(Ceylon Motor Show 2017 මේ සති අන්තයේ, ඒ කියන්නේ සිකුරාදා හවස ඉඳන් ඉරිදා රෑ වෙනකල් BMICH එකේදී පැවැත්වෙනවා. මේ සටහන තියන්නේ ඒ වෙනුවෙන්.)
BMICH එක කියන්නේ මගේ ජීවිතේ හීන අවුරුද්දකට පාරක් දෙපාරක් 'මේං බලහං, බොට නෑ, හූ හූ' කියලා ඇදලා පෙන්නලා ඊට පස්සේ අකුලගන්න හිතුවක්කාර ලාම්පු භූතයෙක් වගේ තැනක්.
කාර් පිස්සුව හැදෙන්න කලින් මගේ ජීවිතේ වුණේ පොත්. මම විනෝදයට කරේ පොත් කියවන එක. ජොලියක් ගියාම කළේ පොත් ලියන එක ගැන හීන දකින එක. සල්ලි ඕන වුණාම කළේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ වැඩට යන එක. ඉතිං BMICH එකේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගත්තම මම අවුරුද්දකට පාරක් ඕකට දිව්වේ ඉස්කෝලේ ඇරෙන්න ගහන බෙල් එකේ පළවෙනි 'ටිලින්' සද්දේ ඉවර වෙන්නත් කලින් ගේට්ටුව ගාව ඉන්න පලතුරු අංකල්ගෙන් අඹ අච්චාරු ගන්න දුවන පොඩි එකෙක් වගේ.
ෆීල්ඩ් එකේ වැඩ කරන කාලේ ප්‍රදර්ශනේ ඩියුටි කරන්නත් සිද්ධ වෙලා තියනවා. පොත් ප්‍රදර්ශනේ තියන හිච්චි ප්‍රදර්ශන කුටි ඇතුළේ දවස පුරා ඉන්නවා කියන එක හරියට ගාලු පාරේ දෙහිවල ගුවන් පාලමයි විලියම්ස් එකයි අතර තීරුවේ ට්‍රැෆික් පොලිස් ඩියුටි කරනවා වගේ වැඩක් වුණාට ඒක මට සමහර වෙලාවට හරි අපූරු අත්දැකීමක් වුණා. ලංකාවට පෘතුගීසි කාරයෝ එන්නත් කලින් තිවක්ක බමුණුගම පැත්තේ මහපු වස්තර තරම් පරණ ඇඳුම් ඇඳගෙන ඇවිත් දාස් ගණන් වල පොත් මීක් කියන්නේ නැතුව අරගෙන යන මිනිස්සු වගේම එංගලන්තේ නිවාඩුවකට ගිහිං ලන්ඩන් වලින් අරං ආපු ෂර්ට් කලිසන් ගවුම් ඇඳගෙන ඇවිත් සීයට පනහේ ඩිස්කවුන්ට් දාලා තියන පොතට සීයට හැත්තෑවක් වත් දෙන්න බැරිද කියලා අහන මිනිස්සුත් දැකගන්න පුළුවන් අපූරු තැනක් තමයි ඔය පොත් ප්‍රදර්ශනේ.
කාර් පිස්සුව හැදුණට පස්සේ මට පොත් කෙරුවාව එපා වෙලා ගියා. මට කාර් පිස්සුව හැදුණේ මගේ පළවෙනි කාර් එක වුණු ලාන්සර් බොක්ස් එක මුල ඉඳන් හදන්න වුණු නිසා. ලාන්සර් එක හදලා ආපහු අතට එනකොටම තමයි BMICH එකේ මෝටර් ෂෝ එකක් තියනවා කියලා දැනගත්තේ. ඒ අවුරුදු හයකට හෝ හතකට විතර කලින් මම හිතන්නේ. ඉස්ඉස්සරලාම කාර් එකක් මෙහෙම හදල අතට ගත්තම මට දැනුණේ නිකං ඔරිජිනල් යාපනේ අඹයක් ලැබුණු කොළඹ ටවුන් ගිරවෙකුට දැනෙනවා වගේ ආතල් එකක්.
එදා BMICH එකේ ගේට්ටුවෙන් ඇතුළට දාලා පාක් එකට එනකල් ඩ්‍රයිව් කරද්දී මම හිටියේ කිට් එක්ක ෆිට් වෙච්ච මයිකල් නයිට් වගේ චූන් එකේ. ඒක සිලෝන් මෝටර් ෂෝ එක නෙවෙයි වෙන මෝටර් ෂෝ එකක් වුණු නිසා මගේ චූන් බැලුමට නටරාජ් කවකට්ටකින් අනින්න ඇමරිකන් කාර් හෝ බ්‍රිටිෂ් ස්පෝට්ස් කාර් වගේ මොකවත් තිබ්බේ නැහැ. හැබැයි එතන තිබ්බා පුදුම හිතෙන තරම් ලස්සනට හදපු 3 ශ්‍රී බීට්ල් එකක්. අර X-Files එකේ අහිංසකයන්ගේ ඇඟට පිටසක්වල විෂබීජ සුරුස් ගාලා රිංගනවා වගේ මගේ ඇඟට සීරියස් බීට්ල් උණ රිංගුවේ එදා...
මේ ෆොටෝ තුන අයිති ළහිරු වීරසිංහට |
සිලෝන් මෝටර් ෂෝ එක සංවිධානය කරන්නේ Classic Car Club of Ceylon සහ Ceylon Motor Traders Association දෙක එකතු වෙලා. මේක නිල මට්ටමින් දාන පෝස්ට් එකක් නොවන නිසා මම අනුග්‍රාහකයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ.
ක්ලැසික් කාර් ක්ලබ් එක පටන් ගත්තේ 1992 දී. දැනට එයාලට සාමාජිකයෝ 250 කට වැඩිය ඉන්නවා කියලා තමයි එයාලගේ වෙබ් සයිට් එකේ කියන්නේ. මම දන්න තරමින් මේ ක්ලබ් එක බොහොම විධිමත් ව කරගෙන යන ක්ලබ් එකක්. එයාලගේ සාමාජිකයන්ට තියන කාර් දිහා සහ ඒවා පවත්වගෙන යන මට්ටම බැලුවම මේක අමුත්තක් නෙවෙයි කියලා තේරෙනවා.
මෙදා පාරත් සිලෝන් මෝටර් ෂෝ එකට ක්ලැසික් කාර් ක්ලබ් එකේ සාමාජිකයන්ගේ හොඳම කාර් ටිකක් එනවා. මම සාමාන්‍යයෙන් ඇමරිකන් කාර් ගැන ගොඩක් උනන්දු නිසා මගේ හිත මිත්‍ර ක්ලයිව් ද සිල්වාට කියලා ෂෝ එකට එන ඇමරිකන් කාර් ගැන විස්තර ටිකක් ඉල්ලගත්තා. ක්ලයිව් බොහොම කාරුණිකව වැඩ රාජකාරි මැද්දේ මේ විස්තර ටික මට දුන්නා. මේ පහළ තියෙන්නේ ෂෝ එකට එන කාර් වලින් කීපයක් විතරයි.
Buick Super 8 (මේකේ මුල්ම අයිතිකාරයා රටේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක් ලු. ඒ නිසා ඉග්නිෂන් කී එක රත්තරන් වලින් හදලා තිබ්බා ලු!)
Plymouth Baracuda Convertible (මේකේ රයිට් හෑන්ඩ් ඩ්‍රයිව් කාර් බොහොම දුර්ලභයි. ඉස්සර ලංකා පොලීසියේ පාවිච්චි කළා කියලයි ක්ලයිව් කිව්වේ)
Ford Mustang 302 (1969) (ලංකාවේ තියන මේ වර්ගයේ එකම කාර් එක ලු)
ඊට අමතරව මෙන්න මේ ඇමරිකන් කාරුත් ඔයාලට ෂෝ එකේදී දැකගන්න පුළුවන්.
Ford Model T
Chevrolet Recovery Truck
Chevrolet Biscayne
Chevrolet Camaro
Chevrolet Bel Air
Pontiac Strato Cheif
Pontiac Bonneville
මේ වගේ ලැයිස්තුවක් දකිද්දී මගේ ඇහැ සාමාන්‍යයෙන් නවතින්නේ Mustang එක ගාව. නමුත් මේ පාර එහෙම වුණේ නෑ. මේ පාර මගේ ඇහැ නැවතුණේ Chevrolet Bel Air එක ගාව.
මේ පාර සිලෝන් මෝටර් ෂෝ එකට එන Bel Air එක අයිති ෆ්‍රෙඩී අලස් මහත්මයට කියලා තමයි ක්ලයිව් මට කිව්වේ. මේ කාර් එක මම මීට දවස් කීපයකට කලින් ෆේස්බුක් එකේ තැනකදී දැක්කා. එදා මට දැනුණේ හරියට ටියුෂන් පන්තියේ ක්‍රෂ් එක මගේ බංකුවට ඉස්සරහ බංකුවේ වාඩිවෙලා ඉන්නවා කියලා ඉස්සරලාම දැක්කම දැනෙනවා වගේ හැඟීමක්. ලැබෙන්නේ නෑ කියලා බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ තරමට ෂුවර්; හැබැයි සිතිවිල්ලක දෙකක සුවඳ දැනෙන මානයේ ඉන්නවා කියලත් ඒ චන්ද්‍රයෝ තරමටම ෂුවර්....
මීට කලිනුත් මගේ ෆේස්බුක් යාළුවෙක් කොහේදෝ තිබිලා බෙල් එයාර් එකක් හොයාගෙන ෆ්ලැට් බෙඩ් එකක පටවන් යන ෆොටෝ එකක් මම දැක්කා. එදත් මම ෆ්‍රී වයිෆයි කනෙක්ෂන් එකක් අහුවුණු අවුරුදු දාසයේ කොල්ලෙක් වගේ දඩස් ගාලා දුවලා ගිහිං එයාගේ ප්‍රොෆයිල් එකට රිංගලා මැසේජ් එකක් දාලා කිව්වා හදපු දවසක මට පොඩ්ඩක් බලන්න දෙන්න කියලා...
එයා එහෙම බලන්න දෙන එකක් නෑ...
ඒ වුණාට මට කමකුත් නෑ... බංකුව ඉස්සරහින් සිතිවිල්ලක සුවඳ දැනෙන මානයේ 'ඇයත් ඉන්නවා කියා මම දන්නවා...'
ඉතිං ෆ්‍රෙඩී අලස් මහත්මයාගේ බෙල් එයාර් එක එනවා කියලා දැනගත්තු දවසෙම මම තීරණය කළා වැඩ රාජකාරි දාහක් තිබ්බත් සිලෝන් මෝටර් ෂෝ 2017 එකට එනවා එනවා එනවාමයි කියලා...
ඔයාලටත් එහෙම හිතෙනවා නම් මෙන්න විස්තර...
තැන: BMICH
දවස් සහ වෙලාවල් : ජනවාරි 27 සිකුරාදා හවස 5.30 ඉඳන් රෑ 11.00 වෙනකල් සහ ජනවාරි 28 සෙනසුරාදා සහ 29 ඉරිදා උදේ 9.30 ඉඳන් රෑ 11.00 වෙනකල්
ටිකට්: රු. 150/- යි. හැබැයි අවුරුදු 10 ට අඩු පොඩි අයට නොමිලේ ඇතුල් වෙන්න පුළුවන් කියලා කිව්වා.
ක්ලැසික් කාර් විතරක් නෙමෙයි, අලුත් කාර් සහ අලුත් කාර් එළිදක්වීම් වගේ වැඩ ගොඩකුත් සංවිධානය කරලා තියනවා කියලා ආරංචියි. ඒ නිසා පොඩි වෙලාවක් වෙන් කරගෙන ගිහිං බලන්න.
මේ පහළ තියෙන්නේ එතන තියන කාර් වලින් කීපයක්. මේ ෆොටෝ ඔක්කොම එවුවේ ක්ලයිව් ද සිල්වා. ඒ වෙනුවෙන් මගේ විශේෂ ස්තූතිය...
(ලිපියේ මුලින්ම තියන ෆොටෝ එකේ සහ අග තියන ෆොටෝ වල සියලු හිමිකම්- Classic Car Club of Ceylon සහ ක්ලයිව් ද සිල්වා)
නියම එකතුවක්..
ReplyDeleteකාර් පිස්සුව හැදුණට පස්සේ :D <3
ප්‍රතිචාරෙට ස්තූතියි ධනුවා... ගිහිං නෙත්සිත් පුරා දැකගන්න... :)
Deleteoya poth liyana eka digatama karanna.ewa dekkama apitath wenna peni heliyata wetichcha ambalayata wage melo sihiyak netuwa mula idan agatama kiyawanna eka.office 1ke weda asse miniththuwaka podi relax1kata kiyala fb awama oyage story1k dekkoth ema kara kara hitapu wede nawattala agatama yanakal kiyawana eka matanam aniwaryai.podi kale idanma age tibunu rathagaya kiyana ledeta peni rasa beth bothalayak lebuna wage thamai oyage blog 1 saha fb page1.jayen jayama wewa.ohoma yan.api enawa hemadath pitipassenma.
ReplyDeleteබොහොම ස්තූතියි චන්දිම... ප්‍රතිචාරය ගොඩක් වටිනවා...
DeleteMamath hema parama yanawa.me parath aniva yanawa.thanx oyata
ReplyDeleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි රන්දික... නිතර බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්න...
Deleteහම්මේ ඉතින් නෙහ්....යන්න ලැබුනත් නැතත් මේකෙ ෆොටෝස් නම් හොයාගෙන බලනවම තමයි.මේ වතාවෙ නම් ෆොටෝස් හොයන්න අන්තර්ජංජාලෙ පීරි ගාන්න වෙන එකක් නෑ...කාර් පිස්සුව තියෙන හන්දා... :)
ReplyDeleteආයේ කතා දෙකක් නෑ. මම නොගියත් කොලිටි ෆොටෝ එවන්න කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉඳීවි. ඔයාට යන්න වෙන එකක් නැද්ද පුබුදු?
Deleteයන්න ආසාව තිබ්බට වෙලාවක් හොයාගන්නයි අමාරු.මේ ටිකේම ඕෆ් වෙද්දී 7.30 වත් වෙනවා මයි.ඒ ඕෆ් වෙලා ඉතිං මේවට යන්න වෙලාව මදි නෙව.මේ වතාවෙත් ෆොටෝ ටික බලල හිත හදාගන්නවා....
Deleteඅපරාදේ!
Deleteමට නං තාම පොත් පිස්සුවත් තියෙනව.. හැම අවුරුද්දෙම BMICH යන්න හේතු 2යි 😁
ReplyDeleteමේ blog එක ගැන මීට කලින් දැනගත්ත නං කියල හිතෙනව..
Kudos
බොහොම ස්තූතියි අකිල... මීට පස්සේ නිතර කාර් පිස්සුවට ගොඩවෙලා යන්න ඒවි කියලා බලාපොරොත්තු වෙනවා :)
DeleteHammoo..yanna try ekak denwaa
ReplyDeleteට්‍රයි නෙමෙයි, අනිවා යන්න :)
Deleteඔතන අලුත් කාර් නැද්ද ?
ReplyDeleteපොඩි මෙන්ඩ එක්කරගෙන යන්න ඉන්නේ
තියනවා තියනවා... එයාලගේ ලෝගෝ එකේ තියෙන්නෙත් පරණ කාර් භාගයයි අලුත් කාර් භාගයයි :D
Deleteඋබගේ අනිත් බ්ලොග් එක දැක්කේ අද
ReplyDeleteඅටමා ඒක ලියන්න දෙන්නේ නෑ... හැක්...
Deleteඒ බ්ලොග් එක කියවන්න වටිනවා ..අද දවසේ එකේ පරණ පොස්ට් ටික බලනවා
Deleteස්තූතියි. අලුත් කාර් ගැන හොඳ තොරතුරු ටිකක් ලැබුණාම ඒකත් අප්ඩේට් කරන්නම්, අටමා ගෙන් බැණුම් අහඅහ හරි...
Deleteමචෝ උඹේ ඔය කාර් පිස්සුව අපිටත් බෝ කරන්නේ මේ බ්ලොග් එක රසවත් කරලා ලියන විදිහෙන්මයි. ඒක හරියට පරණ හින්දි සිංදු ගැන රංජිත් එදිරිසිංහ මහත්තයා රසකරකර අයිටි එන් එකේ ප්‍රෝගෑම් එකක් කරනවා වාගේ.
ReplyDeleteබොහොම ස්තූතියි අසංග... මගේ උත්සාහය සාර්ථක වීම ගැන සතුටුයි... :)
Deleteඕක බලන්නනං යන්න වෙන්නෙ නෑ. ඒත් අපිත් ගියා වගේ දැනෙන්න විස්තර මේකෙ ලියවෙයි කියා හිතනව.
ReplyDeleteඅනිවා... ස්තූතියි ප්‍රසන්න අයියා...
Deleteඕකට ටෙස්ලා කාර් එන්නැද්ද??
ReplyDeleteටෙස්ලා ගැන එහෙම බොක්කෙන් ලවු එකක් නැති නිසා මම ඒකනම් හෙවුවේ නෑ. මම අහලා බලන්නම්...
Deleteඋබගේ අර අනිත් බ්ලොග් එකට පබ්ලිසිටියක් දීපිය ...එක එල ද බ්‍රා ඩබල් පුෂප්
ReplyDeleteස්තූතියි. ඔයා වැඩිය බර අලුත් කාර් පැත්තට නේද? :)
Deleteකොල්ලෝ මේක බලපන්...
ReplyDeleteකොල්ලෝ මේක බලපන්...
DeleteWow awesome.....
ReplyDelete- Kapilesh
Thank you Kapilesh :)
Deleteහම්මෝ බෑ.. මේ ලෙවල් එකේ කාර් පිස්සුවක් හැදුනොත් මම ඉවරයි...
ReplyDeleteඔයා දන්නේ නැති වුණාට ඔයාට දැනටම විසබීජේ වැදිලා තියෙන්නේ සෙන්නා :D
Deleteහුටා එහෙමද ? මාර භයානක විස භීජයක්නේ.. දන්නෙම නැතිව වදින්නේ.... :D
Deleteඅනිවාර්යයෙන් ගිහිල්ල ආව ගමන් ලිපියක් ලියන්න. අපි මග බලාගෙන ඉන්නවා.
ReplyDeleteලියන්නං ලියන්නං :)
Deleteහොදම තත්වෙනි තියන කාර් සෙට් එකක් තියෙයි කිතුල්ගල ප්ලාන්ටේෂන් හොටෙල් එකේ
ReplyDeleteකිරි ටොයිය සෙට් එකක්
වීඩියෝ කලා තියෙයි
ඒත් සයිස් එක වැඩී නැත්තං දාන්ඩ තිබ්බ
ස්තූතියි මහේෂ්... ඒ ටිකේ ෆොටෝ සෙට් කීපයක්ම ලැබුණා අපේ කට්ටියගෙන්... කාර් පිස්සුව ෆේස්බුක් පේජ් දාලා තියනවා ඒවා...
Deleteමෙතනිං මගේ හිතට අල්ලන හොඳම වාහනේ අර බී.එම්ඩබ්ලිව් ඉහැට්ටා එක. ඕකෙ පීල් පී 50 එකක් එහෙම නැද්ද? ඒ ජාතියෙ හුණ්ඩු කාර් වලට මං හරි ආසයි. පණ තියෙන කාලෙක අහුවුනොත් එයිං එකක් ගන්න ඕනෑ.
ReplyDeleteනෙද්දකිං. මට පේන්නම බැරි එක ඒක.
Deleteඅන්න හුන්ඩු කාර් තොගයක් තියනවා ෂෝ එකේ අලුත් කාර් සෙක්ෂන් එකේ...
Deleteමම මේ කමෙන්ට් එක දාන මොහොතෙ මගෙ පුත්තරය නම් සගයෙකුත් එක්ක ඕක බලලා ආපහු ගෙදර එමින් ඉන්නෙ. රෑට විස්තරේ අහගන්න ඕනෙ. ඔය කියන බෙල් එයාර් එක දැක්ක ගමන් මතක් වෙන්නෙ Opel Rekord එක.
ReplyDeleteමම ඔය ඔපල් රෙකෝඩ් සහ හිල්මන් මින්ක්ස් වගේ ඒවා පස්සේ යන්න එක හේතුවක් තමයි බෙල් එයාර් ලබන්න පින් නැති නිසා ඊට යාන්තම් හෝ සමාන එකක් හොයාගැනීම...
Deleteජීප් නැද්දෝ?...
ReplyDeleteතිබ්බා තිබ්බා... ලෑන්ඩ් රෝවර් සීරීස් 1 එකකුත් තිබ්බා...
Deleteමම වගේ ජීප් පිස්සෙක්
Deleteමම වගේ.... :)
Deleteමිට්සුබිෂි තිබ්බද?
රෙනෝල්ට් අලුත් එක ගැන ලියපන්කෝ ..
ReplyDeleteඇපෙන් බේරෙන්න නෙමයි පොරි හැලෙන්න හොද නරක හැම දෙයක්ම ලියපං
ක්විඩ් එක ගැන ලිව්වොත් වෙන්නේ අර මරුටිය ගැන ලියලා වෙච්ච දේ තමා... :)
Deleteඅලුත් කාර් ගැන ලියපන් මාර්කට් එකේ මිල ගණන් , හොද නරක, සෙල් එකකින් (පුංචි කාර් නිවස වගේ ) තැනකින් ද ගෙදරකින් ද ගන්න හොද. පාවිචි කරපු එකක් ගන්නකොට බලන්නං ඕනේ දේවල් හැම දෙයක් ගැනම ලියපන්
ReplyDeleteනිකන් හිතමු ...මම කාර් එකක් ගන්නවානම් උබට පුලුවන්ද මට ගන්න තැනක් කියන්න ඒ කාර් එක බලලා දෙන්න උබට බැරි නම් ඒ සම්බන්දව සම්බන්ද කරලා දෙන්න පුලුවන් අය එක්ක උබට සම්බන්දතා තියනවද?
ReplyDeleteමගේ අදායම,අවශතාවය, කොටින්ම උබ අහන ප්‍රශ්න වලට උත්තර දුනොත් මම මොන වගේ කාර් එකක්ද ගන්න ඕනේ කියලා අදහසක් දෙන්න උබට පුලුවන්ද (යාලුවෙක් විදිහට උදව්වක් විදිහට )
මම ප්‍රතිපත්තියක් හැටියට කාර් බිස්නස් එක්ක වැඩි සම්බන්ධතා තියාගන්නේ නෑ... නමුත් ෆේස්බුක් පේජ් එකේ ඒවා කරන අය ඕන තරම් ඇති. ඔයාගේ අවශ්‍යතාව හරියට දන්නවා නම් මට කට්ටියගෙන් අහන්න පුළුවන්. ෆේස්බුක් පේජ් එකට ඇවිත් මැසේජ් එකක් දාන්න. මම පුළුවන් දෙයක් නම් කරන්නම්.
Deleteනැහැ නැහැ උබ කලබල වෙන්න එපා ...මම දැන්ම ගන්නේ නැහැ
Deleteපබ්ලිෂ් කොරන්ට අල්ලපු පොටෝ ටිකක් වත් දුරු රට ඉන්න අපිටත් බලන්ට..
ReplyDeleteදෙන්නං දෙන්නං... දැනට ෆේස්බුක් පේජ් එකට ගොඩවෙලා බලන්න... වෙන අය එවපු ෆොටෝ සෙට් දහයක් විස්සක් දැම්මා... :)
Deleteඅලුත් කාර් බ්ලොග් එකේ හැම පොස්ට් එකක්ම කියව්ව ..කෙමෙන්ට් දැම්මා ඒක ලියපන් බන්
ReplyDeleteආසාවක් නම් තියනවා ආපහු ඒකත් ලියන්න ගන්න. වෙලාව නෙව ප්‍රශ්නේ...
Deleteබොහොම ස්තූතියි ඔක්කොම කියෙව්වට...
ලියපන්කො
ReplyDeleteනියම ලිපිය. ලස්සන පින්තුර ටික. ඔය කාර් හදනවද මල්ලි? මගේ ළඟ පරණ ඇන්ග්ලියා එකක් තියනවා. ගෙනාවොත් ටිකක් බලන්න බැරිද?
ReplyDeleteකාර් හදන වැඩ නම් කරන්නේ නෑ. නමුත් අජිත් අයියා ඉන්නේ කොයි ගම්පළාතේදේ කියලා කිව්වොත් මට ඔයාට ළඟ තැනක් ගැන චුට්ටක් හොයලා බලන්න පුළුවන්. (උත්තර දෙන්න පරක්කු වුණාට සමාවෙන්න. රටින් පිට හිටියා දවස් කීපයක්).
Deleteතැනකට දුන්නා. සමහර අඩු කෑලි පුදුම ගණන් මෙහෙ. දෙක තුනක් ගත්ත. ස්තූතියි.
Deleteෆෝඩ් අමතර කොටස් වල මිල අධික වීමේ ගැටලුවක් ලංකාවේ තියනවා. විශේෂයෙන්ම ජයවර්ධන මෝටර්ස් එක පැත්තේ ගිය අයගෙන් මේ චෝදනාව නිතර අහන්න පුළුවන්. වෙනත් මාර්ග වලින් අමතර කොටස් හොයාගන්න දැන් කට්ටිය යොමුවෙලා ඉන්නේ ඒකයි...
Deleteලියන්නේ නැද්ද බං
ReplyDeleteලියපංකෝ
ReplyDeleteපොඩ්ඩක් වැඩ අධික වුණා මේ දවස්වල මෙන්ඩෝ... ඉක්මනට ලියන්නං... ස්තූතියි උනන්දු කරනවට...
Delete