනට එයාලට සාමාජිකයෝ 250 කට වැඩිය ඉන්නවා කියලා තමයි එයාලගේ වෙබ් සයිට් එකේ කියන්නේ. මම දන්න තරමින් මේ ක්ලබ් එක බොහොම විධිමත් ව කරගෙන යන ක්ලබ් එකක්. එයාලගේ සාමාජිකයන්ට තියන කාර් දිහා සහ ඒවා පවත්වගෙන යන මට්ටම බැලුවම මේක අමුත්තක් නෙවෙයි කියලා තේරෙනවා. 

මෙදා පාරත් සිලෝන් මෝටර් ෂෝ එකට ක්ලැසික් කාර් ක්ලබ් එකේ සාමාජිකයන්ගේ හොඳම කාර් ටිකක් එනවා. මම සාමාන්‍යයෙන් ඇමරිකන් කාර් ගැන ගොඩක් උනන්දු නිසා මගේ හිත මිත්‍ර ක්ලයිව් ද සිල්වාට කියලා ෂෝ එකට එන ඇමරිකන් කාර් ගැන විස්තර ටිකක් ඉල්ලගත්තා. ක්ලයිව් බොහොම කාරුණිකව වැඩ රාජකාරි මැද්දේ මේ විස්තර ටික මට දුන්නා. මේ පහළ තියෙන්නේ ෂෝ එකට එන කාර් වලින් කීපයක් විතරයි. 



Buick Super 8 (මේකේ මුල්ම අයිතිකාරයා රටේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක් ලු. ඒ නිසා ඉග්නිෂන් කී එක රත්තරන් වලින් හදලා තිබ්බා ලු!) 

Plymouth Baracuda Convertible (මේකේ රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් කාර් බොහොම දුර්ලභයි. ඉස්සර ලංකා පොලීසියේ පාවිච්චි කළා කියලයි ක්ලයිව් කිව්වේ) 

Ford Mustang 302 (1969) (ලංකාවේ තියන මේ වර්ගයේ එකම කාර් එක ලු) 

ඊට අමතරව මෙන්න මේ ඇමරිකන් කාරුත් ඔයාලට ෂෝ එකේදී දැකගන්න පුළුවන්. 

Ford Model T 

Chevrolet Recovery Truck 

Chevrolet Biscayne

Chevrolet Camaro

Chevrolet Bel Air

Pontiac Strato Cheif

Pontiac Bonneville

මේ වගේ ලැයිස්තුවක් දකිද්දී මගේ ඇහැ සාමාන්‍යයෙන් නවතින්නේ Mustang එක ගාව. නමුත් මේ පාර එහෙම වුණේ නෑ. මේ පාර මගේ ඇහැ නැවතුණේ Chevrolet Bel Air එක ගාව. 

Chevrolet Bel Air එක මට දැනෙන්නේ කවදාවත් හරියකට අහලා නැති, ඒ වුණාට කවදාවත් මතකයෙන් යන්නෙත් නැති ගීතයක් වගේ... මම කවදාවත් බෙල් එයාර් එකක් ඇත්තට දැකලා නෑ. ඒ වුණාට කවුරු හරි පියුං මාමගේ බෙල් එක කියලා කිව්වත් මට මතක් වෙන්නේ අර දාඩිය දාගෙන බයිසිකල් පදින වයසක මනුස්සයාගේ වාහනේ නෙමෙයි, ඇමරිකාවේ පාරක අයින් වෙලා හෙමින් සැරේ මහා රජ්ජුරුවන්ගේ රන් දෝලිය වගේ යන Chevrolet Bel Air එකක්...


1957 විතර හදපු, දොර දෙකේ Chevrolet Bel Air එකක්... 

මේක නම් ගත්තේ ඉන්ටනෙට් එකෙන් 
මේ පාර සිලෝන් මෝටර් ෂෝ එකට එන Bel Air එක අයිති ෆ්‍රෙඩී අලස් මහත්මයට කියලා තමයි ක්ලයිව් මට කිව්වේ. මේ කාර් එක මම මීට දවස් කීපයකට කලින් ෆේස්බුක් එකේ තැනකදී දැක්කා. එදා මට දැනුණේ හරියට ටියුෂන් පන්තියේ ක්‍රෂ් එක මගේ බංකුවට ඉස්සරහ බංකුවේ වාඩිවෙලා ඉන්නවා කියලා ඉස්සරලාම දැක්කම දැනෙනවා වගේ හැඟීමක්. ලැබෙන්නේ නෑ කියලා බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ තරමට ෂුවර්; හැබැයි සිතිවිල්ලක දෙකක සුවඳ දැනෙන මානයේ ඉන්නවා කියලත් ඒ චන්ද්‍රයෝ තරමටම ෂුවර්.... 

මීට කලිනුත් මගේ ෆේස්බුක් යාළුවෙක් කොහේදෝ තිබිලා බෙල් එයාර් එකක් හොයාගෙන ෆ්ලැට් බෙඩ් එකක පටවන් යන ෆොටෝ එකක් මම දැක්කා. එදත් මම ෆ්‍රී වයිෆයි කනෙක්ෂන් එකක් අහුවුණු අවුරුදු දාසයේ කොල්ලෙක් වගේ දඩස් ගාලා දුවලා ගිහිං එයාගේ ප්‍රොෆයිල් එකට රිංගලා මැසේජ් එකක් දාලා කිව්වා හදපු දවසක මට පොඩ්ඩක් බලන්න දෙන්න කියලා... 

එයා එහෙම බලන්න දෙන එකක් නෑ... 

ඒ වුණාට මට කමකුත් නෑ... බංකුව ඉස්සරහින් සිතිවිල්ලක සුවඳ දැනෙන මානයේ 'ඇයත් ඉන්නවා කියා මම දන්නවා...'

ඉතිං ෆ්‍රෙඩී අලස් මහත්මයාගේ බෙල් එයාර් එක එනවා කියලා දැනගත්තු දවසෙම මම තීරණය කළා වැඩ රාජකාරි දාහක් තිබ්බත් සිලෝන් මෝටර් ෂෝ 2017 එකට එනවා එනවා එනවාමයි කියලා... 

ඔයාලටත් එහෙම හිතෙනවා නම් මෙන්න විස්තර... 

තැන: BMICH 

දවස් සහ වෙලාවල් : ජනවාරි 27 සිකුරාදා හවස 5.30 ඉඳන් රෑ 11.00 වෙනකල් සහ ජනවාරි 28 සෙනසුරාදා සහ 29 ඉරිදා උදේ 9.30 ඉඳන් රෑ 11.00 වෙනකල් 

ටිකට්: රු. 150/- යි. හැබැයි අවුරුදු 10 ට අඩු පොඩි අයට නොමිලේ ඇතුල් වෙන්න පුළුවන් කියලා කිව්වා. 

ක්ලැසික් කාර් විතරක් නෙමෙයි, අලුත් කාර් සහ අලුත් කාර් එළිදක්වීම් වගේ වැඩ ගොඩකුත් සංවිධානය කරලා තියනවා කියලා ආරංචියි. ඒ නිසා පොඩි වෙලාවක් වෙන් කරගෙන ගිහිං බලන්න.  

මේ පහළ තියෙන්නේ එතන තියන කාර් වලින් කීපයක්. මේ ෆොටෝ ඔක්කොම එවුවේ ක්ලයිව් ද සිල්වා. ඒ වෙනුවෙන් මගේ විශේෂ ස්තූතිය... 












(ලිපියේ මුලින්ම තියන ෆොටෝ එකේ සහ අග තියන ෆොටෝ වල සියලු හිමිකම්- Classic Car Club of Ceylon සහ ක්ලයිව් ද සිල්වා) 





66 comments:

  1. නියම එකතුවක්..
    කාර් පිස්සුව හැදුණට පස්සේ :D <3

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට ස්තූතියි ධනුවා... ගිහිං නෙත්සිත් පුරා දැකගන්න... :)

      Delete
  2. oya poth liyana eka digatama karanna.ewa dekkama apitath wenna peni heliyata wetichcha ambalayata wage melo sihiyak netuwa mula idan agatama kiyawanna eka.office 1ke weda asse miniththuwaka podi relax1kata kiyala fb awama oyage story1k dekkoth ema kara kara hitapu wede nawattala agatama yanakal kiyawana eka matanam aniwaryai.podi kale idanma age tibunu rathagaya kiyana ledeta peni rasa beth bothalayak lebuna wage thamai oyage blog 1 saha fb page1.jayen jayama wewa.ohoma yan.api enawa hemadath pitipassenma.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දිම... ප්‍රතිචාරය ගොඩක් වටිනවා...

      Delete
  3. Mamath hema parama yanawa.me parath aniva yanawa.thanx oyata

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි රන්දික... නිතර බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්න...

      Delete
  4. හම්මේ ඉතින් නෙහ්....යන්න ලැබුනත් නැතත් මේකෙ ෆොටෝස් නම් හොයාගෙන බලනවම තමයි.මේ වතාවෙ නම් ෆොටෝස් හොයන්න අන්තර්ජංජාලෙ පීරි ගාන්න වෙන එකක් නෑ...කාර් පිස්සුව තියෙන හන්දා... :)

    ReplyDelete
    Replies
    1. ආයේ කතා දෙකක් නෑ. මම නොගියත් කොලිටි ෆොටෝ එවන්න කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉඳීවි. ඔයාට යන්න වෙන එකක් නැද්ද පුබුදු?

      Delete
    2. යන්න ආසාව තිබ්බට වෙලාවක් හොයාගන්නයි අමාරු.මේ ටිකේම ඕෆ් වෙද්දී 7.30 වත් වෙනවා මයි.ඒ ඕෆ් වෙලා ඉතිං මේවට යන්න වෙලාව මදි නෙව.මේ වතාවෙත් ෆොටෝ ටික බලල හිත හදාගන්නවා....

      Delete
  5. මට නං තාම පොත් පිස්සුවත් තියෙනව.. හැම අවුරුද්දෙම BMICH යන්න හේතු 2යි 😁
    මේ blog එක ගැන මීට කලින් දැනගත්ත නං කියල හිතෙනව..
    Kudos

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අකිල... මීට පස්සේ නිතර කාර් පිස්සුවට ගොඩවෙලා යන්න ඒවි කියලා බලාපොරොත්තු වෙනවා :)

      Delete
  6. Replies
    1. ට්‍රයි නෙමෙයි, අනිවා යන්න :)

      Delete
  7. ඔතන අලුත් කාර් නැද්ද ?
    පොඩි මෙන්ඩ එක්කරගෙන යන්න ඉන්නේ

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා... එයාලගේ ලෝගෝ එකේ තියෙන්නෙත් පරණ කාර් භාගයයි අලුත් කාර් භාගයයි :D

      Delete
  8. උබගේ අනිත් බ්ලොග් එක දැක්කේ අද

    ReplyDelete
    Replies
    1. අටමා ඒක ලියන්න දෙන්නේ නෑ... හැක්...

      Delete
    2. ඒ බ්ලොග් එක කියවන්න වටිනවා ..අද දවසේ එකේ පරණ පොස්ට් ටික බලනවා

      Delete
    3. ස්තූතියි. අලුත් කාර් ගැන හොඳ තොරතුරු ටිකක් ලැබුණාම ඒකත් අප්ඩේට් කරන්නම්, අටමා ගෙන් බැණුම් අහඅහ හරි...

      Delete
  9. මචෝ උඹේ ඔය කාර් පිස්සුව අපිටත් බෝ කරන්නේ මේ බ්ලොග් එක රසවත් කරලා ලියන විදිහෙන්මයි. ඒක හරියට පරණ හින්දි සිංදු ගැන රංජිත් එදිරිසිංහ මහත්තයා රසකරකර අයිටි එන් එකේ ප්‍රෝගෑම් එකක් කරනවා වාගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංග... මගේ උත්සාහය සාර්ථක වීම ගැන සතුටුයි... :)

      Delete
  10. ඕක බලන්නනං යන්න වෙන්නෙ නෑ. ඒත් අපිත් ගියා වගේ දැනෙන්න විස්තර මේකෙ ලියවෙයි කියා හිතනව.

    ReplyDelete
    Replies
    1. අනිවා... ස්තූතියි ප්‍රසන්න අයියා...

      Delete
  11. ඕකට ටෙස්ලා කාර් එන්නැද්ද??

    ReplyDelete
    Replies
    1. ටෙස්ලා ගැන එහෙම බොක්කෙන් ලවු එකක් නැති නිසා මම ඒකනම් හෙවුවේ නෑ. මම අහලා බලන්නම්...

      Delete
  12. උබගේ අර අනිත් බ්ලොග් එකට පබ්ලිසිටියක් දීපිය ...එක එල ද බ්‍රා ඩබල් පුෂප්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔයා වැඩිය බර අලුත් කාර් පැත්තට නේද? :)

      Delete
  13. හම්මෝ බෑ.. මේ ලෙවල් එකේ කාර් පිස්සුවක් හැදුනොත් මම ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නේ නැති වුණාට ඔයාට දැනටම විසබීජේ වැදිලා තියෙන්නේ සෙන්නා :D

      Delete
    2. හුටා එහෙමද ? මාර භයානක විස භීජයක්නේ.. දන්නෙම නැතිව වදින්නේ.... :D

      Delete
  14. අනිවාර්යයෙන් ගිහිල්ල ආව ගමන් ලිපියක් ලියන්න. අපි මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  15. හොදම තත්වෙනි තියන කාර් සෙට් එකක් තියෙයි කිතුල්ගල ප්ලාන්ටේෂන් හොටෙල් එකේ
    කිරි ටොයිය සෙට් එකක්
    වීඩියෝ කලා තියෙයි
    ඒත් සයිස් එක වැඩී නැත්තං දාන්ඩ තිබ්බ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්... ඒ ටිකේ ෆොටෝ සෙට් කීපයක්ම ලැබුණා අපේ කට්ටියගෙන්... කාර් පිස්සුව ෆේස්බුක් පේජ් දාලා තියනවා ඒවා...

      Delete
  16. මෙතනිං මගේ හිතට අල්ලන හොඳම වාහනේ අර බී.එම්ඩබ්ලිව් ඉහැට්ටා එක. ඕකෙ පීල් පී 50 එකක් එහෙම නැද්ද? ඒ ජාතියෙ හුණ්ඩු කාර් වලට මං හරි ආසයි. පණ තියෙන කාලෙක අහුවුනොත් එයිං එකක් ගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. නෙද්දකිං. මට පේන්නම බැරි එක ඒක.

      Delete
    2. අන්න හුන්ඩු කාර් තොගයක් තියනවා ෂෝ එකේ අලුත් කාර් සෙක්ෂන් එකේ...

      Delete
  17. මම මේ කමෙන්ට් එක දාන මොහොතෙ මගෙ පුත්තරය නම් සගයෙකුත් එක්ක ඕක බලලා ආපහු ගෙදර එමින් ඉන්නෙ. රෑට විස්තරේ අහගන්න ඕනෙ. ඔය කියන බෙල් එයාර් එක දැක්ක ගමන් මතක් වෙන්නෙ Opel Rekord එක.

    ReplyDelete
    Replies
    1. මම ඔය ඔපල් රෙකෝඩ් සහ හිල්මන් මින්ක්ස් වගේ ඒවා පස්සේ යන්න එක හේතුවක් තමයි බෙල් එයාර් ලබන්න පින් නැති නිසා ඊට යාන්තම් හෝ සමාන එකක් හොයාගැනීම...

      Delete
  18. Replies
    1. තිබ්බා තිබ්බා... ලෑන්ඩ් රෝවර් සීරීස් 1 එකකුත් තිබ්බා...

      Delete
    2. මම වගේ ජීප් පිස්සෙක්

      Delete
    3. මම වගේ.... :)

      මිට්සුබිෂි තිබ්බද?

      Delete
  19. රෙනෝල්ට් අලුත් එක ගැන ලියපන්කෝ ..
    ඇපෙන් බේරෙන්න නෙමයි පොරි හැලෙන්න හොද නරක හැම දෙයක්ම ලියපං

    ReplyDelete
    Replies
    1. ක්විඩ් එක ගැන ලිව්වොත් වෙන්නේ අර මරුටිය ගැන ලියලා වෙච්ච දේ තමා... :)

      Delete
  20. අලුත් කාර් ගැන ලියපන් මාර්කට් එකේ මිල ගණන් , හොද නරක, සෙල් එකකින් (පුංචි කාර් නිවස වගේ ) තැනකින් ද ගෙදරකින් ද ගන්න හොද. පාවිචි කරපු එකක් ගන්නකොට බලන්නං ඕනේ දේවල් හැම දෙයක් ගැනම ලියපන්

    ReplyDelete
  21. නිකන් හිතමු ...මම කාර් එකක් ගන්නවානම් උබට පුලුවන්ද මට ගන්න තැනක් කියන්න ඒ කාර් එක බලලා දෙන්න උබට බැරි නම් ඒ සම්බන්දව සම්බන්ද කරලා දෙන්න පුලුවන් අය එක්ක උබට සම්බන්දතා තියනවද?
    මගේ අදායම,අවශතාවය, කොටින්ම උබ අහන ප්‍රශ්න වලට උත්තර දුනොත් මම මොන වගේ කාර් එකක්ද ගන්න ඕනේ කියලා අදහසක් දෙන්න උබට පුලුවන්ද (යාලුවෙක් විදිහට උදව්වක් විදිහට )

    ReplyDelete
    Replies
    1. මම ප්‍රතිපත්තියක් හැටියට කාර් බිස්නස් එක්ක වැඩි සම්බන්ධතා තියාගන්නේ නෑ... නමුත් ෆේස්බුක් පේජ් එකේ ඒවා කරන අය ඕන තරම් ඇති. ඔයාගේ අවශ්‍යතාව හරියට දන්නවා නම් මට කට්ටියගෙන් අහන්න පුළුවන්. ෆේස්බුක් පේජ් එකට ඇවිත් මැසේජ් එකක් දාන්න. මම පුළුවන් දෙයක් නම් කරන්නම්.

      Delete
    2. නැහැ නැහැ උබ කලබල වෙන්න එපා ...මම දැන්ම ගන්නේ නැහැ

      Delete
  22. පබ්ලිෂ් කොරන්ට අල්ලපු පොටෝ ටිකක් වත් දුරු රට ඉන්න අපිටත් බලන්ට..

    ReplyDelete
    Replies
    1. දෙන්නං දෙන්නං... දැනට ෆේස්බුක් පේජ් එකට ගොඩවෙලා බලන්න... වෙන අය එවපු ෆොටෝ සෙට් දහයක් විස්සක් දැම්මා... :)

      Delete
  23. අලුත් කාර් බ්ලොග් එකේ හැම පොස්ට් එකක්ම කියව්ව ..කෙමෙන්ට් දැම්මා ඒක ලියපන් බන්

    ReplyDelete
    Replies
    1. ආසාවක් නම් තියනවා ආපහු ඒකත් ලියන්න ගන්න. වෙලාව නෙව ප්‍රශ්නේ...
      බොහොම ස්තූතියි ඔක්කොම කියෙව්වට...

      Delete
  24. නියම ලිපිය. ලස්සන පින්තුර ටික. ඔය කාර් හදනවද මල්ලි? මගේ ළඟ පරණ ඇන්ග්ලියා එකක් තියනවා. ගෙනාවොත් ටිකක් බලන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කාර් හදන වැඩ නම් කරන්නේ නෑ. නමුත් අජිත් අයියා ඉන්නේ කොයි ගම්පළාතේදේ කියලා කිව්වොත් මට ඔයාට ළඟ තැනක් ගැන චුට්ටක් හොයලා බලන්න පුළුවන්. (උත්තර දෙන්න පරක්කු වුණාට සමාවෙන්න. රටින් පිට හිටියා දවස් කීපයක්).

      Delete
    2. තැනකට දුන්නා. සමහර අඩු කෑලි පුදුම ගණන් මෙහෙ. දෙක තුනක් ගත්ත. ස්තූතියි.

      Delete
    3. ෆෝඩ් අමතර කොටස් වල මිල අධික වීමේ ගැටලුවක් ලංකාවේ තියනවා. විශේෂයෙන්ම ජයවර්ධන මෝටර්ස් එක පැත්තේ ගිය අයගෙන් මේ චෝදනාව නිතර අහන්න පුළුවන්. වෙනත් මාර්ග වලින් අමතර කොටස් හොයාගන්න දැන් කට්ටිය යොමුවෙලා ඉන්නේ ඒකයි...

      Delete
  25. Replies
    1. පොඩ්ඩක් වැඩ අධික වුණා මේ දවස්වල මෙන්ඩෝ... ඉක්මනට ලියන්නං... ස්තූතියි උනන්දු කරනවට...

      Delete