Monday, January 16, 2017
වීරතන්ත්‍රී වලව්වේ EN එක (කෙටිකතාවක්)
පොතු ගැලවිච්ච මහා ගහක කඳේ පෙනුම වගේ පෙනුමක් තිබිච්ච දැවැන්ත තාප්පයක් සහ යකඩයි මලකඩයි අතර සදාතන සටනෙන් යකඩ අජූතෙට පරදින බව කියාපාන අලිවිසාල ගේට්ටුවක් තමයි වීරතන්ත්‍රී වලව්ව ළඟින් යන කාටත් පේන්නේ. ඊට අමතරව ලෝකල් බටර් ගාලා උණුවතුරෙන් හේදුවා වගේ සෝමාරි පෙනුමක් තියන හයේ හතරේ බිත්ති ටිකක් සහ රුයිතෙට වර්ක් කරපු සාරියක් වගේ තැනින් තැන කොළපාටට දියසෙවෙල් බැඳුණු සිංහල උළු හෙවිල්ලපු වහලයකුත් ඒ වලව්වේ තියනවා.
තාප්පය සහ වලව්ව අතර තියෙන්නේ අලුත් අවුරුදු දවසට හිස්වෙච්චි බස් ස්ටෑන්ඩ් එක පුරා රතිඤ්ඤා කෑලි විසිරිලා තියනවා වගේ හැමතැනම වේලිච්ච කොළ විසිරිච්ච වත්තක්. ඒ අතරින් පතර අරියාදුවට ඇදපු ඉදල් පාරක ලකුණු තියනවා. රෑට රෑට වවුල්ලු ගෙනත් දාපු කොට්ටම්බා ගෙඩි නම් මොකක් හරි හේතුවකට එක තැනකට එකතු කරලා තියනවා දකින්න පුළුවන්. ඉඳලා හිටලා අහල පහළ ගහක ඉන්නෙද්දී කම්මැලි කමක් දැනුණු ලේනෙක් දූවලා ඇවිත් මේ කොට්ටම්බා ගෙඩියකට හොම්බෙන් ඇනලා දත නියවලා ඇඟ නටවලා ආපහු ගහට දුවනවා. වලව්වේ බල්ලා වෙන දන්ඩෝරියා (දඩෝරියා නෙමෙයි, ඌට කියන්නේ දන්ඩෝරියා කියලා) ඔය ලේන්නු දිහා බලලා තමයි දවල්ට සාංකාව මගඇර ගන්නේ. මොකද ඌව නටවන්න වලවුවේ කවුරුත් නෑ.
වීරතන්ත්‍රී මහත්තයා නැතිවුණේ හදිස්සියෙමයි. ඒ මීට අවුරුදු 3 කට විතර කලින්. වීරතන්ත්‍රී මහත්තයා එච්චර ගමේ වැඩ වලට හොම්බ ඔබන්න ආපු කෙනෙක් නෙමෙයි. එයා තමන්ගේ පාඩුවේ හිටියා. මරණෙකට මගුලකට දානෙකට කොටහළුවකට ආවා ගියා. මූණට මුලිච්චි වෙලා කවුරුහරි සම්මාදමක් ඉල්ලුවොත් සීයයි පන්සීයයි අතර මුදලක් දුන්නා, ආපහු කාර් එකට නැග්ගා, කාර් එකටත් නොදැනෙන්න වගේ දොර වහගත්තා, පාරටත් නොදැනෙන්න වගේ යන්න ගියා.
ගමේ ගොඩක් අය වීරතන්ත්‍රී මහත්තයා එනවා කියලා දැනගන්නේ කාර් එකේ ගීතවත් හඬ ඇහුණාමයි. වීරතන්ත්‍රී මහත්තයා පාවිච්චි කළේ EN නොම්මරේ තියන ෆොක්ස්වැගන් බීට්ල් එකක්. ෆොක්ස්වැගන් සහ මයිනර් අතර වෙනස නොදන්න (සහ ඒ ගැන තුත්තිරි ඇටයක් තරම්වත් තැකීමක් නොකරන) අය ඕක වෙලාවකට පොස්සගන් කියලත්, තවත් වෙලාවකට මයිනර් කියලත් හැඳින්නුවා. හැබැයි කාර් පිස්සුව තියන කොල්ලෝ කුරුට්ටෝ දැනගෙන හිටියා ඕක ෆොක්ස්වැගන් බීට්ල් එකක් බව. කොටින්ම කියනවා නම් 'මරු ඉබ්බෙක්' බව.
මනෝජ් කියන්නේ ගමේ හිටපු එහෙම කාර් පිස්සෙක්. මනෝජ් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔය බීට්ල් එකට ආසයි. අවුරුදු දා හතේදී විතර දවසක් වීරතන්ත්‍රී මහත්තයා පේන්න නැති වෙලාවක පාරේ නවත්තලා තිබ්බ බීට්ල් එක අතගගා ඉඳලා මනෝජ් අතටම මාට්ටු වුණා. නාරං ගහක් අස්සෙන් බට්ටිච්චෙක් මතුවුණා වගේ එකපාරටම වීරතන්ත්‍රී මහත්තයා මතුවුණාම මනෝජ්ට අල්ලපු රටවල දෙවිවරුත් සිහිවුණා.
"මොකක්ද ඕක අතගගා කරන්නේ...?"
වීරතන්ත්‍රී මහත්තයා ඇහුවේ නිවුණු හඬකින්. මනෝජ්ගේ බය යටකරගෙන එක එක ප්‍රශ්න හිතට නැගෙන්න ගත්තා. නමුත් ඒ ප්‍රශ්න එකක් වත් වචන කරගන්න කලින් වීරතන්ත්‍රී මහත්තයා කාර් එකට නැග්ගා. යතුරට අත තියලා, ආපහු අත අරගෙන, ඒ අත ස්ටියරින් වීල් එක උඩ තියාගෙන මනෝජ් දිහා බැලුවා.
"මම මේක ගත්තේ පනස් පහේ... පඩියෙන් සල්ලි ඉතුරු කරලා..."
වීරතන්ත්‍රී මහත්තයා හෙමින් සීරුවේ ආපහු යතුර කරකවලා වාහනේ ස්ටාට් කරගෙන අගෝස්තුවේ හුළඟක පාවෙන වරාමලක් වගේ පාවෙලා යන්න ගියා.
මනෝජ් ෆොක්ස්වැගන් ගැන හොයන්න ගත්තේ එදා ඉඳන්. එදා ෆොක්ස්වැගන් ගැන කිසි දෙයක් නොදැන ඔලුවේ තැන්පත් වුණු රූප සේරම අවුරුද්දක් විතර යද්දී අලුතින් අර්ථ දක්වන්න මනෝජ්ට පුළුවන් වුණා. එදාට පස්සේ සෑහෙන කාලයක් යනකල් මනෝජ්ට වීරතන්ත්‍රී මහත්තයාගේ බීට්ල් එක එච්චර ළඟට දකින්න ලැබුණේ නෑ. ඒත් ගමේ කාර් පිස්සෝ අතර 'වීරතන්ත්‍රී බීට්ල් එක්ස්පර්ට්' බවට පත්වෙන්න මනෝජ්ට පුළුවන් වුණා. කවුරුහරි ඇහුවම 'මචං වීරතන්ත්‍රී ලොක්කගේ වාහනේ මොකක්ද?' කියලා මනෝජ් කියාගෙන යනවා, 'පනස් පහේ, ඕවල්, එන්ජිම එක්දාස් දෙසීය සීසී, දැන් අත් සිග්නල් නම් අයින් කරලා ඒ වෙනුවට පස්සේ මොඩ්ල් ටේල් ලයිට් සෙට් එකක් දාලා, තාම රිම් කප් ටික නියමෙට තියනවා, දකුණු පැත්තේ රනින් බෝඩ් එක පොඩ්ඩක් පාත් වෙලා, සයිඩ් කන්නාඩි දෙකත් ඔරිජිනල් නම් නෙමෙයි, හැබැයි දොර ලොක් බීඩින් වයිපර් ආම් එහෙම සේරම ඔරිජිනල්' වගේ දේවල්. කොල්ලොත් ඉතිං අවාරේ අඹ ජූස් හම්බුණා වගේ තොලකට ලෙවකකා මේ විස්තර ටික ගිලිනවා. කොච්චර ඇහුවත් උන්ට එපා වෙන්නෙත් නෑ, කොච්චර කිව්වත් මනෝජ්ට එපා වෙන්නෙත් නෑ.
කොහොම වුණත් අවුරුදු දහ අට පිරුණට පස්සේ මනෝජ්ගේ කාර් පිස්සුව ටිකක් විතර යට ගියා. ඒකට හේතුව තමයි එයා IT පැත්තට යොමුවීම. IT ගැන මහා උනන්දුවක් මනෝජ් ගේ හිතේ තිබ්බේ නෑ, නමුත් උසස් පෙළ කළාට පස්සේ ඉක්මනින් හරිහමං වෘත්තීය පාඨමාලාවකට යොමුවෙන්න මනෝජ්ට ඕනෑකම තිබ්බා.
මනෝජ් ගේ තාත්තා නැතිවුණේ මනෝජ් පුංචි කාලේ. ඊට පස්සේ අම්මා රස්සාවක් කරන ගමන් මනෝජ්ව ලොකු මහත් කළා. දැන් නම් අම්මා කරන්නේ ගෙදර ඉඳන් ඇඳුම් මහන එක. ඉතිං අවුරුදු දහ අට වුණාට පස්සෙත් අම්මට බරක් වෙන්න කැමති නැති නිසා මනෝජ් යමක් කමක් හම්බ කරන්න පුළුවන් දෙයක් තමන්ගේ වෘත්තිය හැටියට තෝරගන්න තීරණය කළා. එතකොට තමයි මනෝජ් IT පැත්තට විසිවුණේ.
මුලින් ලොකු උනන්දුවක් නැති වුණාට Programming පාඨමාලාවක් කරන්න ගත්තට පස්සේ මනෝජ් ඒකට වශී වුණා. Programming කියන්නේ හැරී පොටර් චිත්‍රපටියක් වගේ දෙයක් කියලයි මනෝජ්ට පෙනුණේ. ඉස්සර හීනෙන් වත් නොහිතපු දේවල් කොම්පියුටරයක් ඉස්සරහා ඉඳගෙන කරන්න පුළුවන් වෙද්දී මනෝජ්ට ඉගෙනීමේ වෙහෙස දැනුණේ නැහැ. ඒ නිසා Programming වලට එහා දෙයක් ගැන වදවෙන්න මනෝජ්ට ඕන වුණෙත් නෑ. හැබැයි කෝකටත් කියලා මනෝජ් ඩ්‍රයිවින් ලයිසන් නම් ගත්තා.
ඔය අතරෙ අප්‍රේල් මාසේ කිට්ටුව බක්මහ අකුණක් දෙකක් ඩෝං ගාගෙන එනකොට ගමේ කොල්ලෝ ටික තීරණය කළා අවුරුදු උත්සවයක් තියන්න. සම්මාදමේ යනවා කියන්නේ ගෙවල්වල ඉන්න කෙල්ලන්ව බලන්න තියන චාන්ස් එකක් නිසා ඔය වැඩේට කොල්ලෝ එකතු කරගන්න එක නිකං මාළු කෑල්ලක් දෙන්න පූසෙක් හොයාගන්නවා වගේ ලේසි වැඩක්.
මනෝජ් ඇතුළු ගමේ කොල්ලො ටික ඔය සම්මාදම් සංචාරේ යන අතරේ අර හොල්මනක් එනකල් බලං ඉන්න අනාගත හොල්මං බංගලාවක් වගේ තියන වීරතන්ත්‍රී වලවුවටත් කොහොමෙන් කොහොම හරි ආවා. ජීවත් වෙලා ඉන්න කාලේ වීරතන්ත්‍රී මහත්තයා මේ වගේ දේවල්වලට සුළු මුදලක් වුණත් දුන්නු නිසා කොල්ලෝ ටික ගේට්ටුව වැටුණොත් බේරෙන්න පුළුවන් ගැප් එකක් තියාගෙන ගේට්ටුව ගාවට කිට්ටු වුණා.
සාමාන්‍යයෙන් වෙනදාට නම් වලවුවේ මිදුලේ කවුරුවත් පේන්න නැහැ. ඒ නිසා කට්ටිය ඒ පැත්තට මංගැච්චුවේ එච්චර බලාපොරොත්තුවකින් නෙමෙයි. නමුත් මොකක් හරි හේතුවකට එදා වීරතන්ත්‍රී නෝනා මිදුලේ ඉන්නවා කට්ටිය දැක්කා.ගේට්ටුවට ගහන්න බය නිසා කට්ටිය උගුර පාද පාද, හයියෙන් කතා කර කර, සද්දෙට කෝල් අරං, පාරේ බල්ලන්ට සැර දදා සහ අඳුරන්නේ නැති එවුන්ටත් මහා හයියෙන් හාල්ල්ල්ල්ල්ලෝ මච්ච්ච්ච්ච්චාං කියකිය ගේට්ටුව ළඟ පැය කාලක් විතර හිටියට පස්සේ වීරතන්ත්‍රී නෝනා මේ කට්ටියව දැක්කා. ඊට පස්සේ කට්ටිය ගමේදී ඊට කලින් දැකලා නොතිබ්බ කුලී කාරයෙක් වගේ මනුස්සයෙක් 'මොන වදයක්ද' මූණක් දාගෙන ඇවිත් ගේට්ටුව ඇරියා.
සාමාන්‍යයෙන් ගමේදී තමන් මාර පොරවල් කියලා හිතාගෙන ඉන්න මේ කොල්ලෝ රැල වීරතන්ත්‍රී නෝනා ඉන්න තැනට ඇවිදගෙන ගියේ අඩි විස්සේ පාරක රිවස් කරන ලේලන්ඩ් බස් එකක් වගේ ස්ලෝ එකේ. එකෙක් දෙන්නෙක් පිටිපස්සේ ඉඳන් 'යමු බං යන්න' කියකියා කෙඳිරි ගානවා. වීරතන්ත්‍රී නෝනා කියන්නේ එහෙමට සැර පාටක් තිබුණු මනුස්සයෙක් නොවුණට දශක ගාණක් පරණ වලවුව, අක්කර ගාණක් පැතිරුණු වත්ත සහ තට්ටු ගාණක් බැඳුණු දියසෙවෙල් වගේ දසුන් හාත්පස විසිරිලා පැතිරිලා තිබුණු නිසා කට්ටිය හිටියේ අවුරුදු දා රෑ පළවෙනි රතිඤ්ඤාව ඇහිච්ච බලු පැටවු වගේ තිගැස්සිලා.
වීරතන්ත්‍රී නෝනා හිනාවකුත් නැති, තරහකුත් නැති මූණක් දාගෙන කට්ටිය දිහා බලාගෙන හිටියා. කොහොම හරි කට්ටියගෙන් එක්කෙනෙක් කොලු දහිරිය ටිකක් උඩු හිතට පොම්ප කරගෙන කට ඇරියා.
"අපි මේ අවුරුදු උත්සවයකට ආධාර එකතු කරනවා..."
කොල්ලා ඒ ටික කියනවත් එක්කම තමයි මනෝජ් වත්තේ පැත්තක ඇරලා දාලා තිබ්බ වලවුවේ ගරාජ් එක දැක්කේ. ඒක තිබුණු විදිහට නම් ඒකෙ දොර ඇරලා තියෙන්නෙත් අවුරුද්දකට විස්තර පස්සේ කියලා පැහැදිලියි. මොන මොනවදෝ කෑන් වගයක් ඉස්සරහින්ම ගොඩගහලා තිබ්බා. ඊට පිටිපස්සෙන් තිබ්බේ වේවැල් කැඩිච්ච, කැටයම් වැටිච්ච, බාගෙට දිරච්ච හාන්සි පුටුවක්. දකුණු පැත්තේ බිත්තියට හේත්තු වෙලා ටයර් එකක් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දිරපු රිම් දෙකක් විතර සංසාරේ හැටි කියාගෙන වේයන්ට හෝ කූඹින්ට වාසස්ථාන වෙලා. ඒ මදිවට ඒවට උඩින් වීල්බැරෝ එකක් මුනින් අතට බුදිකොරෝලා තිබ්බා.
මේ ඔක්කොටම එහායින්, මනුස්ස ලෝකේ සියලු කරදර කලබල වලින් එහාට වෙලා, අවුරුදු තුනක දූවිලි තට්ටුවක් නිස්සද්දව පොරෝගෙන, සමහර විට ආයේ කවදාවත් අවදි නොවෙන දිග නින්දකට වැටිලා වීරතන්ත්‍රී මහත්තයගේ බීට්ල් එක ඉන්නවා මනෝජ් දැක්කා.
එතනින් එහාට කොල්ලෝ කතා කරපු දේවල් වත්, වීරතන්ත්‍රී නෝනා ඒවට දීපු උත්තර වත් මනෝජ්ට ඇහුණේ නෑ.
කොල්ලෝ ටික 'යමු මචං' කියලා කතාකරද්දීත් මනෝජ්ට තමන් ඉන්නේ කොහෙද කියලා නිච්චියක් තිබ්බේ නෑ. එකපාරටම කොහෙන් කටට ආවද කියලා දන්නේ නැති වචන දෙක තුනක් කටේ තියාගෙන මනෝජ් වීරතන්ත්‍රී නෝනා දිහාට හැරිලා කට ඇරියා.
"ඇන්ටි බීට්ල් එක දෙනවද?"
කොල්ලෝ ටික කරන්ට් එක වැදුණා වගේ එහාට පැන්නේ නිකං 'මූ අපිත් එක්ක ආවේ නෑ නෝනා, මූ පිස්සෙක්' කියන්නා වාගේ මූණු ටිකක් හදාගෙන. වීරතන්ත්‍රී නෝනා කළු වෙලා ගියා. එයාගේ තොල් දෙක එකට තදවුණේ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටිවල ගල් දොරවල් වැහිලා සීල් වෙනවා වගේ. එයා එකපාරටම හැරිලා ආපහු වලවුව පැත්තට ගියා. කොටින්ම මෙච්චර වෙලා කොල්ලන්ගේ කතාව ඇහෙන මානේ තමන්ගේ වැඩක් කරගෙන හිටපු කුලීකාරයා පවා මනෝජ්ට ගහන්න වගේ බැලුවා. කොල්ලෝ ටික ෂේප් එකේ මනෝජ්වත් ඇදගෙන වත්තෙන් එළියට ආවා.
එදා තමයි මනෝජ් ජීවිතේ වැඩිම කුණුහබ්බ ප්‍රමාණයක් අහගත්තෙ. කොල්ලෝ මනෝජ්ට බැන්නේ තාම සිංහල ව්‍යවහාරේට බිහිවෙලාවත් නොතිබුණු ටෞකණ්ඩ හරුප වලින්...
මේ යාළුවෝ අතරින් එක පොළොස් කොට්ටෝරු යාළුවෙක් පියාඹලා පියාඹලා ගිහිං මනෝජ්ගේ ගෙදර දොරටත් කොටලා තිබ්බා. එදා මනෝජ් අම්මගෙන් අහගත්තෙ ලුණු ඇඹුල් විතරක් නෙමෙයි ගරම් මසාලාත් එක්ක.
"මම තාත්තා නැතිවුණාට පස්සේ කතාවක් අහන්නේ නැතුව උඹව හැදුවා. පුළුවන් නම් අර අහිංසක මනුස්සයට පපුවේ අමාරුවක් හදවලා ගමෙනුත් යන්න වැඩක් කරගනිං..."
අම්මා බැණුම් සංගීතේ අවසන් කළේ අන්න ඒ ඩ්‍රම් පාර ගහලා. තමන්ගේ කාර් පිස්සුව දිවියාම කෑවා තමා කියලා මනෝජ් දැනගත්තා.
වැඩේ වැඩිපුර චාටර් වෙන්න ඉඩක් නොතියා කොහාටත් කලින් අලුත් අවුරුද්ද ආවා (දැන් කොහා එන්නේ අවුරුද්ද ගිහිං අවුරුද්දකට විතර පස්සේ). අවුරුදු උත්සවේ කොච්චර නැගලා ගියාද කියනවා නං පළාතේ ආණ්ඩු පක්ෂේ ආසන සංවිධායක විතරක් නෙමෙයි අල්ලපු ගමේ ඉඳලා පළාත් සභාවට ගිය මන්ත්‍රී තුමෙකුත් ඇවිල්ලා වැලක එල්ලපු බනිස් ගෙඩියක් කාලා කතාවක් පවත්තලා රට ජාතිය බේරගන්න පොරොන්දු වෙලා යන්න ගියා.
කඹ ඇදිල්ල තිබ්බේ උත්සවේ අන්තිම හරියට වෙන්න. ඉතුරු වෙලා හිටපු එවුන් ටික දෙකට බෙදලා බලද්දී ආවෙ ඔත්තේ ගානක්. මනෝජ් මහන්සි වෙලා හිටපු නිසා කඹ අදිල්ලට ගියේ නෑ. තව එකෙක් හොයාගන්න කියලා කට්ටිය වටපිට බලද්දී ජීවිතේට දැකලා නැති වගේ හාදයෙක් මනෝජ් ළඟට ආවා. ඇවිල්ලා අව් කන්නාඩි දෙකක් මනෝජ් දිහාට දික්කරලා බොහොම ආචාරශීලීව මෙහෙම කිවුවා.
"මල්ලි, තරහ නැතුව පොඩ්ඩක් මේක තියාගන්නවද? මම මේකට යන්නම්."
මනෝජ් කතාවක් නැතුව අව් කන්නාඩි දෙක ගත්තා. අර හාදයා හෙමින් සීරුවේ කඹ අදින්න ගියා. කඹේ යාන්තං හෙල්ලීගෙන එනකොටම තමයි ඉර කපපු බයික් කාරයෙක් දැක්ක ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් පාරට පනින තරම් වේගෙන් මනෝජ් ඔළුවට මතකයක් කඩාපැන්නේ.
"වීරතන්ත්‍රී මහත්තයගේ පුතා රට ඉඳන් ඇවිත්...!!!"
වීරතන්ත්‍රී මහත්තයගේ පුතා කියන්නේ වැඩිය ගමට හුරු මූණක් නෙමෙයි. මිනිහා ඉගෙනගත්තේ රෝයල් එකේ හොස්ටල් එකේ ඉඳන්. කැම්පස් ගියේ කැළණිය පැත්තේ නෑදෑ ගෙදරක ඉඳන්. රස්සාව කළේ එංගලන්තේ එඩින්බරා වල ඉඳන්. ඒ නිසා ගමේ අය දන්නේ වීරතන්ත්‍රී මහත්තයට පුතෙක් හිටියා, මිනිහා ගොඩ ගියා කියලා විතරයි. මිනිහගේ මුහුණවර වීරතන්ත්‍රී මහත්තයා වගේම නිසා ගමේ අය ගමේදී දැක්කම මිනිහව අඳුරනවා. එච්චරයි.
මනෝජ් කවදාවත් වීරතන්ත්‍රී මහත්තයාගේ පුතා එක්ක කතා කරලා තිබ්බේ නෑ. හැබැයි එයා කවුද කියලා මීටර් වෙච්චි ගමන් මනෝජ්ට ටික දවසකට කලින් අහගත්තු පාලි සඟිස්කුරුත සහ ගරම් මසාලා සේරම අමතක වුණා.
කඹ ඇදලා ඉවර වුණාට පස්සේ වීරතන්ත්‍රී මහත්තයාගේ පුතා වැඩි වෙලාවක් රැඳෙන පාටක් පෙන්නුවේ නෑ. මනොජ්ගෙන් ආපහු අව් කන්නාඩි දෙක ඉල්ලගෙන, කීප දෙනෙක් එක්ක හිනාවෙලා වචනයක් දෙකක් කතා කරලා, පැත්තක තිබ්බ මේසේ ගාවට ගිහිං කැවුම් ගෙඩියකුත් කටට දෙකට කාලා මිනිහා යන්න පිටත් වුණා.
බිත්තියේ වහපු මැස්සෙක් දිහා බලාගෙන ඔන්න පැන්නා මෙන්න පැන්නා මූඩ් එකේ ඉන්න හූනෙක් වගේ මනෝජ් හිටියේ අර මනුස්සයා දිහා බලාගෙනමයි. එයා යන්න හදනවා වගේ දැනුණු ගමන් මනෝජ් ට්‍රැෆික් එකේ අඟල් දෙකක ඉඩක් දැක්ක ත්‍රීවීල් මල්ලි කෙනෙක් වගේ සුටුෂ් ගාලා අර හාදයා ගාවට දිව්වා.
"ආ මල්ලි.."
වීරතන්ත්‍රී මහත්තයාගේ පුතා මනෝජ් දිහා බලලා හිනාවකින් එහෙම කිවුවේ වැඩිය දිග සංවාදයක් ඇදගන්න බලාගෙන නෙමෙයි. ඒත් අතට හම්බෙච්චි රට අල ගෙඩිය ආපහු වලට දාන්න කැමැත්තක් මනෝජ් ගේ හිතේ තිබ්බේ නැහැ.
"අයියගේ නම මොකක්ද?"
මනෝජ් ඇහුවේ මාළුවෙක් අරගෙනම යන්න බලාගෙන ගඟට කිට්ටුම අත්තේ වහන පෙරේත පිළිහුඩුවෙක් වගේ.
"මම නවින්ද..."
"අයියා එංගලන්තෙලු නේද ඉන්නේ?"
"ඔවු මල්ලි, අවුරුද්දට පොඩ්ඩක් ලංකාවට ඇවිත් යන්න ආවා."
"අයියා කොච්චර කාලයක් ලංකාවේ ඉන්නවද?"
"සති එකහමාරක් වගේ තමයි."
"අයියා එහෙ මොනවාද කරන්නේ?"
"මම එකවුන්ටන්ට් කෙනෙක්..."
"එහෙ පරණ කාර් තියනවද අයියේ? ෆොක්ස්වැගන්, මයිනර් එහෙම?"
නවින්ද එකපාරටම මනෝජ් දිහා බැලුවා. එයාගේ කටට ආවේ නෝන්ඩි හිනාවක්.
"ආ... ඔයාද අර සම්මාදමේ ඇවිල්ලා කාර් එක ඉල්ලපු බටු ඇටේ?"
මනෝජ් ට පුළුවන් වුණා නම් හා හා හරි හාවා වගේ ගුලකට රිංගලා පියන වහගන්නවා. මනෝජ් ගේ මූණ ත්‍රීවීල් පේන්ට් එකක් ගැහුවා වගේ රතුපාට වුණා. නවින්ද කින්ඩි හිනාව මූණේ තියෙද්දීම මනෝජ් දිහා හොඳට බලාගෙන මෙහෙම කිවුවා.
"හෙට උදේ මම ගෙදර. වෙලාවක් දාගෙන දහයට විතර ඇවිත් යන්න එන්න..."
එහෙම කියලා නවින්ද එයා කුලියට ගත්තු ටොයෝටා ඇක්වා එකේ නැගලා යන්න ගියා. ලැජ්ජාව යට කරගෙන මනෝජ් ගේ හිත යටින් අර වීරතන්ත්‍රී මහත්තයාගේ බීට්ල් එකේ එන්ජිමෙන් එන භාරතීය රාගයක් වගේ සංගීතය නැගෙන්න පටන් ගත්තා.
නවින්දත් එක්ක ගිය සංවාදේ සහ හෙට නවින්දව හම්බවෙන්න වීරතන්ත්‍රී වලවුවට යන බව මනෝජ් ගෙදර ගිහිං අම්මට කිව්වේ නෑ. රෑ එළිවෙනකල් මනෝජ්ගේ ඔළුවේ සිතිවිලි වැඩ කළේ නර්බර්ග්රිං එකේ දුවන බුගාටි වේරොන් එකක් තරම් වේගෙන්. කෝස් එක කරන්න ගිය දාට පහුවෙනිදා සුජානිව දැක්ක දවසේ වත් මනෝජ්ගේ හිත ඒ තරම් නොහීලෑ වෙලා නෑ...
පහුවෙනිදා උදේ මූණකට හේදුවද, තේක බිවුවද, කෑවද වගේ කිසි දෙයක් මනෝජ්ට මතකයක් තිබ්බේ නෑ. එයා දහය වෙනකල් ඔහේ ඉන්නං වාලේ ඉඳලා දහයට පහක් තියෙද්දී එළියට බහින්න හැදුවා. එතකොට අම්මා කොහේදෝ ඉඳලා මනෝජ් ළඟට ආවා.
"අද හොරගල් අහුලන විදිහ මට එච්චර ඇල්ලුවේ නෑ. ගිහිං කතා අහන වැඩක් කරගෙන එනවා එහෙම නෙමෙයි."
සමහර විට අම්මා හිතන්න ඇති මනෝජ් ගමේ කෙල්ලෙක් එක්ක පැටලිලා කියලා. සුජානි එක්ක තියන ගස් වටේ, කනු වටේ දිවිල්ල තාම සීරියස් දෙයක් කියලා හිතෙන්නේ නැති නිසා සහ ඕවා කියලා ගෙදරින් ගුටිකන්න බැරි නිසා මනෝජ් ඒ ගැන ගෙදරදී කෙළ බිඳක් හලලත් නෑ. ඒ නිසා මනෝජ් මොකුත් නොකියා අහසට නොදැනෙන්න පාවෙන වළාකුලක් වගේ පොළොවට නොදැනෙන්න ගෙදර වත්තෙන් එහාට මාරු වුණා.
මනෝජ් වීරත්න්ත්‍රී වලවුව ළඟට ගියේ පළවෙනි වතාවට හොරපොල් කඩන්න යන මිනිහෙක් වගේ ගහක් කොලක් දිහා වත් බලන්නේ නැතුව බිම බලාගෙනමයි. ගේට්ටුව ළඟට යනකොටම මනෝජ් දැක්කා නවින්ද මිදුලේ ඉන්නවා.
මනෝජ්ව දැක්කා විතරයි නවින්දට බකස් ගාලා හිනා ගියා. වෙලාව හරියටම දහයයි. ටෙලිකොම් එකට හරි ජාතික රූපවාහිනියට හරි කෝල් එකක් දීලා ඇහුවත් වෙලාව දහයයි කියයි. ඒ කියන්නේ දහයම දහයයි. නවින්ද ගේට්ටුව ඇරලා මනෝජ්ව ඇතුළට ගත්තා.
"මෙන්න නියම වෙලාවට වැඩකරන ශ්‍රී ලාංකිකයෙක්." නවින්ද හිනාවෙන ගමන් කිවුවා. නමුත් ලැජ්ජාවක් හිතෙන්න ඉඩක් මනෝජ්ගේ හිතේ තිබ්බේ නෑ. කොළඹ ඔෆිස් ඇරෙන වෙලාවට මතුගම යන බස් එකක් තරමට මනෝජ්ගේ හිත මාරු කාසියක් ගහන්න ඉඩක් නැති තරමට එක එක සිතිවිලි වලින් පිරිලා.
නවින්ද මනෝජ්ව වලවුවේ ඇතුළට එක්කගෙන ගියා. කොහේ හරි ඉඳලා වීරත්න්ත්‍රී නෝනත් ආවා. ඒ පාර නම් මනෝජ්ට පොඩි බයක් ආවත් වීරත්න්ත්‍රී නෝනාගේ මූණේ කේන්තියක් තිබ්බේ නෑ. නවින්ද මනෝජ්ට ඉඳගන්න කියල කිවුවා. මනෝජ් මල් කැටයම් දාපු වේවැල් පුටුවක ඉඳගත්තා. දන්ඩෝරියාත් ඇවිත් පවුලේ සාමාජිකයෙක් විදිහට වගකීම්සහගතව පැත්තකින් ඉඳගත්තා. නවින්ද වහෙන් ඔරෝ නැතුව කෙළින්ම ප්‍රශ්නෙ ඇහුවා.
"ඔයා බීට්ල් වලට ආසද?"
සිතිවිලි වැඩකරන වේගෙට මනෝජ් ගැහෙනවා.
"ඔවු අයියේ...!"
"කොහොමද ඔය ආසාව ඇතිවුණේ?" නවින්ද අහන්නේ සීරියස් හඬින්.
"මේ වලවුවේ බීට්ල් එක දැකලා තමයි."
"අපේ තාත්තා එක්ක කතා කරලා තියනවද?"
"එක දවසක් මගදී හම්බවෙලා වීරත්න්ත්‍රී මහත්තයා මට කිවුවා මේක ගත්තේ පනස් පහේ පඩියෙන් එකතු කරපු සල්ලි වලින් කියලා."
වීරතන්ත්‍රී නෝනා එකපාරට ඊතලයක් වාගේ ඇහැට ආපු කඳුලක් හංගන්න අහක බලාගත්තා. නවින්ද එයා දිහා බලලා ආපහු මනෝජ් දිහා බැලුවා.
"ඔයාට දැන් බීට්ල් එකක් ගන්න ආසද?"
මනෝජ්ට එකපාරට හෙනයක් ගහනවා වගේ මතක් වුණා, වාහනයක් ගන්න තමන් අතේ සල්ලි නෑ නේද කියලා. ඒත් තමන්ම කපාගෙන තමන්ම බැහැලා තමන්ම නාමින් ඉන්න මේ මඩවලෙන් ගොඩ එන්න ක්‍රමයක් මනෝජ්ට ඒ වෙලාවේ පෙනුණේ නැහැ.
"ඔවු අයියේ.."
නවින්ද ටිකක් වෙලා කල්පනා කළා. ඊට පස්සේ බොහොම ගැඹුරු හඬකින් මෙහෙම කිව්වා.
"මල්ලි අපේ තාත්තා පාවිච්චි කරපු බීට්ල් එක නම් ඔයාට දෙන්න විදිහක් නෑ. ඒ වාහනේ තමයි තාත්තා ඉස්සරලාම අම්මව බලන්න ඇවිත් තියෙන්නෙත්. ඒ වාහනේම තමයි මේ දෙන්නා කසාද බැඳලා ඇවිත් තියෙන්නෙත්. මම ඉපදුණාම ගෙදරට එක්කන් ඇවිත් තියෙන්නෙත් ඒ වාහනේ. මම ඉස්සරලාම කැම්පස් එකට ගියෙත් මේකේ. කොටින්ම ඉස්සරලාම එංගලන්තේ යන්න එයාපෝට් ගියෙත් මේකේ. ඒ නිසා මේක නම් දෙන්න විදිහක් නෑ. හැබැයි මගේ යාළුවෙක් ගාව 5 ශ්‍රී බීට්ල් එකක් තියනවා අඩුවට. මම ඔයාට ඒකෙ ෆොටෝස් ටිකක් පෙන්නන්නම්."
නවින්ද මනෝජ් ළඟට ඇවිත් එයාගේ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ වගයක් පෙන්නන්න ගත්තා. ඒ අතරේ වලවුවේ වැඩකරන කෙනෙක් එවිත් තේකක් තියලා යනවා මනෝජ් ලාවට දැක්කා. අර ෆොටෝ වල තිබුණේ අපූරු ලා රතුපාට 5 ශ්‍රී බීට්ල් එකක්. හැබැයි ඒක ඔරිජිනල් පාට නෙමෙයි කියලා මනෝජ්ට තේරුණා. 1300 බීට්ල් එකක්, හැබැයි කනේ මයිල් නෙමෙයි. ඒකෙ ඔරිජිනල් වීල් තිබ්බේ, හැබැයි කප් ටික තිබ්බේ නෑ. බෆර් දෙක ටිකක් මලකඩ කාලා, ඒ වගේම පැසෙන්ජර්ගේ පැත්තේ සයිඩ් කන්නාඩිය තිබ්බෙත් නෑ. හැබැයි කාර් එක බොහොම සොලිඩ්. කවුරුත් ඒක 'මොඩිෆයි' කරන්න ට්‍රයි කරලා තිබ්බේ නැති බව මනෝජ්ට තේරුණා. නවින්ද කියපු ගානේ හැටියට කාර් එක ඉතාම වටිනවා.
මනෝජ් දිග සුසුමක් පිටකළා. තමන්ගේ හිතට දැනෙන්නේ මොනවාද කියලා එයාට තේරුණේ නෑ. නොදන්න පැත්තකට ගියාම නොදන්න ගහකොළ අස්සේ නොදන්න කෘමි සත්තු පේන්න ගන්නවා වගේ තමන්ගේම හිත දැන් තමන්ටම නුහුරු තැනක් වෙලා, තමන්ගේම සිතිවිලි තමන්ටම ආගන්තුක වෙලා කියලා මනෝජ්ට හිතුණා. ඒ නිසා හිතත් එක්ක තර්ක කරන්න යන්නේ නැතුව, සිතිවිලි වලට අවශ්‍ය දේ වචන වෙන්න මනෝජ් ඉඩ ඇරියා.
"එපා අයියේ. මට 5 ශ්‍රී එක එපා. මේ වලවුවේ කාර් එකේ වටිනාකම මට තේරෙනවා. නමුත් අයියා කවදාවත් ඕක හදන්නේ නෑ. අයියා ලංකාවේ නෑ නේ. ඉතිං මේ කාර් එක මෙතන දිරදිරා යයි. වීරත්න්ත්‍රී මහත්තයගෙයි නෝනාගෙයි ජීවිත වගේම ගමේ අපේ ජීවිතත් එක්ක මේ තරමට සමීප කාර් එකක් මෙහෙම දිරන එක අපරාදේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? මට කාර් එක නොදුන්නට කමක් නැහැ, ඒත් හදලා බලාගන්න කෙනෙකුට මේ කාර් එක දෙන්න."
එහෙම කියලා මනෝජ් නැගිට්ටා. වීරත්න්ත්‍රී නෝනාගේ මූණ මහා කුණාටුවකට පාරමී පුරාගෙන වැහි වලාකුළු තට්ටු තට්ටු ගොඩගහපු අහසක් වගේ අඳුරු වෙලා තිබ්බා. ඒ මූණ බලන්න බැරි තරම් දැවැන්ත පසුතැවිල්ලක් මනෝජ්ගේ හිතට නැගුණා. ඒ නිසා මනෝජ් නවින්දටත් නොකියා, තේ එකවත් නොබී එළියට බැහැලා යන්න ගියා.
ගෙදර ආවට පස්සේ තවත් අම්මට බොරු කියන්න මනෝජ්ට හිත දුන්නේ නෑ. ඒ නිසා මනෝජ් අම්මට ඇත්ත කතාව කිවුවා. මනෝජ් හෙමින් හෙමින් තමන්ගේ කාර් පිස්සුව විස්තර කරද්දී, වීරත්න්ත්‍රී මහත්තයාගේ බීට්ල් එක ගැන විස්තර කරද්දී, නවින්ද හම්බවීම විස්තර කරද්දී සහ වලවුවට ගිය ගමන විස්තර කරද්දී කාර් පිස්සුව ගැන මෙලෝ හසරක් නොදන්න නවින්දගේ අම්මා කඳුළු පුරෝගෙන අහගෙන හිටියා. අන්තිමට එයා වචන දෙක තුනක් ගැටහගත්තා.
"ඕවා ගන්න අපට කොහෙන්ද පුතේ සල්ලි?"
අම්ම මහලා හම්බ කරපු සේසතම programming කෝස් එක කරන්න යටකරන්න සිද්ධ වුණු බව මනෝජ්ට මතක් වුණේ එතකොටයි. දාහක් දුක්විඳලා තමන්ව හදපු අම්මව නොතකා හැරියා වගේ මහා දැවැන්ත වේදනාවකින් මනෝජ් ගෙදරින් එළියට බැස්සා. කාත් කවුරුවත් නැති තැනකට ගිහිං ඔහේ බලාගත්තු අතේ බලාගෙන පැය ගාණක් හිටියා.
මනෝජ් ආපහු ගෙදරට එනකොට හැන්දෑ වෙලා. මොකක් හරි හේතුවක් නිසා අම්මා මනෝජ් එනකල්ම නොහෙල්ලී බලාගෙන ඉන්නවා කියලා මනෝජ්ට හිතුණා. ගෙට ගොඩවෙනකොට අම්මගේ මූණේ තරහක් වත් දුකක් වත් තියනවා මනෝජ් දැක්කේ නෑ. ඒ වෙනුවට මීට කලින් දැකලා පුරුදු නැති හැඟීමක් අම්මගේ මූණේ ලියවිලා තිබුණා.
"මම ඔයාගේ යාළුවෙකුත් යවලා හෙවුවා, ඔයාව හොයාගන්න බැරිවුණා."
"ඇයි අම්මේ...?"
"ගෙදරට පණිවිඩයක් ආවා..." අම්මා කිවුවේ බොහොම ලා හිනාවක් ඇඳගෙන. ඒ හිනාව අමාරුවෙන් ඇඳගත්තු එකක් කියලා මනෝජ්ට හිතුණා.
"කොහෙන්ද..?"
"වීරත්න්ත්‍රී වලවුවෙන්..."
මනෝජ් නුවරඑළියේ සෙල්සියස් අංශක රින විස්සේ සීතලකට අහුවෙච්චි පිනි බින්දුවක් වගේ ගල්ගැහුණා.
"මොකක්ද පණිවිඩේ?"
"ඔයා ගත්තු ගමන් විකුණන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා නම් වීරත්න්ත්‍රී මහත්තයාගේ කාර් එක ඔයාට දෙන්නං ලු..."
මනෝජ් අම්මට නොදැනෙන්න හිත යටින් කෑ ගහලා තප්පර තුනක් හෝ හතරක් ඇඬුවා. ඊට පස්සේ කතා කළා.
"ඕව ගන්න අපට කොහෙන්ද අම්මේ සල්ලි... මම ගිහිං සොරි කියලා එන්නම් පස්සේ."
එහෙම කියාගෙන මනෝජ් කාමරේට ගියා. ගිහිං දොරට පිටුපාලා ඇඳේ ඉඳගත්තා. දැන් අඬන්න ගත්තොත් ඒක ලැජ්ජාවක් කියලයි මනෝජ්ට හිතුණේ. නමුත් එයා හිටියේ හිතේ තියන බර ඔහේ හිතේම තියෙන්න අරින්න පුළුවන් තත්වෙක නෙමෙයි. මෙහෙම අතරමංවෙලා ඉන්නකොට අම්මා දොර ළඟට එනවා මනෝජ්ට ඇහුණා. ඒත් මනෝජ් හැරිලා බැලුවේ නෑ. වැඩි වෙලාවක් යන්න කලින් අම්මා කතා කළා.
"හෙට ගිහිං ගනුදෙනුව හරියට කතා කරගෙන එන්න. ඊට පස්සේ මම සල්ලි දෙන්නං."
මනෝජ් කරන්ට් එක වැදුණා වගේ විසිවෙලා ගිහිං අම්මා දිහා බැලුවා.
"කොහෙන්ද සල්ලි අම්මේ...???"
"ඔයාගේ දේකට කවදාහරි ඕන වුණොත් කියලා මම ඉතුරු කරගෙන තිබ්බා. හෙට දවල් ලොකු අම්මත් එක්ක බැංකු ගිහිං මම සල්ලි ගේන්නං."
අම්මා එහෙම කියාගෙන යන්න ගියා.
මනෝජ් තවත් රාත්‍රියක් නින්දක් නැතුව ගෙවලා දැම්මා...
පහුවදා උදේම මනෝජ් ඉස්සර වීරතන්ත්‍රී වලවුවේ බීට්ල් එක හදපු ගරාජ් එකේ බාසුන්නැහැ හොයන්න ගියා. එයා ඉස්සර කාර් මාර්ට් එකේ වැඩකරපු කෙනෙක් ලු. පරණ බීට්ල් හදන වයසක මිනිස්සුන්ට පුරුද්දක් හැටියට 'කාර් මාර්ට් එකේ වැඩකරපු කෙනෙක්' කියන සිරිතක් ලංකාවේ තියන නිසා මනෝජ් මේ කතාව ඇත්තද කියලා හොයන්න ගියේ නෑ.
වලවුවේ බීට්ල් එක දෙන්න කැමති වුණා කියපු ගමන් බාසුන්නැහැගේ කට පරණ හිල්මන් එකක ඩිකියක් ඇරුණා වගේ හායි ගාලා ඇරුණා. ඒ වගේම එයා මනෝජ් ඉන්නවා කියලා ගානක් වත් නැතුව 'වෙන දෙන්න එකෙක් හිටියෙම නැද්ද දන්නේ නෑ' කියලා කුනුකුනු ගෑවා. ඊට පස්සේ ටවර් හෝල් යුගයේ නාට්‍යයක විරහ යාදින්නක් කියනවා වගේ වීරතන්ත්‍රී වලවුවේ බීට්ල් එක හදන්න එයා ඉස්සර මහන්සි වුණු හැටි මුමුණන්න පටන් ගත්තා. ඒ අස්සේ අලුත් පරම්පරාවට සාප කළා. අලුතෙන් එන ස්පෙයා පාට්ස් වලට තිත්ත කතාවෙන් බැන්නා. ඇන්. ඇම්. ගැනයි මැතිනි ගැනයි මොනමොනවදෝ කිව්වා. වෙන එකක් තියා ගෙවල්වල හරක් හදන්නේ නැතුව කිරිපිටි බොන එකටත් බැන්නා.
මනෝජ් ගෙයක් හොයන ගේ කුරුල්ලෙක් වගේ ප්‍රතිචාර දක්වන්නෙත් නැතුව, ගරාජ් එකෙන් යන්නෙත් නැතුව බලාගෙන හිටියා. අන්තිමට බාසුන්නැහැ 'යමු එහෙනං ඕක බලලා එන්න' කියලා කිවුවා. එහෙම කියලා ආවුද ටිකකුයි, පරණ කෑන් එකකුයි ගත්තා. ඊට පස්සේ මනෝජ් බොහොම ගරුසරු ලීලාවෙන් බාසුන්නැහැ එක්ක වලවුවට පියමං කළා. වලවුවට යන්න කලින් කඩේකින් පෙට්‍රල් ලීටර් තුනකුත් අරගෙනමයි දෙන්නා ගියේ.
වීරත්න්ත්‍රී නෝනා පේන්නවත් හිටියේ නෑ. නවින්ද හිටියෙත් එච්චචර ප්‍රසන්න මූඩ් එකක නෙමෙයි. ගරාජ් එක අරින්නත් කලින් නවින්ද එකම ප්‍රශ්නෙ තුන් පාරක් මනෝජ්ගෙන් ඇහුවා.
"ඔයා මේක අරං අනික් පැත්තට විකුණන්නේ නෑ නේද?"
මනෝජ් දන්න ක්‍රම තුනකට දිවුරලා නෑ කිවුවා. අලුත් ක්‍රම හොයහොයා දිවුරන්න ලෑස්ති පිටමයි මනෝජ් ආවේ. නමුත් නවින්දගේ හිත ලේසියෙන් නැමෙන පාටක් නෑ.
"ස්ටාට් වුණොත් අරං යන්න. මම හෙට දිහාට ගිහිං ට්‍රාන්සර් පේපර්ස් ටික ගෙනත් තියන්නං. ස්ටාට් වුණේ නැත්තං තියලා යන්න. නිකං ගෙනිහිල්ලා වැඩක් නෑ නේ...!"
නවින්ද කිව්වේ හීරිච්ච සීඩී එකක් වගේ ඇදෙන හඬකින්. මනෝජ් උත්තර දෙන්න ගියේ නෑ.
බාසුන්නැහැ කිසි කතාවක් බහක් නැතුව එන්ජිම බැලුවා. වයර් එහාට මෙහාට කළා. ඩිස්ට්‍රිබියුටර් එක ළඟ මොනමොනවදෝ කළා. කාබ් එකේ මොනමොනවදෝ කළා. බැට්රි එකක් ඕනේ කියල කට්ටියට කල්පනා වුණේ එතකොට. ඇක්වා එකේ බැට්රිය දෙන්න නවින්ද ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා බාසුන්නැහැ මනෝජ්ගේ ෆෝන් එකෙන් ගරාජ් එකේ ගෝලයෙකුට කතා කරලා බැට්රියක් ගෙන්න ගත්තා. බැට්රිය සෙට් කළාට පස්සේ බාසුන්නැහැ නවින්දගෙන් යතුර ඉල්ලුවා. නවින්ද ගෙට ගිහිං එන්න ගතවුණු කාලය මනෝජ්ට දැනුණේ පැයක් වගේ. දන්ඩෝරියා හොම්බ බිම ඇනගෙන තමන් දිහා බලාගෙන ඉන්නේ බලු කේන්තියෙන් කියලා මනෝජ්ට හිතුණා.
අන්තිමට නවින්ද යතුරත් අරං මතුවුණා. ඔරිජිනල් VW මාක් එක තියන යතුර දැක්කම මනෝජ්ගේ හිත කිතිකැවුණේ හරියට ඩිස්නි සුරංගනාවක් මාල ගිරා පිහාට්ටක් අරං හිතේ ගෑවුවා වගේ. යතුර අතට ගත්තම බාසුන්නැහැගේ ඇහැට කඳුළු ආවද මංදා. උන්දෑ පය අද්ද අද්ද ගිහිං යතුර දාලා කාර් එක ස්ටාට් කළා.
එන්ජිම යාන්තං හෙල්ලිලා නතර වුණා.
ඔන්න එකතකොටයි කට්ටියට පෙට්‍රල් දාන්න මතක් වුණේ. ටැංකිය දිරලද, නැත්තං මලකඩ බැඳිලද කියලා ෂුවර් නැති නිසා කෑන් එක එළියේ තියලා බටයක් දාලා තමයි පෙට්‍රල් ලයින් එක දුන්නේ. ඊට පස්සේ බාසුන්නැහැ ආයේ පාරක් යතුර දාලා එන්ජිම ස්ටාට් කළා.
එන්ජිම ආයෙත් යන්තං හෙල්ලිලා නතර වුණා. මනෝජ්ගේ මූණ ටිකක් අඳුරු වුණා. නවින්දගේ මූණ ටිකක් එළිය වුණා.
බාසුන්නැහැ ආයෙත් යතුර දාලා, ටිකක් පැඩ්ල් කරලා ස්ටාට් කළා.
නින්දෙන් ඇහැරිච්ච බලු පුංචෙක් නැගිට්ට වෙලේ ඉඳන් සෙල්ලං කරන්න දඟලනවා වගේ ජවයක් මිටට අරගෙන එන්ජිම ස්රුං ස්රුං ස්රුං ස්ස්වීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ ගාගෙන ස්ටාට් වුණා.
මනෝජ්ගේ මූණ ඉරකුයි හඳකුයි පායලා ෆ්ලෑෂ් ලයිට් දෙකකුත් ගැහුවා වගේ එළිය වුණා.
හැබැයි නවින්දගේ මූණ ආයේ අඳුරු වුණා.
බාසුන්නැහැගේ මූණත් අඳුරු වුණා.
පහුවදා ඇවිත් සල්ලි ගෙවලා, පැවරුම් පත්‍රවලට අත්සන් තියලා වාහනේ අරං යන්න කතා කරගෙන මනෝජ් වලවුවෙන් පිටත් වුණා. ගෙදර ඇවිත් විස්තර ටික අම්මට කිවුවා.
පහුවදා හවස මනෝජ් යාළුවෙක්වත් අඬගහගෙන වලවුවට ගියා. අම්මට එන්න කිවුවට අම්මා ආවේ නෑ. එයා සල්ලි ටික ලෑස්ති කරලා මනෝජ්ට දුන්නා. මේ දවස් දෙකේම මනෝජ් අම්මගේ මූණ දිහා කෙළින් බැලුවේ නෑ. ඔය සල්ලි ටිකේ අලගිය මුලගිය තැන් අම්මා කීයටවත් කියන්නේ නැති බව මනෝජ් දැනගෙන හිටියා. සමහර විට එයා ඇඳුම් මහලා එකතු කරපු සල්ලි ටිකක් වෙනම ඉතුරු කරන්නැති කියලයි මනෝජ්ට හිතුණේ. නමුත් ඒ සිතිවිල්ල දිගේ දිගට ගියොත් තව හිත් වේදනාවල් ගොඩක් කියලා දැනුණු නිසා මනෝජ් එතනින් එහාට ඒ සිතිවිලි අවුස්සන්න ගියේ නෑ.
නවින්ද අවශ්‍ය ලිපිලේඛන ටික ගෙනත් තිබුණා. ඊට අමතරව මනෝජ්ට අවශ්‍ය නම් වාහනේ පවරගන්න වැඩේ එක්දින සේවාවෙන් කරගන්න පුළුවන් වෙන්න නවින්ද ලියුමකුත් හදලා තිබුණා, පවරන්නාගේ විරුද්ධත්වයක් නෑ කියලා.
මනෝජ්ට ඕන වුණේ ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න. ඒවගේම නවින්දටත් වැඩි කතාවක් කරන්න අවශ්‍ය වෙලා තිබ්බේ නෑ. නමුත් කලින් දවස් කීපයේ නවින්ද මනෝජ් ගැන හොඳට හොයලා බලලා තිබ්බ බව මනෝජ්ට ආරංචි වුණා. මනෝජ් ගමේ චාටර් වුණු චරිතයක් නොවන නිසා කාටවත් වරදක් කියන්න දෙයක් තිබ්බේ නෑ. නවින්ද ආයෙත් දෙපාරක් විතර ඇහුවේ ඕක අරං ගිහිං විකුණන්නේ නෑ නේද කියලා විතරයි. මනෝජ් සුපුරුදු විදිහට සදාචාර සම්පන්නව දිවුරලා නෑ කිවුවා.
අන්තිමට තමයි අර මනෝජ් අවුරුදු ගානක් හිතටත් හොරා දැක්ක හීනේ හැබෑ වෙන මොහොත ආවේ. ලිපිලේඛන වැඩ ටික ඉවර වුණාට පස්සේ නවින්ද මනෝජ් අතට යතුර දුන්නා. ඒ වෙනකොට බාසුන්නැහැ කාර් එක එළියට ගෙනත් තියලා ගිහිල්ලා තිබ්බා.
මනෝජ් පුටුවේ වේවැල් වලටත් හොරෙන් වගේ පුටුවෙන් නැගිට්ටා. ලිපිලේඛන ටික අතට ගත්තේ මනෝජ්ගේ යාළුවා. වලවුවෙන් මිදුලට යන්න බහින පඩියක් පඩියක් ගානේ මනෝජ්ට ඇහුණේ හදවත බම්පර් එකක් උඩින් යන ටිපර් එකක් වගේ දඩාග් දඩාග් ගාලා ගැහෙන සද්දේ විතරයි. 'අනේ තෝ වගේ පවුකාරයෙක්' කියන්නා වගේ දන්ඩෝරියත් නැගිටලා එහාට ගිහිං ඉඳගත්තා. වීරතන්ත්‍රී වලවුවේ දශක ගාණක මතක ගොන්නක් වලවුවෙන් ගැලවිලා අකාලේ ආපු හුළඟක ගහගෙන යන්න හදනකොට ඇතිවුණු අසරණ තුෂ්නීම්භූත නිශ්ශබ්දතාව මනෝජ්ගේ පිටට හොඳට දැනුණා. නමුත් හැරිලා බලන්න තරම් දහිරියක් මනෝජ්ට තිබුණේ නෑ. අඩු ගානේ ත්‍රීවීල් එකක් වත් පාරේ ගියේ නැති නිසා පළාතම වැහිලා තිබ්බේ මූසල නිහැඬියාවකින්. මේ ගෙවෙන්නේ තමන්ගේ ජීවිතේ සතුටුදායකම දවසක් කියලා මනෝජ්ට කොහොමටවත්ම දැනුණේ නැහැ. ඒ වෙනුවට 'මොකක්ද මං මේ කළේ' හැඟීමක් ටිකෙන් ටික ටිකෙන් ටික, හරියට අකාලේ නොනවත්වා වහින චුරු චුරු වැස්සකින් අඟලින් අඟල උඩට එන ගංවතුරක් වගේ මනෝජ්ගේ හිතට නැග්ගා. ඒ ගංවතුරේ අමාරුවෙන් කකුල් අද්දවාගෙන ගිහිං මනෝජ් කාර් එකට නැග්ගා. දොර වහගත්තා. ස්ටාට් කළා. තව පොඩ්ඩෙන් මනෝජ්ට යාළුවා අමතක වෙනවා.
වාහනේ එළවගෙනම යන්න ආසාවට මනෝජ් වෙන ඩ්‍රයිවර් කෙනෙක් එක්කගෙන ආවෙත් නෑ. ක්ලච් බැලන්ස් එක ගන්න සෑහෙන මහන්සියක් දරන්න වෙන බව දැනුණු ගමන් මනෝජ්ගේ හිතට ආවේ අම්මගේ සල්ලි ටික නාස්ති කළාද මංදා කියලා හැඟීමක්. නමුත් ඉස්සරලම පරණ කාර් එකක් ගත්තම හැමෝටම ඔහොම දෙයක් හිතෙන බව කවුරු හරි මනෝජ්ට කියලා දීලා තිබ්බා. ඒ නිසා හිත තදකරගෙන මනෝජ් කාර් එක වලවුවෙන් එළියට ගත්තා.
පාරේ ගිය වෑන් එකකට යන්න ඉඩ දීලා පාරට ගන්න කලින් තප්පරයක් නතර කරගෙන ඉද්දී වලවුවේ දොරකඩ ඉඳන් වීරතන්ත්‍රී නෝනා ඉකිගගහා අඬන බව මනෝජ් කන්නාඩියෙන් දැක්කා.
ගෙදරට යන්න මනෝජ්ට යන්න තිබ්බේ පොඩ්ඩ දුරයි. ඒ පොඩ්ඩ දුරට මුළු ගමම මනෝජ් වාහනේ අරං යන දිහා බලං හිටියේ හොල්මනක් බුලත් විටක් කනවා දැක්කා වගේ. ගම්මුන්ගේ ඇස්වල පිරලා තිබ්බේ බය, කුතුහලය, තෝන්තුවාව, අංජබජල්ත්වය, මොන ලබ්බක්දත්වය සහ ඕපාදූපඃපිපාසය වගේ හැඟීම් දාස් ගාණක කොක්ටේල් එකක්. ඒවට උත්තර හොයනවා වෙනුවට ජීවිතේ පළවෙනි වතාවට රියල් පොරත්වය කිලෝ දෙසිය පනහක් සහ ආතල් ලීටර් පන්සීයක් හිතේ ස්ටොක් වෙලා තියනවා කියලා මනෝජ්ට දැනුණා. යාලුවාව ගෙදරින් දාලා මනෝජ් ගෙදර ගියා. යාලුවාගේ ගෙදර අයට කාර් එක අතගාලා බලන්න ඕන කම තිබ්බත් මනෝජ්ට ඉස්පාසුවක් තිබ්බේ නෑ මේක අම්මට පෙන්නනකල්.
ගෙදරට වැටෙන පාරට හරවනකොටම මනෝජ් දැක්කා අම්මා පාර දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් තාත්තා නැතිවුණු දවසේ ඉඳලා තමන් ගොන් වැඩක් කරයි කියලා පස්සෙන්ම හිටපු අම්මා මේ වැඩේට මෙච්චර සපෝට් එකක් දුන්නේ ඇයි කියන එක මනෝජ්ට තේරුණේ නෑ. ටිකෙන් ටික වාහනේ ළංවෙද්දී අම්මගේ ඇස් දෙකෙන් කඳුළු කඩා පනිනවා මනෝජ් දැක්කා. ඒක පුතෙක්ගේ හීනයක් හැබෑවෙනවා දකිනකොට අම්මා කෙනෙක්ගේ හිතේ ඇතිවෙන සතුටින් උපදින කඳුළු බව දැනගන්න තරම් හිතක් පපුවක් මනෝජ්ට තිබ්බා. වාහනේ මිදුලේ නතර කළාමත් අම්මා වාහනේ ළඟට ආවේ නෑ. එයා ගේ ඇතුළේ ඉඳන් නොහෙල්ලී බලාගෙන හිටියා. එයාගේ ඇස් දෙකෙන් නොනවත්වා කඳුළු ආවා.
මීට කාලෙකට කලින් අම්මා එයාගේ අර්ථසාධක අරමුදලේ තියන සල්ලි ටික අරගන්න ලොකු අම්මා එක්ක දෙතුන් පාරක් කොළඹ ගිහිං ආපු බව මනෝජ්ට එකපාරටම විදුලියක් වගේ මතක් වුණා. මනෝජ් Programming කෝස් එක පටන් ගත්තු මුල් කාලේ ඒ සල්ලි ටික එකවුන්ට් එකට වැටිලා තියන බව අම්මා කිවුවා කියලත් ඒ විදුලිය අස්සෙන් මනෝජ්ගේ මතකෙට ආවා. ඒ දවස්වල සුජානි ගැන මිසක් හිතේ වෙන දේකට වැඩි ඉඩක් තිබ්බේ නැති නිසා මනෝජ් ඒ ආරංචිය ගැන හරිහමං ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ.
ඒත් එක්කම මේ දැන් තමන් එළවගෙන ඇවිල්ලා මිදුලේ නතර කරපු කාර් එක ගන්න සල්ලි ලැබුණේ කොහෙන්ද කියන එක මනෝජ්ට නිරිතදිග මෝසමේ තිරිංග නැති වැස්සකට පස්සේ පුළුන් පොදක් තරම්වත් වලාකුළක් නැති අහසක ඉඳන් එබිකම් කරන හඳක් වගේ පැහැදිලි වුණා.
ගියර් එක නියුට්‍රල් කරලා, හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා, එන්ජිම ඕෆ් කරලා, යතුර එහෙමම කටේ තියෙද්දී වාහනෙන් බහින්නේ නැතුව මනෝජ් ස්ටියරින් වීල් එකේ ඔලුව තියාගෙන ඉකි ගගහා ඇඬුවා.
- අවසානයි -
www.facebook.com/CarPissuwa
(ෆොටෝ එක ඉල්ලගත්තේ කලිඳු ඩිලංකගෙන්)
Subscribe to:
Post Comments (Atom)
මටත් මගේ පලවෙනි කාර් එක ගත්ත දවස මතක් වෙලා ඇස්වලට කදුළුත් ආවා.මමත් හැබෑ කරගත්තෙ මේ වගෙම පුන්චිම කාලෙ දැක්ක හීනයක්...
ReplyDeleteප්‍රතිචාරෙට බොහොම ස්තූතියි පුබුදු... සෑහෙන දුකක් මැද්දෙන් තමයි මමත් ක්ලැසික් ලෝකෙට ආවේ... ඒ අත්දැකීම් හැමදාම හිත යට ඉඳන් කතා බිහිකරනවා...
Deleteමං හීන නැති මිනිහෙක් ....හැබැයි කාර් පිස්සෝ උඔ මාව පිස්සෙක් කලා ....මචං මට එහෙම හීන නැ ....සමහරක් වෙලාවට ....අවුරුදු දෙතුං සීය පරණ මහන මෙෂින් හම්බෙනවා ...සල්ලි වලට නෙමෙයි ....ඒ නෝනලා ...වටිනාකම දන්නවා ....මාව කියවපු ආදරේ අය නිසා ඔයා ඕක අරං යන්න කියනවා ....මම නෙමෙයි ගේන්නෙ ..මොකද මම දන්නවා පෙරේත කමට උස්සං ආවාට මං ඒකට උපරිම සාදාරනය ඉෂ්ට කරන්නේ නැ ....මම කොච්චර කෙයාර්ලස්ද ...අඩුම තරමේ අර මනුස්සයා ඒක පිහදාල තියාගනි ...මං එහෙමවත් කරයිද ... එහෙම මං ..මොකටද පව් පුරවගන්නේ ....පස්සේ අර මනුස්සය ඒක කාටහරි විකුනලා දායි ....ලොකු වටිනා කමකට .... පෙරේත කමට උස්සං ඇවිත් මං මොකටද ඒකට නොවටිනා සැලකුම් දෙන්නේ . ...මං මට එපා මැඩම් ...පරිස්සං කරල ලස්සනට තියාගන්න ....කවදා හරි ගෙවල් දොරවල් හදලා ....ලස්සනට තියන්ඩ පුලවං ...දවසක ...එකතු කරනවා මාත් කියල එනවා එලියට බැහැලා ....සමහරු ඔව්වා දෙන්නේ ගාන අඩු කරගන්ඩ ...එහෙම එකකුත් තියනවා ...මං අහුවෙයි ඔව්වට ...හැක ...හැක ...
Deletehttps://www.facebook.com/photo.php?fbid=1231015400318431&set=a.628152533938057.1073741839.100002299495416&type=3&theater
Deleteමෙන්න මේකනං ...එච්චරම පරණ නැ අවුරුදු 85ක් විතර ඇති ...බෝතල් පත්තර අයියෙක් ...චීනට්ටච්චි වලට තලන්ඩ බයිසිකලේ බැදං යනකොට නිදහස් කරං ආවේ ....එන්ගලන්තේ හදපු එකක් ...හැඩල් එකයි ..ස්ලයිඩ් ප්ලේට් එකයි විතරයි අඩු ...පොරට 500ක් දුන්නා ...ඊටකලින් මම ගත්තා ඹක්කොම කෑලි තියන මැසිමක් බෝතල් පත්තර කඩෙන් ...ඒකට නං වයස 115ක් විතර ...බෝතල් පත්තර කඩේ තිබුනේ ....විස්වාස කරහං ...ෂටල් බොබින් හිටං තිබුනා ...wd 40 '''ගහල බුරුල් කරල ගත්තහම ... මැහුනා ලෙසටම ...ඒක තියනවා යාළුවෙක් ගාව ඌගේ ලස්සන ගෙදර ...ලස්සනට ඌ ඒකට සාත්තු කරල ලස්සනට තියාන ඉන්නවා
තව ටික දවසකින් උඹ ඕවට වෙනස් විදිහට සලකන්න ගනී. මම මේ කල්පනා කළේ ඔය අවුරුදු සීයකටවත් වැඩි මහන මැෂින් එක්ක පරම්පරා කීයක කතා වෙළිලා ඇද්ද කියලා...
Deleteඑක පාරක් අවුරදු 9 කට විතර කලින් අපේ චැරිටි එකට සිංගර් මැෂිමක් කෙනෙක් තෑගී දුන්න. ඒක විකුනන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොඩල් එක මතක නැහැ, 127 වගේ. ෂෙඩ් එකේ තියන්න ඉඩ නැති නිසා කවුදෝ පවුමකට ඉල්ලලා දුන්න. පස්සේ තමා දන්නේ පවුම් 400-500 ට වගේ ඊබේ එකේ යනවා කියල. මම අයිතිකාරයට කතා කරලා සමාව ඉල්ලුව. අයිතිකාරයා කිව්වා "නැහැ මම ආපහු අරගත්තේ. ඒක 1920 ද ඉඳන් ගෙදර තිබ්බේ. කිරි අම්මගේ අම්මා, කිරි අම්මා, අම්මා පාවිච්චි කරලා. මම මිණිබිරී ට ලැබුනේ. ඒක මෙච්චර දවස් තියා ගත්තට හුඟක් ස්තූතියි කියල. "
Deleteඅටමට අජිත් අයියට මගේ මෙව්වා එක
Deleteපට්ට කතාව
ReplyDeleteබොහොම ස්තූතියි නිශාන්...
Deleteලස්සන ලිවිල්ල....
ReplyDeleteබොහොම ස්තූතියි සෙන්නා...
Deleteතරිඳු, මේක මට නම් බොක්කටම වදින කතාවක්. ආයෙ කියන්න වචන නෑ. ඒ වගෙම මේකෙ හැඳින්වීම FB එකේ ඉංග්‍රීසියට පරෛවර්තනය කරලා තියෙන හැටිත් සුපිරියි.
ReplyDeleteබොහොම ස්තූතියි ඩූඩ් අයියා. ඔයාගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් හිටියේ... :)
DeleteCarl Muller කියන ශ්‍රී ලාංකික බර්ගර් ලේඛකයා කිව්වා එයා ලියන්නෙ Fiction නෙවෙයි Faction කියලා. ඒ කියන්නෙ ඇත්තක්ම නොවුනට ප්‍රබන්ධයකුත් නොවන කතාවක්. මේකත් ඒවගෙ කියලා මට හිතෙනවා.
Deleteඉස්සර කාල් මලර් ගැන ගොඩක් උනන්දු වුණත් මේ කතාව මම අහලා නෑ. ස්තූතියි ඩූඩ් (ඉස්සර මලර්ගේ පොත් ආපු පෙන්ග්වින් එඩිෂන් එක ගිනි ගණන්, ඒවා ගන්න ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ. කියවන්න හම්බුණේ ඩිස්කවුන්ට් වැටෙන එකක් විතරයි. බර්ගර් සමාජයේ වෙච්චි පරිවර්තනය ගැන මම දැනගත්තේ ඒ කතාවලින්).
Deleteබොහොම සංවේදී කතාවක් ලස්සණට අකුරු කරල තියනවා. මට වාහනයක් නැතත් කලින් වැඩ කලේ වාහන ගොඩක් මැද්දෙ
ReplyDeleteහින්ද මේ කතාව තදින්ම හිතට දැණුනා. ක්ලැසික් වාහන හිමිකරුවන් එවට කොච්චර ආදරේද කියන එක සහ ක්ලැසික් වාහනයක් ගන්න මිනිස්සු කොච්චර කැමතිද කියන එකත් මං අත්දැකීමෙන්ම දන්නවා.
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි හසිත...
DeletePatta ...duka hitenawa...eeth lassanai tawukanda dewiyanee 😂😂😂😂
ReplyDelete:D ස්තූතියි අකිල...
Deleteමේක නම් පට්ට. දිගටම ලිව්වා නම් හරි :)
ReplyDeleteබොහෝම ස්තූතියි. ලැබෙමින් තියෙන ප්‍රතිචාර අනුව නම් දිගටම ලියන්න හිතෙනවා... :)
Deleteබොහොම සංවේදී කතාවක්... ඒ වගෙම මොන ලබ්බක්දත්වය වගේ අලුත් වචන ටිකකුත් ඉගෙන ගත්තා... මං පළවෙනියටම ගත්තු කාර් එක තමයි මාගාව තාම තියෙන්නෙ... ඒකත් ක්ලැසික්ම නූනත් පරණ 13 ශ්‍රී කාර් එකක්... මමත් නොහිතුව විදියට දැන් ඒකට ජීවිතේටම බද්ධ වෙලා
ReplyDeleteබොහොම ස්තූතියි. මගෙත් පළවෙනි කාර් එක 13 ශ්‍රී ලාන්සර් බොක්ස් එකක් නිසා ඔයාගේ හැඟීම් මට තේරෙනවා...
Deleteසුපිරිම ලියවිල්ලක් !!! මාරයා ගනේ පස්සේ හිතට දැනෙන්න බ්ලොග් එකක් ලියන එකෙක් හම්බුනා මයි... ඇත්තෙන්ම සතුටුයි... දිගටම ලියමු තරිඳු... සුභ බ්ලොග් අනාගතයක් වේවා ! ජය !!!
ReplyDeleteබොහෝම ස්තූතියි චතුරංග...
Deletepatta kathawa car pissuwa thawath tune-up una bole.....
ReplyDeleteහහා... ස්තූතියි :)
Deleteබොහොම සංවේදී ඒත් හරිම ලස්සන කතන්දරයක්...
ReplyDeleteබොහොම ස්තූතියි කොටියෝ :)
Deleteදැනෙන කතාවක්
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteමේක ලස්සනයි මට නං . ඇස් තෙමුනා......හද්දා පරණ හොලන්ඩ් මහන මෙෂිමක් ...අතිං පීරී ගාල කෑල්ලක් හදාගන ගොඩ දාගත්තා වාගේ
ReplyDeleteමොනවා කියන්ඩද .....ලස්සන කතාව ....මට වෙන මොකවත් කටට එන්නේ නැ
පට්ටයි %ත්තෝ
( හරි නැත්තං කමෙන්ට් එක මකපං )
දැන් පුළුවන් නම් මහන මැෂින් ගැන මගේ ඔළුවට දාපිය... :D
Deleteකාර් පිස්සුවෙ හැම පෝස්ට් එකක්ම කියවනව. මේක තමයි දාන පලවෙනි කොමෙන්ටුව. කතාව මගක් දුරට කියවද්දි ඇස් වලට කදුලු එන එක නම් නවත්තගන්න බැරි වුනා. ක්ලැසික් කාර් හීනයක් මටත් තියනවා.. කවදා සැබෑ වෙයිද මන්දා ඉතින්....
ReplyDeleteහැමදාමත් කාර් පිස්සුව එක්ක ඉන්නවට බොහොම ස්තූතියි. ක්ලැසික් හීනය ඉක්මනටම සැබෑවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
Deleteමචන් මේකේ තියෙන ඔක්කොම පොස්ට් එක දවසින් කියෙඋව. මම පරණ වාහන පාවිච්චි කරන්න කැමති නැහැ ඒත් බලන්න/ රස විඳින්න හරිම ආසයි. මෙහෙ පරණ වාහන වලට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. බලපන්කො ගණන් කොහොමද කියල
ReplyDeletehttp://www.uniquecarsales.com.au/car/brand%20new/dealer/demo/private/VOLKSWAGEN?N=1810&tabID=3013117&eapi=2&vertical=car&silo=stock
ලෝකේ ගොඩක් රටවල ක්ලැසික් ගොඩක් ගණන්. ඒ අතින් ලංකාවේ අපි වාසනාවන්තයි. හැබැයි ඒ නිසා සමහරු ක්ලැසික් වලට හරියට සලකන්නේ නෑ. ඒ ගැන නම් දුකයි. කාර් පිස්සුවට ආවට බොහොම ස්තූතියි. දිගටම බ්ලොග් එකට ඒවි කියලා හිතනවා...
Delete++++++++++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteඔං දැන් ඉතිං මටත් පරණ රථ ගාය
ReplyDeleteකාර් පිස්සුවෙ විශ්වයට සාදරයෙන් පිළිගනිමි. ඔය ගාය උත්සන්න වේවා!
Deleteකාර් බාර් ගැන එහෑටි දැනුමක් නෑ. ඒත් මේ කතාව ඒක ලෙසටම තියෙයි. ඇත්තමයි. පට්ටයි සහෝ...
ReplyDeleteජය
බොහෝම ස්තූතියි මහේෂ්...
Deleteමේ කතාව මට කොච්චර සමීපද කියල කියන්න වදන් නෑ. ඇස් තෙත් වෙන ගමන් අතීත මතක එකින් එක මතකයට ගලා ආවෙ නිරායාසායන්.
ReplyDeletehttp://silvertwist.blogspot.com/2008/06/hot-it-all-started.html
ඔයා 2008 තියපු සටහනක්!
Deleteඅපේ තාත්තගේ මෙරූන් පාට CM-125 බයිසිකලය විකුණන්න ගෙදරින් ගෙනියන්න හදන වෙලාවේ මේ කතාවේ ඉන්න නවින්දට දැනුණ විදිහටම කෑ ගහල අඬන තරම් මටත් නොසෑහෙන්න දුක හිතුන. අම්මගේ ඇස් දෙකේ කඳුළු වලට අමතරව කියන්න බැරි ගොඩක් දේවල් ලියවිලා තිබුණු බව අදටත් මගේ හිතේ ඇඳිලා තියනවා...
ReplyDeleteමේක ගෙනියන්න දෙන්න එපා කියල කෑ ගහල කියන්න ඕන කමක් තිබුණත්, තාත්ත නැති ළමයි තුන් දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරන්න මීට වඩා කැප කිරීම් අම්මට කරන්න වෙන බව මගේ හිත කිව්වා .....
මේ බයිසිකලය අදටත් මම හොයනවා, මේකේ ට්‍රාන්සර් පේපර් සම්පුර්ණ නොකර තිබ්බ හන්ද අපේ ගාව නොම්මරයත් නැහැ ... ඒ විතරක් නෙමෙයි අද කාලේ වගේ කොල්ලටයි බල්ලටයි හැමෝටම කැමරා නොතිබිච්ච හන්ද අඩුම තරමේ මේකෙ පින්තුරයක්වත් අපි ගාව නැහැ :(
මේ වේදනාව වගේම එයට සමාන අත්දැකීම් තව බොහෝ දෙනෙකුට ඇති!
මුල් ඡේදේ කියවද්දිම ඔළුවට ආවේ ෆොටෝ එකක් දාලා අහමු කියලා කියන්න.... වාහන එක්ක බැඳුණු මෙහෙම සංවේදී අත්දැකීම් එළියට එන එක මට ලොකු සතුටක් කන්ඩෝ...
Deleteඅපිත් ඉස්සෙල්ලම වාහනයක් උස්සගෙන ගෙදර ගියාම අම්මා තාත්තගේ මූණූ වල තිබුන එළිය මතක් වෙලා නෙතට කඳුලක් ආවා...
ReplyDeleteමේ කතාව මට කවදාවත් අමතක වෙන එකක් නෑ... ඒ තරම් ඉස්තරන්...
බොහෝම ස්තූතියි... මගේ මතකය හරිනම් මාතලන් කාර් පිස්සුවෙ තියලා ගිය පළවෙනි සටහන... හරිම සතුටුයි...
Deleteපරණ කාර් එක්ක හරිම අලුත් වෙනසක්.. වෙනසනම් අපූරුයි..
ReplyDeleteබොහොම ස්තූතියි මනෝෂ්...!
DeleteGrand Torino film eka mathak wuna , niyamai kathawa :)
ReplyDeleteප්‍රතිචාරෙට බොහොම ස්තූතියි... :)
Deleteකියෝගෙන එනකොට ඇස් දෙකට කඳුළු ආව මල්ලි.
ReplyDeleteමේකනං පට්ටයි කොල්ලො. එච්චරයි කියන්න තියෙන්නෙ.
බොහෝම ස්තූතියි ප්‍රසන්න අයියා...
Deleteපිස්සු බම්ප් වෙනව බොස්... නැවුම් යෙදුම් පිරිලා.. ගිණි මද්දහනක දුර ගමනක් යනගමන් සීතල හෙවන ගහක් යට නැවතිලා හුළං වැදි වැදී රස හොඳ දිව පුපුරු ගහන තැඹිලි ගෙඩියක් බොනවා වගේ ආතල් එකක් දැනුනා. ලෙසටම..
ReplyDeleteජයවේවා..!!
ගස් ලබ්බක්, දුර ගමනක්, තැඹිලි ගෙඩියක් සහ සිරා කමෙන්ට් එකක්... බොහොම ස්තූතියි... :)
Deleteඅන්තිම හරිය ඉක්මනට නවල අරං... ලංකා සාහිත්‍යෙය් මං කියවපු පළමු බීටල් කෙටි කතාව.. හැක්.. (මගේ විව් එක අනුව)
ReplyDeleteඅර උඹ ඇහුව නේද උසස් පෙල සාහිත්‍ය විෂය නිර්දේශය වෙනස් වෙච්චි එක ගැන.. අන්න ඒ ගැන ලිපියක් අද ලංකාදීප වීමංසා එකේ තියෙනවා..
අන්තිම හරිය නවල අරං කතාවට එකඟයි. මට සාමාන්‍යයෙන් කෙටි කතාවක අන්තිම ටික develop කරන්න සති තුන හතරක් යනවා. පළවෙනි draft එක කරලා මම අන්තිම ටික සති දෙක තුනක් හෙමිහෙමින් expand කරනවා. බ්ලොග් එකේ ඒක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. හොඳ ඇහැක් තියෙන්නේ ඔබතුමාට. ලංකාදීපේ ලිපිය ගැන කිව්වටත් බොහොම ස්තූතියි.
Deleteමේක කියවන්න මාර මහන්සියක් උනේ..
ReplyDeleteහිටපු ගමන් පෙන්නේ නැතුව යනව..
කඳුළු පැන පැන ඔෆිස් එක මැද්දේ මේක කියවපු එකම කෙනා මමද එතකොට...
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. අර තාක්ෂණික ගැටලුව ගැන නම් මම ඇහුවේ පළවෙනි වතාවට.
Deleteගොඩක් වෙලා අරන් රස කර කර කියෙව්වා. උපමා උපමේය ටික නම් පට්ට. ඇසුත් දෙතුන් පාරක් බොඳ උන.
ReplyDeleteහරිම සතුටුයි.. ජයවේවා !!!
බොහෝම ස්තූතියි...
Deleteහිතට වැදුන නියම කතාවක්...පැරණ කාර් එකක් මුල්ම කාර් එක හැටියට ගෙදර අරන් ආපු මගෙත් අත්දැකීම් මේ හා සමානයි..ඒ වගේමයි කිව්වත් වරදක් නෑ...සුන්දර ජිවිත අත්දැකීමක්...
ReplyDeleteබොහොම ස්තූතියි පැතුම් :)
Deleteසුපිරිම සුපිරියි, කාර් හීනයක් නැති මට, කෙනෙකුගේ කාර් හීනය කොතරම් බලවත්ද කියා තේරුම් ගියේ අදයි.
ReplyDeleteබොහොම ස්තූතියි. ඔයාගේ හිතෙත් දවසක ක්ලැසික් කාර් හීනයක් පූදීවා කියලා ප්‍රාර්ථනා කරනවා...
DeleteNiyama kathaawa ++++
ReplyDeleteබොහොම ස්තූතියි ඉසුරු...
Deleteඇහැට කඳුලක් ආව මල්ලි. හිත නිකන් කීරි ගැහිලා ගියා. හෙන පරණ කාර් පිස්සෙක්. කොහේ හරි නගරෙකට ගියොත් පුංචි පරණ මොඩල් කාර් එකක් දැක්කොත් ගන්නවා . ෆොටෝ එකක් දාන්න විධිහක් නැහැ. එන්ෆිල්ඩ් වල හැම අවුරුද්දෙම පරණ කාර් උත්සවයක් තියනවා මම නොවරදවා යනවා. මෙහෙදී ඉස්සෙල්ලම ගත්තේ පොඩි පරණ මිනි එකක්. පවුම් 400. අවුරුදු දෙකකට පස්සේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක ෂෝර්ට් වෙන නිසා අයින් කරලා තිබිල පොරක් ඇවිත් ඉල්ලුව ස්ක්‍රැප් යාඩ් ගෙනියන්නම් දෙන්න කියල. මිනිහට පවුම් 25 දීල වාහනේ දුන්න. මාසෙකට විතර පස්සේ යනකොට මෙන්න පොර කාරෙක හදල පවුම් 1350 කට විකුනන්න දාල (1997 වෙච්ච දෙයක්) . මේ කතාව නම් ගිනි.
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් අයියා... මිනි එක ගැන කතාව ඇහුවම මටත් මොකක්ද වුණා. මාත් ඇතුළුව කාර් පිස්සෝ ගොඩක් දෙනෙකුට මිනි හීනෙකුත් තියනවා නේ...
Deleteපුලුවනම් මම අඩනවා යකෝ ලැප් එකට ඔලුව තියාගෙන ,,,
ReplyDeleteමට කෙමෙන්ට් එකක් කොටන්න වචන නැහැ මචෝ
ස්තූතියි මෙන්ඩෝ...
Deleteඋබ අපේ යටි හිතේ ඉන්න ආසාව කියන මිනිහව අවදි කරනවා ...
ReplyDeleteඅර අටම වගේ වගේ මට බ්‍රා ගැන පිස්සුවක් තිබුනා කෙල්ලෙක් දැකත් පිටින් බලලා ඒකිගේ බ්‍රා සයිස් එක කියලා එකී ඇදලා ඉන්න එකේ අඩු පාඩු කියවෙන ගතියක් තිබුනා ..රෙදි කඩේකට ගියත් බ්‍රා පැත්තට ගිහින් විකුන්නන්න තියන බ්‍රා අත ගාලා බලනවා ...අන්තිමට ඒක කාර් වගේම උමතුවක් ගානට එනවා ..මම ඒක නිසාම බ්‍රා පක්ට්‍රියෙන් අයින් උනා ..
මට අර FRIENDS එකේ Joey ගේ 'ඇහෙන් අන්හුක් කිරීමේ හැකියාව' මතක් වුණා...
Deleteඋබට කාර් වගේ මට බ්‍රා කියන්නේ අදටත් ආදරණිය පිස්සුවක්
Deleteෂෝක් කතාව..මට මතක් වුනා 70 දශකයෙ අපේ ගමේ තිබුනු එකම කාරෙක..EY 1057 ජූලිස් අය්යගෙ හිල්මන් හන්ටර් එක..කලු කාරෙක..රතු ලෙදර් ඉන්ටීරියර් දිලිසෙන බෆර්..
ReplyDeleteබොහෝම ස්තූතියි. නොම්මරේ EY නම් බොහෝ දුරට හිල්මන් මින්ක්ස් එකක් වගේ එකක් වෙන්න ඕනේ. හිල්මන් මින්ක්ස් ගැන මගේ තියන සෙනෙහසත් මේ බ්ලොග් එකේ පරණ ලිපි අතර තියනවා 'මින්ක්ස් එක පරණ වුණාට මීයා මලේ අනූපහේ' කියලා...
Deleteමල්ලි හරි මල්ලි ....ඒක තමා ජූලිස් අයියගෙ 1057
Deleteමින්ක්ස් එක සෑහෙන්න ආදරේ හිතෙන කාර් එකක්...
Deleteලොවෙත් නැ තුමනි ලොවි ගහෙත් නැ..ඇඩෙනව
ReplyDeleteබොහොම ස්තූතියි ඉෂාර...
Deleteඋඩ කමෙන්ට්ස් ටිකත් කියෙව්වට පස්සේ, ලියන්න දෙයක් ඉතුරුවුනේ නැහැ. ඉතාමත් ලස්සනට ලියපු පෝස්ට් එකක්. ෆිටේ ෆිට්.දයල් බතීගේ බ්ලොග් එක පැත්තෙදි මේක දැක්කේ.
ReplyDeleteබොහොම ස්තූතියි. අරුණ ඉස්සර ආවා ගියා නේද මේ පැත්තේ? ඔයා නේද මට අර කාර්වල මොඩ්ල් නේම්ස් ගැන ලියන්න කිව්වේ?
Deleteඔව්..ඔව්..තරිඳු...මේ පෝස්ට් එක අහම්බෙන් අහුවුනේ.
Deleteමම මේ ළඟදී කල්පනා කළා දැන් මේ පැත්තේ වැඩිය එන්නේ නෑ නේද කියලා :)
Deleteටික කාලයක් බ්ලොග්ස් ලියන එක කරේ නැහැ.
Deleteකාර් කියන්නේ යකඩ ගොඩක් කියල හිතෙන්නේ මට විතරද... කෝකටත් එක එක අයට එක එක විදිහේ පිස්සු තියන එකින් විවිධ දේ ගැන විවිධ විදිහට කියවන්න ලැබීම නම් මරු.... (පාර දැක්කේ දයාල් බතීගෙන්)
ReplyDeleteප්‍රතිචාරෙට බොහොම ස්තූතියි. ආසාවල් ඉතිං සංස්කෘතිකයි නේ... අපේ විශ්වය ඇතුළේ යකඩ තමයි ආදරේ උල්පත :) (දයල් බතීටත් විශේෂ ස්තූතියික් යන්න ඕනේ. කීපදෙනෙක්ම එහෙං පාර දැනගෙන මෙහෙට ආවා).
Deleteකතාව නම් සුපිරිම සුපිරි...අය්යා පොතක් ලිව්වොත් හැරි පෝටර් එකට වඩා කියවයි..ඒ තරමට මාවලස් කතාව..මගේ මතකෙත් ඇවිස්සුනා..අපේ වාහනේ ගේද්දිත් ඒ මිනිස්සුන්ගෙ මූනු කලු වෙලා තිබ්බ විදිය තාම මතකයි...තාත්තා ගේට්ටුවෙන් එලියට ජීප් එක දාල සෙකන්ඩ් ගියර් එකට එන දුරකදි විතර මායි මල්ලියි පිටිපස්සෙ දොරක පොඩි වීදුරුවකින් පිටිපස්ස බැලුවා...ඒ අයියා අත් දෙකම අහසට උස්සගෙන හිටියෙ ඒ වෙලාවත්...සල්ලි නිසා වාහනේ විකුනුවට,ඒ යකඩ ගොඩටත් මනුස්සයො එක්ක ආත්මීය බැදීමක් තියනව කියල ඒ පලවෙනි දවසෙම තෙරුන්ගත්තා...
ReplyDeleteපසුව ලියමි... ;)
අනිවාරෙන් ජොබක් කරලා ඉබ්බෙක් ගමි...
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි රොෂේන් මල්ලි. ඉක්මනින් ඉබ්බෙක් ගන්න වාසනාව පෑදේවා...
Deleteමල්ලි කිව්වට,අන්කල්ලා පුතාලද දන්නෙ නෑ...(මොන ලබ්බක්දත්වය) ;)
Deleteපට්ට උපමාව...
නෝ ප්‍රොබ්ලම්... මීට පස්සේ ඔයාට අංකල් කියන්නම්... හැක්... ;)
Deleteඅලුත් කාර් බ්ලොග් එක අප්ඩේට් කලේ නෑ නේද අයියෙ?..(මන් අයියා කියල කියන්නම් ඉතින්)නැත්තන් පව් නේ...
Deleteහහා... මේ බ්ලොග් එක කරන් යන්න මාව ගොඩක් උනන්දු කරපු 'අටම්පහුර' හාදයා මම බ්ලොග් දෙකක් වෙනවෙනම කරනවට මාරාන්තික ලෙස විරුද්ධ වුණා. පොරට ගරු කිරීමක් වශයෙන් මම මේකට සෙට්ල් වුණා. කියන්න බෑ, දවසක ඕක අලුත් කාර් ගැන වෙනම විදිහේ වැඩක් විදිහට ඉස්සරහට යන්නත් ඉඩ තියනවා. බලමු :)
Deleteඔය අටම්පහුර හාදයට පිස්සු. මට කලින් තමයි ඌට හැදුනේ :D
Deleteඕවා කියන්න බයයි. මේ දවස් වල තුවක්කුවක් අතේ තියාගෙන ඉන්නේ බුවා...
Deleteපට්ට කතාව මචං...
ReplyDeleteඅපේ ගෙදරත් ඉස්සර මොරිස් මයිනර් එකක් තිබ්බා, EL-637 නම්බර් එක...
වැඩිය පාවිච්චි කලෙත් නැහැ. මුල් කාලේ ඒක හදනව ඇරෙන්න වැඩක් තිබුනේ නැහැ, වැඩිය පෙට්‍රල් කරෙත් නැහැ...
ඒක ගන්න හිතාගෙන ආපු මනුස්සයෙක් මාසෙකට වැඩිය හැමදාම අපේ ගෙදර ඇවිත් වාහනේ ඉල්ලලා කෙඳිරි ගානවා...
සමහර දවස් වලට ඒ මනුස්සය අපි නැගිටින්නත් කලින් අපේ ගෙදර...
අන්තිමට ඒ මනුස්සයට ඒක විකුණලා දැම්මා, ඒ මනුස්සයා ඒකෙන් මිනී අදින එක, මස් අදින එකේ සිට සියලු වැඩ කරලා තිබුනා අදායම් මාර්ගයක් වශයෙන්...
මටත් ඉස්සර මිනි මයිනර් හීනයක් තිබ්බා...
බොහොම ස්තූතියි. මගේ මයිනර් එක EN-3457
Deleteමිනි මයිනර් හීනය අපි ගොඩක් දෙනෙක් දකින එකක්... ඒ හීනේ අයෙත් අලුත් වේවා! :)
හීන...කාර්...යකඩ....මේ ඔක්කොම ගත්තම අපි ඔක්කොම එක වල්ලෙ පොල්..කාර් පිස්සුව ජයෙන් ජය....
ReplyDeleteහීන...කාර්...යකඩ....මේ ඔක්කොම ගත්තම අපි ඔක්කොම එක වල්ලෙ පොල්..කාර් පිස්සුව ජයෙන් ජය....
ReplyDeleteහීන...කාර්...යකඩ....මේ ඔක්කොම ගත්තම අපි ඔක්කොම එක වල්ලෙ පොල්..කාර් පිස්සුව ජයෙන් ජය....
ReplyDeleteහීන...කාර්...යකඩ....මේ ඔක්කොම ගත්තම අපි ඔක්කොම එක වල්ලෙ පොල්..කාර් පිස්සුව ජයෙන් ජය....
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteඉස්සර ඉස්ස්කෝලේ යද්දි පොත් කියවද්දි දැනුන හැගීම අද ආයෙත් හිතට ආවා. වචනයක් වචනයක් ගානේ හිතේ මැවිලා පෙනුනා.. ගොඩාක් ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තූතියි විශ්ව... නිතර මේ පැත්තේ ඇවිත් යන්න එන්න...
DeleteMata thawa classic car project ekak kara na hituna
ReplyDeleteMage langa corolla ae81 ekak thiyanawa eye mahiyangane school ekakata badu denna giyeth eke hawasa apahu enkota giyer cabel eka keduna ethana indala 60 km awe 4 weni giyer eke vitharayi giye Honda wedakata nisa deyiyo balala karadarayak nethuwa gedara awa
පරිස්සමෙන් එන්න ලැබුණා නම් එච්චරයි! කරපු සද්කාර්යය ගැන ගොඩක් සතුටුයි...
Deleteමම මේක කෙටිකථාක් කියලා දැක්කේ පස්සේ නොවැ !!!! ඒත් ඒ දැකලත් මට හිතුනෙම තරිඳුගේ අත්දැකීමක් කියලමයි :) ඒ තරමටම පණ පිහිටවලයි ලියවිලා තියෙන්නෙ. සුභපැතුම් !!!!
ReplyDeleteමම පහත ලිංක් එකේ තියෙන රසවත් ලිපියත් මේ දැන් කියවලා ඉවර කලා. සමහරවිට ඔයාලනම් මේක කලින් කියවන්න ඇති මගේ හිතේ :D
http://www.lakbima.lk/index.php/%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/1522-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%86-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
බොහොම ස්තූතියි. ඔවු, මේ ලිපිය යාළුවෙක් මට එවුවා... නමුත් ලින්ක් එක එවුවට බොහොම ස්තූතියි.
Deleteමට මේ කතාව ලියන්න උත්තේජනය සැපයුවේ ඔයා. ඒකට ස්තූතියි.
ReplyDeleteකිරි අත්තා ගේ කාරය
බොහොම සතුටුයි. ඒ වගේම ලින්ක් එක දම්මටත් බොහොම ස්තූතියි අජිත්...
Deleteමේක කියවල බොහොම පරණ කතාවක් මතක්වුනා බන්.. මම දන්නා කියන අයිය කෙනෙකු හදිසියේ හාර්ට් ඇටැක් එකකින් නැතිවුනා.. එයා පන වගේ තියන් හිටපු යමහා මේට් එකේ පොත ඒ වෙද්දී උගස් තියල තිබිල තියෙන්නේ අසනීපෙට සල්ලි ඕන නිසා. ඒ ගැන අපි දැනගෙන හිටියේ නැහැ..
ReplyDeleteඒ අතරේ මගේ යාලුවෙක් යමහා මේට් එකක හොයමින් උන්න.. ඒ අතරේ වෙන යාලුවෙක් කිව්වා උගස් තියපු මේට් එකක පොතක් තියනවා අයිතිකාරයා මැරිලා පොත උගසින් බේරලා බයික් එක අයිතිකාරයාගේ වයිෆ්ගෙන් ගන්න පුළුවනි කියල. වැඩේ කරන්න ගිහින් බැලුවාම මේ කියපු යමහා මේට් එක අපි දන්නා අය්යාගේ.. ඒත් ඒ ගෑනු මනුස්සය වැටිලා හිටිය ආර්ථික අවපාතයේ හැටියට එයාලට ඒ මෝටර් සයිකලේ විකුනගන්නම ඕනෑකම තිබ්බ. ඒත් එයාලට තිබ්බ ප්‍රශ්නේ වුනේ පොත උගස් ගත්තු මිනිහ ඉල්ලන පොලිය බයිසිකලේ වටිනාකමට එහා මුදලක් වීම. අපි ගිහිං බයිසිකලේ පොත බේරලා බයිසිකලේ විකුණන වැඩේ සැබෑවක් කරා.. ඒත් පොත උගසට ගත්තු මනුස්සය එක්ක හෙට්ටු කරලා කරලා කරලා කරලා කරලා මුදල් ගෙව්වාම අර අහිංසක මනුස්සයට දෙන්න ඉතුරුවුණේ රුපියල් දෙදාස් පන්සීයය්.. ඒත් බයිසිකලේ ගතපු මගේ යාළුවා උගේ පපුවේ තිබ්බ මනුස්සකම වෙනුවෙන් තව රුපියල් පන්දාහක් වැඩිපුර දුන්න අර මනුස්සයට. ඒ බයිසිකලේ අරගෙන ගෙදරින් එලියට එද්දී අර ගෑනු මනුස්සයාගේ ඇහෙන් වැටිච්ච කඳුළු දැක දැක බයිසිකලේ පැදගෙන ආපු අපු දෙන්නටම හැතැක්ම ගානක් එනකම් වචනයක් කතාකරගන්න බැරිවුනා. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න මුදල් අවශ්‍ය වීමත් සහ තමුන්ගේ මැරිච්ච මනුස්සයෙග් මතකයන් සියල්ලම එකතුවෙච්ච බයිසිකලේ විකිනිල්ලයි අතරේ දෝලනය වෙච්ච ඒ මනුස්සයාගේ හිතේ සිතුවිලි මොනවගේ වෙන්න ඇතිද කියල අදටත් මට හිතාගන්න බැහැ. ඒත් ඒ සිද්දියෙන් මම ඉගෙනගත්තු ලොකු පාඩමක් තිබ්බ.. ඒ තමයි කසාද බැඳපු දරුමල්ලෝ ඉන්න මිනිස්සුන්ට තමුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ජීවිත රක්ෂණයක් වත් අඩුම අතරමේ තියෙන්න ඕන කියන එක. අපි ඒ යමහා මේට් එක අරගෙන යන වෙලාවේ අර මනුස්සයාගේ අවුරුදු දෙකක විතර පුංචි දරුව ඔහේ බලාගෙන හිටපු හැටි මතක් වෙද්දී අදටත් පපුව වාවන්නේ නැහැ. මේ සිද්දිය උනේ 2001 අවුරුද්දේ.. දැන් ඒ දරුවො ලොකුමහත්වෙලා හොඳින් ජීවත් වෙනවනම් ඒක ලොකු දෙයක්.. ඒ සිද්දිය සම්භන්ධයෙන් අදටත් හිත මටම දෝශාරෝපනය කරනවා ඒ ගනුදෙනුවට සම්භන්ධවීම ගැන.. ඒත් ගිනි පොලී මුදලාලි පොත තියාගෙන බරට බරක් සල්ලි ඉල්ලන එකෙන් අසරණ වෙලා උන්නු මිනිස්සුන්ට පොඩි හරි සහනයක් වෙන්න පුළුවන් උනා කියලත් හිතෙනව.
මම මේක දැක්කේ අද... ඒ ගැන සමාවෙන්න. හරිම සංවේදී අත්දැකීමක්. මෙතන බොහොම බර කෙටිකතාවක් තියනවා කියලා පපුවට බරට දැනෙනවා...
Deleteලියන ශෛලිය මරු. ලස්සන කතාව.
ReplyDeleteබොහෝම ස්තූතියි...
DeleteAyye..Kane mayil model ekai normal beetle ekai anduraganne kohomada? ...3 weni paarata parana article tika kiyonawa...
ReplyDeleteAyye..Kane mayil model ekai normal beetle ekai anduraganne kohomada? ...3 weni paarata parana article tika kiyonawa...
ReplyDeleteස්තූතියි මල්ලි. කනේ මයිල් කියන්නේ පස්සේ ආපු බීට්ල් වල පිටිපස්සේ වීදුරු ගාව, එන්ජින් එක පැත්තට වෙන්න තියන අඩ හඳ හැඩයේ පුංචි ග්‍රිල් කෑල්ලට. ඒක තියනවා ඒවට වැඩි මාකට් එකක් තියෙනේ ලංකාවේ විතරයි.
Delete