Saturday, November 11, 2017

Mitsubishi Silver Pigeon - කාලයේ හැංගුණු රිදී පරෙවියා



පරෙවියෝ කිව්වම මට හැම වෙලාවෙම මතකයට එන අපූරු දසුනක් තියනවා.

2008 අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසේ එක්තරා දවසක තායිලන්තයේ බැංකොක් නුවර චතුචක් පාක් එකේ මහා දවාලේ මම තට්ට තනියම ඔහේ ඇවිදිමින් හිටියා. බැංකොක් නුවර අධි නාගරික අංජබජල් ජංජාල පුංජය මැද්දේ හරියට අර රෝමන් කාරයන්ට යටත් නොවුණු පප්පලාගේ ගම වගේ තියන පොඩි බිම්කඩක් තමයි චතුචක් පාක් එක. බොහොම කාර්ය බහුල මාකට් එකකට කඩදාසි රොකට් එකක් යවන තරම් ළඟින් තියන පාක් එකක් නිසා මේක හැමතිස්සෙම ජනාකීර්ණ වුණත් ටිකක් ඇතුළට ගියාම නිවීසැනසිල්ලේ පරෙවියෙකුට දියබරියෙකුට සියම් කොකෙකුට ළංවෙන්න පුළුවන් තැනක් හොයාගන්න අපහසු නැහැ.  

ඉතිං ඔය කියාපු දවසේ මම ඔහේ ඇවිදගෙන යමින් ඉන්දෙද්දී පාක් එකේ තියන ඇල අයිනේ ඉන්න තායි ජෝඩුවක් දැක්කා. ගෑනු ළමයා ගඟ දිහා බලාගෙන මොකක්දෝ හයිකුවක් ගැටගහන අතරේ එයාගේ පෙම්වතා බොහොම කඩිසරව වෙන වැඩක. එයාව වටකරගෙන හිටියේ රිදී පාට සුදු පාට තව නානාප්‍රකාර පාට පරවියෝ රෑනක්. කොල්ලා රැස් විහිදෙන සතුටකින් අර පරවියන්ට කෑම දෙනවා. මම ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා හිනාවක් පාපු ඒ හාදයා දිගටම පරවියන්ට කෑම දෙන එක කරගෙන ගියා. පරවියෝ අපූරු තාල වලට එහා මෙහා යමින් ඒ කෑම තලු මරාපු හැටි මට තාම ඊයේ බලපු චිත්‍රපටියක් වගේ මතකයි.


මේ තියෙන්නේ ඇත්තටම මම ඒ වෙලාවේ ගත්තු ෆොටෝ එක 

මේ සිද්ධිය අහම්බෙන් මතක් වුණේ සචින් රුමේෂ් ද සිල්වා කියලා කෙනෙක් ජපානේ නගෝයා වල තියන ටොයෝටා කෞතුකාගාරයේ ෆොටෝ වගයක් කාර් පිස්සුවට එවලා තියනවා දැක්කහමයි. ටොයෝටා කෞතුකාගාරයේ ටොයෝටා වාහන වලට අමතරව අනික් හැම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකටම වගේ අයිති වාහන තියනවා. කොටින්ම මස්ටෑං එකක්, බීට්ල් එකක්, ගොල්ෆ් එකක් සහ තවත් නම නොදන්නා සොඳුරු යකඩ මාලාවක් එතන තිබුණා.


වෙන එකක් තියා මෙයත් එතන ඉඳලා 

මේ අතරේ තිබුණු අපූරු දෙසක් රියකට මගේ ඇහැ ගියා. වාසනාවකට ඒ ඇබිත්තං වාහනේ ගැන විස්තර දාලා තිබුණු පුවරුව සචින්ගේ කැමරාවට අහුවෙලා තිබ්බා. ඒකෙ ගහලා තිබුණේ Mitsubishi Silver Pigeon කියලයි. කාර් පිස්සුවට සමීප හිතවත්තු අතර ස්කූටර් පිස්සෝ සෑහෙන්න හිටියත් Vespa, Lambretta, Chetak වගේ නම් ඇරෙන්න මම රිදී පරෙවියෙක් ගැන අහලා තිබ්බේ නැහැ. ඒ නිසා මගේ ඇහැ එකපාරට එතන නතර වුණා.




ඒ විතරක් නෙමෙයි. මේ පුංචි පරවියාගේ හුරුබුහුටි පෙනුම මගේ හිතට සෑහෙන්න වැදුණා. ඒක ඇත්තටම පුංචි කුරුල්ලෙක් සහ පරණ රේඩියෝ එකක එකමුතුවක් වගේ. ස්කූටර් එකේ නම නොකියා කෙනෙක් මේක පෙන්නුවොත් ඕනෑම කෙනෙකුට හිතේවි මේක රෝද තියන රේඩියෝ එකක් කියලා.

මේ කුකුස්-ඇතිකරන්නා කොයිතරම් මගේ හිත ඇවිස්සුවද කියනවා නං ඒ මොහොතේම මම රිදී පරෙයි පැටිකිරිය හොයන්න ගත්තා.

බලාගෙන යද්දී කතාව පටන් ගන්නේ 1946 අවුරුද්දෙන්...


www.jsae.or.jp

මේ අවුරුද්ද වෙද්දී දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ලෝකේ රටවල් බොහොමයක් නන්නත්තාර වෙලා හිටියේ. ජපානේට මේක කොහොම බලපාන්න ඇතිද කියලා අමුතුවෙන් කියන අවශ්‍ය නැහැ නේ. මේ තත්ත්වය උඩ ජපානයට ප්‍රවාහන අවශ්‍යතා වලට හොඳ විසඳුම් වුවමනා වෙලා තිබ්බා. ඉතිං මිට්සුබිෂි සමාගමත් හිතුවා ඒ තරගෙට බහින්න. 

ඒ වෙනකොට මිට්සුබිෂි සමාගම තිබුණේ Mitsubishi Heavy Industries Ltd. නමින්. ජපානයේ නගෝයා ප්‍රදේශයේ ඉස්සර බොහොම සරුසාරෙට බිස්නස් කරමින් හිටපු මිට්සුබිෂි සමගම මේ දවස් වල ආපහු ඔලුව උස්සන්න උත්සහ කරමිනුයි හිටියේ. මේ අතරේ එයාලා දැනගත්තා ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරපු Kojiro Maruyama මහත්මයා ආපහු ජපානෙට එද්දී ස්කූටරයක් අරගෙන ඇවිත් තියන බව. 

ජපන්නු කියන්නේ ඇමරිකාවෙන් එන ඕනෑම ලූනු බිකක් පලු කරලා, ඒක ඇමරිකන් කාරයට වඩා හොඳට වැඩිදියුණු කරලා, පස්සේ කාලෙක ඇමරිකන් කාරයාටම ඒවා විකුණන්න හපන්නු. 

ස්කූටරේ ආරංචිය කනට ගියාට පස්සේ තකහනියක් ටියුබ් ලයිට් එකක් දැකපු මෙරුවෝ වගේ Maruyama මහත්මයා හොයාගෙන ගිය මිට්සුබිෂි සමාගමේ කට්ටිය එතුමාට සමාගම එක්ක එකතු වෙන්න කියල ආරාධනා කළා. ඊට පස්සේ එතුමාගේ ස්කූටරේ ලද සැණින් එසැණින් මස් කළා. 

ඊට පස්සේ කොපි කළා.... 




පරෙවියාගේ පළවෙනි Prototype එක ලෑස්ති වුණේ 1946 අවුරුද්දේ අගෝස්තු මාසේ. මේක නම්කරන්න මුලින්ම පාවිච්චි කරපු code එක තමයි C-10. සිල්වර් පිජන් වුණේ ඊට පස්සේ. 1947 දී මාකට් එකට ආපු මේ අපූරු හුරුබුහුට්ටා 1948 වෙද්දී වැඩිදියුණු වුණා (ෆේස්ලිෆ්ට් මොඩ්ල් එකේ කෝඩ් එක C-11). මෙයින් එක පරෙවියෙක් ජපානේ ඒ කාලේ ඔටුන්න හිමි කුමාරයාට පිරිනමන්නත් සමාගම කටයුතු කළා ලු. 

1946 අවුරුද්දේ මුලින්ම තටු විහිදපු රිදී පරෙවියාගේ විස්තර සරලව මෙහෙම කියන්න පුළුවන්: 

එන්ජිම : 112cc 
බලය: 1.5 PS 
දිග: මිලිමීටර 1550 
පළල: මිලිමීටර් 560 
උස: මිලිමීටර් 1010 
ස්ටාර්ට් කරන විදිහ: තල්ලු ස්ටාර්ට් 

ඊට පස්සේ පරෙවියා ලොකුමහත් වෙච්චි හැටි ගැන විස්තරයක් මෙන්න මේ විකිපීඩියා ලින්ක් එකේ තියනවා.




අවුරුදු 18 ක් තිස්සේ පරෙවියා මාකට් එකේ හිටියා. 1963 දී ප්‍රඩක්ෂන් එක නවතිද්දී රිදී පරෙවියෝ 463,000 ක් විතර ලෝකෙ පුරා පියාඹලා තිබුණා ලු. 

ඇත්තටම රිදී පරෙවියා බොහොම සාර්ථක නිෂ්පාදනයක් වුණා. මිට්සුබිෂි සමාගමට දෙපයින් හිටගන්න මෙයාගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ. ඒ වගේම 1950 දශකයේදී Motor Cyclist සඟරාව පිටපිට තුන් පාරක් 'Best in Styling' ස්කූටර් එක විදිහට මේක නම් කළා ලු. 












1959 අවුරුද්දේ රිදී පරෙවියෙකුගේ හැඩ රටා. ඡායාරූප වල සියලු හිමිකම් www.brightonmotorsports.com

රිදී පරෙවියා ඇමරිකාවටත් පියාඹලා ගිය බව මතක් කරන්න ඕනේ. මෙයාලව ඇමරිකාවට ගෙන්නුවේ Rockford Scooter Company කියලා සමාගමක් බවයි www.silverpigeons.com වෙබ් අඩවියේ තියෙන්නේ. මේ සමාගමේ සභාපති වුණු C. Lewis Emery මහත්මයා මේවා මිනිස්සුන්ට විකුණන්න කියලා ඒ කාලේ ඇමරිකාවේ සුප්‍රසිද්ධ retail chain එකක් වුණු Montgomery Ward ලට අලෙවි කළා කියලා ඒ වෙබ් අඩවියේ සියනවා. 



රිදී පරෙවියෝ අලුතින් ලෝකෙට බිහිවෙන එක නැවතිලා දැන් අවුරුදු 50 විතර ගිහින් තිබුණට ඒ ගැන තාමත් සමහරු හරිම ආදරයෙන් කතා කරනවා. අද වෙස්පා වලට තියන තරම් ආදරයක් හෝ ආකර්ෂණයක් රිදී පරෙවියා නොලබන බව ඇත්ත. නමුත් www.silverpigeons.com වගේ වෙබ් අඩවි තාමත් මේ අපූරු සත්ත්වයා ගැන ආදරය ලෝකෙට බෙදමින් ඉන්නවා. ඇත්තටම ඒකෙ තියන සමහර ඉතිහාස කතා හරිම ආකර්ෂණීයයි. කොටින්ම කොහේ හරි කාටත් අමතක වී ගිය මුල්ලක ඉඳලා රිදී පරෙවියෙක් හම්බවුණොත් එයාට ආපහු අලුත් පණක් දෙන්න අවශ්‍ය තොරතුරු පවා මේ වෙබ් අඩවියේ තියෙනවා. 

මම මෝටර් සයිකල් හෝ ස්කූටර් පිස්සෙක් නොවන බව කාර් පිස්සුව නිතර කියවන අය දන්නවා. නමුත් මෙහෙම ආදරණීය පුංචි සත්තු දකිනකොට මගේ හිත ගැස්සෙනවා. 

හරියට චතුචක් පාක් එකේ ප්‍රේමවන්තයෙකුගේ අතින් වැටෙන කෑම ඩිංගිත්තක් ඩැහැගන්න පියාඹන නොපියාඹන ගානට දුවන පුංචි පරෙවියෙක් වගේ.... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
11.11.2017 
www.facebook.com/CarPissuwa

(මූලික විස්තර ගත්තේ www.mitsubishi-motors.com, www.silverpigeons.com සහ විකිපීඩියා වෙබ් අඩවි වලින්) 

34 comments:

  1. දස් ඔටෝවේ පාරේම හොර වැඩ කරන්න ගිහිල්ල මාට්ටු වෙච්චි මිට්සුබිෂි සමාගම අයෙමත් කරදරේ වැටිල නමුත් නිසාන් සමාගම ගොඩ දාපු කාලෝස් ගෝන් මේකටත් ඇත ගහල තියන නිසා සමහර විට අපිට ආයෙමත් අලුත් Evolution සහ Pajero දකින්න ලැබෙන්න ඉඩ තියනව.

    එනිසා මිට්සුබිෂි සමාගමේ මේ පාර සුදු පරෙවියා කාලෝස් ගෝන්ද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නැහැ මිට්සුබිෂි එකේ මූල්‍ය අර්බුදය 'හොර වැඩ කරන්න ගිහිල්ල මාට්ටු වෙච්චි' කියන තැනට ලඝු කරන එක හරි කියලා. මිට්සුබිෂි එකේ මැනේජ්මන්ට් එක මාරුවීම සම්බන්ධයෙන් මම ගොඩක් ඉස්සර අලුත් කාර් එකේ ලිපියක් ලිව්වා. ඒ දවස් වල බල්ලෙක් වත් මේ පැත්තේ එන්නේ නැහැ. ලිපියේ ස්ටයිල් එක මේ වගේ නොවන නිසා මට ඒක ආපහු ෂෙයා කරන්න හිතෙන්නෙත් නැහැ :) පළමු ප්‍රතිචාරය... ස්තූතියි කණ්ඩෝ...

      Delete
    2. නැහැ ඒක ඊට දුර ගිය Innovate කරන්න අමතක වීම සහ වෙළඳපොළ හඳුනා ගැනීමට අසමත් වීම නිසා වෙච්චි දෙයක්, මේ Millage වැඩෙන් කොම්පැනියට වැදිච්චි ලොකු පහරක්. නිසාන්-රෙනෝ ගත්තේ නැති නම් මිට්සුබිෂි බොහොම හෙමිහිට නට්ටං වෙන්න ඉඩ තිබ්බ.

      Delete
  2. කාර් පිස්සුවම විතරක් නෙමේ... යටිහිතේ හැන්ගුනු බයික් පිස්සුවක් ලාවට තියෙනව වගේ... ජීවිතේට අහල දැකල නොතිබුන කතාවක් දැනගත්ත... බොහොම ස්තූතියි තරිඳු මේ ලිපිය ලියන්න වෙලාව වෙන් කරාට...

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද... මටත් ක්ලැසික් බයික් සහ ස්කූටර් පිස්සුවක් ලාවට තියනවා. ඒ වගේම ඉන්දියාවෙන් එන්නේ කියලා කොච්චර දැනගත්තත් Royal Enfield එකක් දැක්කම මගේ හිතට මෙවුවා එකක් එනවා...

      ප්‍රතිචාරයට ස්තූතියි එරංග. ඒ වගේම කාලෙකින් ඔයාව මේ පැත්තේ දකින්න ලැබීම සතුටක්!

      Delete
    2. කමෙන්ට් නොකලාට හැම ලිපියකටම .... ඔයාගේ එක ලිපියක් වත් මන් අතඇරලා නැහැ.... ඔක්කොම ලද සැනින් එසැනින් කියවනවා...මං කතා කරල හරි බනින්න හිටියෙ ... ටික දවසකට කලින්... මොකද දන්නවද.... බ්ලොග් පෝස්ට් එකක් එන්න පරක්කු නිසා... ඇංජිං පිස්සුව අපු නිසා ඒ අදහස මං අතැරියා....

      Delete
    3. වෙන පිස්සු වැඩ ගොඩකට සහ වැදගත් වැඩ ස්වල්පයකට කාලය කැප කරන්න වුණු නිසයි ලිවීම අතහැරුණේ. නමුත් එන්ජින් පිස්සුවෙන් ආපහු ආසාව දැල්වුණා. ඔයාගේ උනන්දුව ගොඩක් වටිනවා!

      Delete
    4. තරිඳු ගිය අවුරුද්දෙ නම් ඔයාට සම්මනයකුත් ලැබුනා මෙ බ්ලොග් එක නිසා... ලියන්න තරිඳු ලියන්න ... මේ ගමනත් 1ක් ගන්න.... මෙහෙම කියන්නේ සම්මාන වලට තියෙනා ආසවට, කෑදර කමට කියල හිතන්න එපා... එකෙන් ලැබෙන ස්ටෑන්ඩඩ් එක වටිනවා...

      Delete
    5. එකඟයි. අවුරුදු 10 කට විතර පස්සේ සම්මානයක් අතට ගනිද්දී පොඩි සතුටක් නොදැනුණා නොවේ... වෘත්තීය ජීවිතේට බැස්සට පස්සේ දාහක් සීමාවල් මැද්දේ ආසාවට කරන මේ වගේ දේවල් වලට ඇගයීමක් ලැබෙන එක වටිනවා. :)

      Delete
  3. දැං අපේ ඒරිටල් එකෙත් ක්ලැසික් කාර් ගහනය වැඩි වෙලා. මං අද දැක්ක හැට එක ඉරක් වීඩබ් වෑන් එකක්. වෙස්පාට මාත් ලව්.. මේ පරයියා ගැන දැනං හිටියෙ නෑ

    ReplyDelete
    Replies
    1. මම මේ බලාගෙන ඉන්නේ 'මම දන්න තැනක පරෙයියෙක්' ඉන්නවා කියල කවුරුහරි කොමෙන්ටුවක් කොටනකල්...!

      Delete
  4. තරිදු
    Vespa scooters හදන Piaggio සමාගමේ කතාවත් මේකයි.Locomotive ,Railway carriages හදන සමාගමක් හැටියට පටන් ගත්ත Piaggio පලවෙනි ලෝක යුද්ධ කාලයේ මිලිටරි උපකරණ හැදිල්ල සඳහා යොමු වුණා.දෙවෙනි ලෝක යුද්ධ කාලය වෙනකොට ප්‍රහාරක ගුවන් යානා හැදුවා. ඔවුන්ගේ factory එක යුද්ධ කාලයේ බෝම්බ ප්‍රහාරයන් නිසා විනාශ වීමත් යුද්ධයෙන් පස්සේ ඉතාලියට යුද්ධ උපකරණ සෑදීමට සම්බාධක පැනවීමත් නිසා කරන්න දෙයක් නැතුව හිටපු පියාගේ Piaggio සමාගම අර්බුදයෙන් ගොඩ යන්න Vespa scooter එක නිර්මාණය කළා. ඔවුන් හිතුවටත් වඩා එය සාර්ථක වුණා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. වෙලාවක වෙස්පා එක ගැන ලියන්න කියලා කට්ටියගෙන් ඉල්ලීම් තියනවා. විවේකයක් ලැබුණාම ලියන්න ඕනේ...

      Delete
  5. අයියේ ඇත්තටම අර රෝද තියන රේඩියො එකෙ නමි මෙිවිවා එකක් තියනවා..අමුතු ලස්සනක්...

    සිරාගෙ කාමරයේ ලියන සිරා අයියාගවත් මෙිවිවා එකක් තියනවා..වෙස්පා එකක් වගෙයි මතක..එයැයිගෙ කහ කුරැල්ලා...

    ReplyDelete
    Replies
    1. හොයලා බලන්න ඕනේ පොඩ්ඩක්... ස්තූතියි කිව්වට :)

      Delete
  6. අගේ ඇති කුරුල්ලෙක් ගැන අගේ ඇති විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...

      Delete
  7. මම හිතන විදියට අපේ රටෙත් මේවා එකක් දෙකක් ඇති....vespa එක ගැනත් කථාවක් ලියමු නේද..??

    ReplyDelete
    Replies
    1. වෙස්පා එකේ කතාව දිගයි. ඒක කෙටියෙන් ලියන එක වෙස්පා එකට කරන අසාධාරණයක්. ඒක හරියට බීට්ල් ගැන ඉතිහාසේ විකිපීඩියා එකෙන් ට්‍රාන්ස්ලේට් කරනවා වගේ මරිමෝඩ වැඩක් වෙනවා. ඒ නිසා ටිකක් කල් අරගෙන විවේක වෙලාවක කරන්න ඕනි. යෝජනාවට ගොඩක් ස්තූතියි ළහිරු...

      Delete
  8. .
    ඇත්තමයි ඒක ලස්සනයි... කිමෝනාවටත් වඩා ලස්සනයි..ජපන් හුරුබුහුටිකම එහෙමපිටිම්ම ඒකෙ..ස්තුතියි හද කිතිකැවීම පිළිබඳව..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි!

      Delete
  9. ක්ලැසික් ස්කූටර් ප‍්‍රජේට්එකක් කරන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්කූටර් පිස්සුව කොහොමත් මේ දවස් වල නැගලා යනවා. ඔය අදහස දුරදිග ගියොත් කියන්න. උපදෙස් ගන්න පුළුවන් යාළුවෝ ඉන්නවා කාර් පිස්සුවෙ...

      Delete
  10. මට මේකක මොඩ්ල් එකක් හම්බ වුනා.https://en.wikipedia.org/wiki/Vespa_150_TAP

    මිලිටරි වාහන ගැනත් ලියයිද?

    ReplyDelete
    Replies
    1. Vespa 150 TAP... හම්මේ ඉතිං...!!! අවංකවම කියනවා නං මිලිටරි වාහන ගැන මගේ ඒ හැටි උනන්දුවක් නැහැ. නමුත් මේක සහ දැනට ඉක්මන් එකේ විකුණන්න දාලා තියන Dodge Weapons Carrier එක වගේ ඒවා දකිනකොට නම් පොඩි ආසාවක් එනවා...

      Delete
  11. සුපිරි කියවීමක්.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉෂාර...

      Delete
  12. Hi Tharindu,

    Just see this interesting ad published in Carmudi. Another mad car lover! I dont know your e mail, so sending as a comment.

    Dammika



    "*** Time Wasters/Tyre Kickers/Joy Riders/Bargain Hunters - Don't bother calling as I won't tolerate such at any cost because I have no hurry to sell this! ***

    Audi A4 B6 (S-Line)

    ** An Exclusive, Elegant Head Turner! **

    Basics;
    Year of Model : 2004 (According to Chassis Number)
    Engine : 1.8L Intercooled Turbo (MTM Chipped)
    Transmission : 06 Speed Triptronic CVT with Sports Mode
    Wheels : 17" Wheels (Specified on the CR)- 99% Comes 16" Wheels))

    Remarks:
    > Used by a Young Aspiring Professional in the IT Industry who is also a hard-core Audi Enthusiast.
    > Personally bought her from the Director of Senok. Many Professionals will do recognise and do know how she performs and has been taken care of.
    > You will be lucky to own this head turner as it's a well known car among many enthusiasts of high calibre.
    > Comes with the most sought after & most iconic color combination with Black Exterior and Beige Leather Interior
    > In Pristine Condition (Exterior, Interior and the Heart) despite it's Age and also she handles just perfect!
    > Polished and Waxed Weekly using Products personally imported from Manchester, UK; for Ultimate Exterior and Interior Protection.
    > Recently changed T-Belt and Necessary Components from the Agent.
    > Daily Runner; Hence maintained extremely well!

    Other Options:

    > S-Line Body (Front and Rear Bumpers, Grille, Door Blades, S-Line Mirors - Probably the only A4 with them on!, Spoiler, Rims etc;).
    > Original Keys Available including the Valet Key.
    > Original Manuals Available.
    > MTM Chipped ECU for Driving Pleasure (Becomes a Different Machine at 4000rpm)
    > Anti-Theft Alarm System.
    > Heated Side Mirrors.
    > Remote Boot Opener.
    > Welcome Lamps.
    > Beige Leather Interior.
    > Original Floor Mats with Velo Car Mats.
    > Dual Zone Climate Control.
    > Dual Semi-Leather Electric Seats.
    > Dual 3" Exhausts (Sounds Amazing!).
    > Un-Touched Sparewheel and Tools.
    > Amazing BOSE 9.1 Surround Sound System with Factory Head Unit working Perfectly.
    > One Touch Power Windows on all Doors.
    > All 04 Disk Breaks with ABS + EBD
    > Curtain Airbags along with 06 Airbags.
    > ESP (Electronic Stability Programme)
    > Front and Rear Armrest.
    > Xenon Projector Headlamps.
    > Adjustable Height in the Headlamps.
    > Spot Lamps.
    > Aftermarket Reverse Camera with Turning Guidelines.
    > DVR Camera.
    > Front and Rear Reading Lamps.
    > Three-Spoke Steering Wheel with Teak.
    > Illumination Dashboard.
    > On-Board Trip-Computer.

    ** Simply; You wont find a Beauty like this! **

    Ideal Buyer:
    > A European Car Enthusiast who can live with her needs and wants and who is also a detailing addict. Because she deserves it! :)
    > A person who would live by; "The Way a Man Treats His Car, is the way he treats himself"

    "Quality comes with a Price" - Rs. 3.890 Million (3,890,000/- Negotiations ONLY after Inspection)

    Note :

    > Will only let this beauty go for a Professional / A person knowing the true value / A person who will care as a member of his/her family.
    > Negotiations over the Phone will not be Tolerated.
    > If your concerned about fuel efficiency please do not waste your time but if your looking for power and prestige; Please do!
    > No Time Wasters and Joy Riders/Tyre Kickers will be tolerated at any cost.
    > Test Ride will be given upon Confirmation."

    ReplyDelete
  13. කාර් පිස්සුව ගැන මුලින් දැන ගත්තෙ w3lanka එකෙන්.ඔය කියන චතුචක් පාක් එකට මමත් ගියා 1993.එතකොටත් බැංකොක් ලෝකයේ වඩිම ට්‍රැපික් තියෙන නගරය විදියට තමයි සැලකුනේ.මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දන්න කෙනෙක් උදව් කරන්න.toyota allion 260 (2008)කාර් එකක් මම ගත්තා.මේකෙ ඩිම් බල්බ් එක පිච්චුනා මේක මට විකිනු එකා ? බල්බ් දෙක මාරැකරලා.තියෙන දෙකේම කෝඩ් නොම්මර නැහ.බාලබඩු.කඩකාරයො කියනව කෝඩ් එක නැතුව හොයන්න බැහ කියල.දන්න කෙනෙක් මට කෝඩ් එක හොයල දෙන්න

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුව පැත්තේ ඇවිත් යනවට බොහොම ස්තූතියි. ඔය ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුළුවනි ෆේස්බුක් එකේ රථවාහන ගුණදොස් පේජ් එකෙන් හෝ මෝටර් කාර්මික දැනුම පේජ් එක වගේ තැනකින් ඇහුවා නම්...

      Delete