Wednesday, March 22, 2017

හල්ගස්හේනට යන පාරේ දෑහින් ක්ලැසික් කාර් ඇහින්ද අපේ තාත්තා



මේ ලිපිය ලියන  රෑ 9 ශ්‍රී 5333 කොළ සහ සුදු මිශ්‍ර අලුත් පෙනුමක් ලබා මගේ ගරාජයේ නිවී සැනසිල්ලේ නිදා සිටී. මට, අම්මාට සහ කෞශිට සේම 9 ශ්‍රී 5333 ටද සමහර විට තාත්තා ගැන මතක තිබෙන්නට පිළිවන. අලුත් කාර් වලට මෙන් නොව පරණ කාර් වලට 'ආත්මයක්' ඇතැයි කාර් පිස්සුවෙන්ම වියපත් වූවෝ නිතර කියති. එවැනි භාවාතිශය හැඟීම් දිගේ වුවමනාවට වඩා දුර ඇදී යන්නට මට වුවමනාවක් නැත. එහෙත් බක්මහේ මූදුකරයෙන් හිතුමතේ කඩාවැදී වරු දෙකතුනක් අහස අඬවන මහා කුණාටුවක් සේ තාත්තා ගැන අනන්ත මතක සමුදායක් මා නොහිතන අඳුරු වේලාවල්වල මගේ හිතට කඩා වදී. ඒ හැම වේලාවකදීම ඒ මතක චණ්ඩ ප්‍රවාහයෙන්ම සේදී ජීවිතයෙන් කෑල්ලක් ගැලවී තෙරක් නොපෙනන අගාධයකට වැටී සදහටම නොපෙනී යයි.

තාත්තා අන්තිම වතාවට 9 ශ්‍රී 5333 ට නැග්ගේ මීට අවුරුදු තුනකට පමණ කලිනි. කවදාවත් තමන්ගේ ලෙඩ ගැන අප කියනා කිසිම දෙයක් කනකට නොගත් තාත්තා හුස්ම ගන්නට බැරි තරම් කැස්ස තිබියදී පවා බේත් ගැනීමට යාම එකහෙළාම ප්‍රතික්ෂේප කළේ ය. අන්තිමේදී බලා ඉන්නට බැරිම තැන මා ගෙදර බඩුමුට්ටු පොළොවේ ගහන තරමට රණ්ඩුවක් ඇදගත් පසුව මටත් හොරෙන් පයින්ම දොස්තර ගාවට ගියේ ය.

අන්තිමට දොස්තර ළඟින් මට දුරකථන ඇමතුම ආවේ තාත්තාට පපුවේ අමාරුවක් හැදෙන්නට එන බවත් වහාම වාහනය රැගෙන එන ලෙසත් කියමිනි.

එදා ගිලන් රථයක් එළවන්නාක් මෙන් බස්, ලොරි, ත්‍රිරෝද රථ පමණක් නොව කන්ටේනරයක් ඉස්සරහින් ද දමා  පානදුර රෝහලේ පැත්තකින් 9 ශ්‍රී 5333 නවත්වා අපි තාත්තා රෝහලට ඇතුළත් කළෙමු. රජයේ සෞඛ්‍ය සේවය ගැන මට එදත් සතපහක විශ්වාසයක් නොතිබූ නමුත් හොඳම පහසුකම් ඇති ළඟම තැන එතැන බව කියා දොස්තර තාත්තාට තුණ්ඩු කෑල්ලක් ලියා දී තිබිණි. අනෙක් අතට තදබල පපුවේ අමාරුවක් හැදෙමින් සිටින රෝගියෙකු ගාලු පාරේ රථවාහන තදබදය දිගේ කොළඹ ගෙනයාම අනුවණ ක්‍රියාවකැයි අප කාටත් සිතිණි.

කෙසේ නමුත් තාත්තාට පපුවේ අමාරුවක් තිබෙන බවක් පානදුර රෝහලේ වෛද්‍යවරුන්ට පෙනුණේ නැත. පානදුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබූ තාත්තා ඉන් අනතුරුව පැය 5 කට පමණ පසුව වාට්ටුවකට ඇතුළත් කරන ලදි.

දවස් තුනක් පමණ රෝහලේ සිටින්නට තාත්තාට සිදුවිය. ඒ සිටින කාලය තුළ පරීක්ෂණ කිහිපයක් කළද වෛද්‍යවරුන් ඒ කිසිවක ප්‍රතිඵල ගැන මට කිසිවක් කීවේ නැත. ඔවුන් කළේ තාත්තාට පිරිටන් දිදී නිදි කරවීම පමණි. අන්තිමේදී තාත්තාට මහා ලෙඩක් නොමැති බව කියා, පස්සේ ක්ලිනික් එන්නැයි කියා ටිකට් කපා ඔවුහු තාත්තා ගෙදර එවුවෝ ය. ගෙදර එක්කාගෙන එන්නට පෙර තාත්තාට දිය යුතු කෑම ගැන උපදෙසක් ගන්නට දොස්තර කොහේදැයි සෙවූ විට ඇටෙන්ඩන් කෙනෙකු මගේ ඇඟට කඩාපැන්නේ 'දොස්තර මහත්තයා කොච්චර වෙලාවක් ඉස්පිරිතාලේ හිටියද? ඒ මනුස්සයට කියලා ඉස්පාසුවක් නැද්ද?' කියමිනි.

ඉන් මාස දෙකක් යන්නටත් පෙර, මැයි මාසයේ කාලකන්නි රාත්‍රියක මහ රෑ දොළහට පමණ රාජගිරියේ පිහිටි පෞද්ගලික රෝහලක සිට ඒ භයංකර දුරකථන ඇමතුම ආවේ ය.

ඉන් පසු ජීවිතය කවදාවත් කලින් තිබූ තැනට පැමිණියේ නැත.  තෙරපි සැසි ගණනාවක් සහ සෙට්‍රලින් පෙති සිය ගාණකට පසු යාන්තම් එදිනෙදා ජීවිතය ගතකරන්නට හැකි මට්ටමට Depression තත්ත්වය පාලනය කරගැනීමට මම සමත් වීමි.

නොසිතු ලෙස කාර් පිස්සුව තරමක් දුරට ජනප්‍රිය වී යාමෙන් පසුව මට තාත්තා ගැන ලියන්නට දැඩි වුවමනාවක් තිබුණද ලියන්නට හදන හැම වතාවක අර depression හැඟීම සරුපයෙකු සේම ඔළුව උස්සා මට තර්ජනය කළේ ය. අන්තිමේදී දවසක් අහම්බෙන් Professor Green සහ Tory Kelly ගයන 'Lullaby' ගීතය ඇසීමෙන් පසුව, මොන තර්ජනය මැද වුවද මේ ලිපිය නොලියා ඉන්නට බැරි තත්ත්වයක් උද්ගත විණි. 'Lullaby' ගීතයේ රූප රචනයෙන් කියවන්නේ තාත්තා නැති දරුවන් ලොකු මහත් කළ සීයෙකු ගැන වුවද, ඒ කොතැනත් ඇත්තේ එකම සෙනෙහස බව කියන්නට අමුතුවෙන් තඹ සන්නස් ලියවන්නට අවශ්‍ය නැත.



All the times I have laid in your light
When your love kept me safe through the night
All the time I was sure you were mine
And before time demands our goodbye
Can you sing me a last lullaby?




තාත්තා කවදාවත් මගේ කාර් පිස්සුවට පැන පැන පෝර දැම්මේ නැත. මා ඉංජිනේරුවෙකු කරන්නට හීන දුටු තාත්තා මියෙන තුරුම මා නිදහස් රචකයෙකු වීම ගැන හිතින් වේදනා වින්දේ ය. කාර්මික කටයුතු ගැන මෙලෝ හසරක් නොදැන සිටි මම කාර් පසුපස හඹා යනවිට තාත්තා බය වූයේ මා 'කාගේ හරි අල්ලේ නැටවේවි' කියා ය. එහෙත් කාර් සම්බන්ධ මොකක් හෝ දෙයක් ගැන මාත් සමග නැව් කොක්කක් පමණ කොක්කක් ඇදගෙන දවස් දෙකක් යන්නට මත්තෙන් තාත්තා මටත් නොකියා ඒ කාර් එකට අමතර කොටස් හොයන්නට කොහේ හෝ ඉන්නා අපතයෙකු සොයා ගියේ ය.



මොරිස් මයිනර් ගැන ආසාවක් මිස මෙලෝ අවබෝධයක් නොතිබූ කාලයක එක්තරා සැන්දෑවක තාත්තා වැඩ ඇරී ගෙදර පැමිණ මෙසේ කී අයුරු ඊයේ බැලූ චිත්‍රපටයක දර්ශනයක් සේම මට මතක ඇත.

"කොට්ටාව පැත්තේ ගෙදරක ඉස්සරහ වීදුරු දෙක තියන මයිනරයක් තියනවලු..."

වීදුරු දෙක කියන විට මට මතක් වූයේ  පසුපස වීදුරුව දෙකට බෙදී තිබූ පැරණිම මාදිලියේ ෆොක්ස්වැගන්  කාර් සහ ඉදිරිපස වීදුරුව දෙකට බෙදී තිබු පැරණිම ෆොක්ස්වැගන් වෑන් පමණි. මයිනර් වල Series MM සහ Series 2 රථවල ඉදිරිපස වීදුරුව දෙකට බෙදී පැමිණි බව මගේ මීටරයට වැටුණේ එදා දවස තුළ ය.



ඉන් පසු දවසක තාත්තා මගේ පෙළඹවීමක් නොමැතිවම ඒ මයිනරය බලන්නට ගියේ ය. එදා තාත්තා ගෙදර ආවේ සිනාසෙමිනි.

"යට බලන්න බොඩියට අත තියලා නැමෙන්න බයයි, වාහනේ සරාස් ගාලා කඩාගෙන වැටෙයි කියලා. ඒ තරමට මලකඩ...!"

ඒ වාහනය යකඩ වලට හෝ දෙන්නට නම් පරණ යකඩ කාරයෙකු ගස් බැඳ උගේ සනුහරේටම ගේම දෙන බවට තර්ජනය කළ යුතු බව තාත්තා එදා මට පෙන්වා දුන්නේ ය. කෙසේ වුවද පසු කාලයක මා ඩබල් ග්ලාස් මයිනරයක් ගන්නට පෙළඹෙන්නට ඇත්තේ එදා තාත්තා මගේ හිත තුළට දැමූ ඒ මලකඩ ගෝදාව බව මම විශ්වාස කරමි. EN 3457 හොරණින් මිලදීගෙන පානදුර ගෙනෙන්නට ලොරියට පටවන මොහොතේ මට තාත්තා මතක් විය. එදා තාත්තා හිටියා නම් කාර් එකේ ආරක්ෂාවට කියා ලොරි තට්ටුවේ නැග පානදුරයට එනතුරු එන්නට ඉඩ තිබිණි. 



මගේ පළවෙනි ක්ලැසික් කාර් එක වූ 3 ශ්‍රී 5661 බීට්ල් එක ගන්නට වගේම එය හදන්නටත්, එපා වන්නටත් දායක වුයේද තත්තාම ය. 'තව කට්ටියක් කාර් එක බලන්න ඇවිත් ඉන්නේ. එයාලගේ ඔෆර් එක හොඳයි' කියා බ්‍රෝකර් අපට නැව් කඹයක් බන්දේසියක තබා පිරිනැමූ විට මම එය දෝතින්ම බදා සුරුබුරු ගා ගිල්ලෙමි. ඒ දුර ඈත සෙනසුරාදාවේ මුදල් ගන්නට විදිහක් නොවූ තැන තාත්තා අතේ තිබුණු මුදල් සියල්ල එකතු කර මට දුන්නේ ය. කාර් එක අරගෙන එන්නටද මා සමග ආවේ ය.

අන්තිමේදී එන්ජිම ගලවා බලා සංසාරයේ කොහේදෝ ඩොටක කළ කරුමයක් පිළිසන් දීම ගැන චෑස් චූස් ගාමින් සිටියදී එන්ජිම හදාගන්නැයි කියා හතළිස් දාහක් දුන්නේද තාත්තාම ය.

ඒ දවස් වල ෆොක්ස්වැගන් හදාගැනීමේ 'ආර්ට් එක' ගැන අන්දෝ සංසාරයක් මා දැන සිටියේ නැත. 3 ශ්‍රී 5661 ලෙඩ දෙන වාරයක් ගානේ තාත්තා මාත් සමග රණ්ඩු කළේ මා මිකැනික් ලා ටින්කර් ලා ගේ ලණු ගිලින බව කියමිනි. එහෙත් අනික් අතට ඒ ලණු වලට ගෙවන්නට සල්ලි දෙන්නට ඉදිරිපත් වන්නටද තාත්තා පැකිලුණේ නැත. පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ රස්සාවක් කරමින්, සීමිත පඩියක් ලබමින් සිටි ඒ කාලයේ මගේ ප්‍රොජෙක්ට් වල තිබූ හිඟන බව අද මගේ හිත කීරි ගස්වයි. තාත්තා ගේ උදවු උපකාර නොවන්නට මට ඒ තරමට වත් කාර් පිස්සුව සංසිදුවා ගන්නට අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබිණි. නිවාඩු ගැනීම දුෂ්කර වී ඇඹරෙමින් සිටි කාලයක තාත්තා 3 ශ්‍රී බීට්ල් එකේ වයින්ඩර් පවා ගලවාගෙන ගොස් දෝෂ නිවැරදි කරගෙන මට ගෙනැවිත් දුන්නේ ය.



3 ශ්‍රී 5661 අන්තිමේදී දුර දුවන්නට හැකි ලෙස පත්තියන් වූ විට කාර් එකේ ගමේ යන්නට මා දිරිමත් කළේද තාත්තා ම මිස වෙන කවුරුවත් නොවේ. ඒ දවස් වල අධිවේගී මාර්ගය හෝ පිටත වටරවුම් මාර්ගය නොතිබූ බැවින් අප වේයන්ගොඩ ගියේ කොට්ටාවට ගොස් අතුරුගිරිය හරහා කඩුවෙලට පිවිසී එතනින් නුවර පාර දිගේ යාමෙනි. 13 ශ්‍රී 7133 ලාන්සරයේ කී වතාවක් ගමේ ගොස් තිබුණද තාත්තාගෙන් පාර අසමින් යාම මගේ පුරුද්ද විය. කලගෙඩිහේන පැත්තෙන් වේයන්ගොඩ පාරට හැරෙන තෙක්ම නුවර පාරේ එහෙමට ලස්සනක් නැතද 3 ශ්‍රී 5661 එළවාගෙන ගමේ ගිය පළවෙනි වතාව මට කිසිම දාක අමතක නොවේ.  බීට්ල් යනු දුර දුවන්නට පුළුවන් වාහන බව මට ඉන්තේරුවෙන්ම පසක් වූයේ එදා ය. ඊට සෑහෙන කාලයකට පසු 9 ශ්‍රී 5333 සමග අනුරාධපුරයේ ගිහින් එනවිට කටුනායක අධිවේගී මාර්ගයට දමා බොරැල්ලට එනතුරු ආවද ඒ එන මග දිගටම මගේ මතකයේ හොල්මන් කළේ ඒ නොදුරු නොළං අතීතයක තාත්තා සහ පවුලේ අනික් අය සමග 3 ශ්‍රී 5661 රථයේ වේයන්ගොඩ ගොස් ආ ගමනයි.

අවාසනාවකට ඒ ගමන ගැන කඳුලක් සමග මෙතැන අලවා තබා යන්නට එහි එකදු ඡායාරූපයකුදු අද මා ළඟ නැත.



It's been a while since I last dreamt
Barely remember what it's like to dream
Finding it hard to get to sleep, too stressed
And there ain't anyone to sing a lullaby to me
Pretend shit doesn't get to me
And I suffer in silence when I'm hurting
A man's problems are his own
And it's my burden
Tossing and turning, trying to get to sleep
But I find it hard to switch off when my mind's working



කාර් පිස්සුව දෙගුණ තෙගුණ වී ඉස්පාසුවක් නැතුව කාර් සොයන්නට ගත් කාලයේදී තාත්තා මට තවත් කාර් එකක් ගන්නට මුදල් දීමට ඉදිරිපත් වුණේ ය. ඒ දිනවලද අහක ඇති මූකලාන් වලට විසිකර ඉගිල්ලී නොපෙනී යනවා බලා සිටින්නට තරම් මොනරුන් මා අතේ වසා නොසිටි නිසා එය මට අසමාන සහනයක් විය. අන්තිමේදී වැල්ලවත්තේ තිබී 9 ශ්‍රී 5333 මතුවූ විට අපි එය ගෙදර ගෙන එන්නට තීරණය කළෙමු. මුදලුත් රැගෙන සාක්කියට අත්සන් කරන්නට පැමිණි තාත්තාගේ මුහුණ 9 ශ්‍රී 5333 බීටලයේ කහපාට දැක එළිය වූ ආකාරය ගැන මගේ බිරිඳ කෞශි පවා අදත් සිහිපත් කරයි. එවකට 9 ශ්‍රී 5333 රථයේ අයිතිකරු වූ සරත් කුමාර මහතා එය අපට පෙන්වීමට රෝලර් ඩෝ එක විවර කළ මොහොතේ, ඇතුළට වී නිවීසැනසිල්ලේ කුමාරියක සේ නිදා සිටි කහම කහපාට බීට්ල් එක දුටු විට, මුදල් ගැන බින්දුවක හෝ සිත් තැවුලක් තිබුණේ නම් එයද තාත්තාගේ සිතින් පහ වී ගියා විය යුතු ය.

මොරටුව හා පානදුර අතර අලුත් පාරේ එගොඩඋයන හරියට පැමිණි විට නිදහසේ ඇක්සලේටරය පාගා 9 ශ්‍රී බීටලයේ වේගයේ පරීක්ෂා කිරීමට මට අවස්ථාවක් උදා විය. එතෙක් 1960 අවුරුද්දේ හැදූ, අසාර්ථක restoration project එකකට ගොදුරු වී දුක් විඳිමින් සිටි 3 ශ්‍රී 1200 බීටලයක් පදවා තිබූ මගේ බීට්ල් ප්‍රේමය සදහටම විසිතිස් ගුණයකින් වැඩි වී ගිය මොහොත එයයි. ඇක්සලේටරය පාගනවාත් සමාගම මූදුකරය දෙවනත් වෙන්නට විසිල් කරමින්, ඇඟට පතට නොදැනී එක ඇසිල්ලකින් කාරය පැයට කිලෝමීටර අසූවේ වේගය පසුකර යන විට මම ආතල් එක දරාගන්න බැරිව ඉංගිරීසි හරුපයක්ද කියා කෑ ගැසුවෙමි.

පුතෙකුගේ සීමාන්තික සතුට දැක, ඒ සතුටට උල්පන්දන් දුන් පියෙකු නිහඬව මට එහා පැත්තෙන් සිට මඳ සිනා පානු මම ඇස් කොනින් දුටිමි.



එදා පටන් මා 9 ශ්‍රී 5333 රැගෙන තාත්තාද දමාගෙන බොහෝ ගමන් යන්නට ඇත. මගේ ජීවිතයේ ලොකුම අධ්‍යාපන ජයග්‍රහණයේදී පවා මම තාත්තා සහ කෞශිද රැගෙන BMICH ගියේ මේ රියෙනි. මා සිතන හැටියට, ක්ලැසික් කාර් ගැන තාත්තාගේ සිතේ තිබූ අවිශ්වාසය දුරු කළේ 9 ශ්‍රී 5333 යි. සුවපහසු ගමන, ඕනෑම තැනක කැපී පෙනෙන අලංකාරය පමණක් නොව, වරින් වර ළඟට පැමිණ 'ඉස්සර මගේ ළඟත් ඔයින් එකක් තිබුණා' කියන වියපත් මහත්වරුන් හෝ 'මාත් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ අයියේ' කියන කොලු ගැටවුන් නිසා තාත්තාටද ටිකක් හෝ ආඩම්බරයක් දැනෙන්නට ඇත.

මා ඉංජිනේරුවෙකු කරන්නට බැරි වූ නමුත් තාත්තා මා 9 ශ්‍රී 5333 බීටලයේ අයිතිකාරයා කළේ ය.



I've gotta take responsibility for the things I do
Find something other than negativity for my fuel
But I feed off it, even when I don't seem bothered
I hide everything that's going on inside
Guess it's been a while since I've been honest, I need help
But I deny it and even lie to myself like I'm fine


මගේ ක්ලැසික් කාර් පිස්සුව සහ අසීමිත මුදල් නාස්තිය ගැන කෙතරම් නොහොඳ සිතිවිලි තිබුණද තාත්තා හැමදාම හල්ගස්හේනට යන එන පාරේ ක්ලැසික් කාර් හෙවුවේ ය. තාත්තා වැඩකළ ෆැක්ටරිය හල්ගස්හේන නම් ගමේ පිහිටා තිබුණු අතර, එය රටේ ජනප්‍රිය වෙළඳ නාමයකට අයත් ෆැක්ටරියකි (තාත්තා අසනීප වූ විට මේ ෆැක්ටරියේ කළමකාරීත්වය සහ එහි සේවය කළ බොහෝ දෙනාත්, බාහිර සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කළ එක්තරා මහත්මයෙකුත් අපට උදවු උපකාර කිරීමට ඇසුරු සැණින් ඉදිරිපත් වූ බව මෙහි ලියා තබන්නේ තෙරක් නොමැති කෘතඥතාවෙනි). ඒ දවස් වල තාත්තා මෝටර් සයිකලයෙන් වැඩට ගියේ ගල්කිස්ස - කොට්ටාව බසය දුවනා පාර දිගේ ය. ඒ යන එන හැම වතාවකදීම සුවාරපොළ පසුකර යන විට තාත්තා ගෙදර ඇවිත් සුවාරපොළ මහේෂ්ගේ ගෙදර මිදුලේ නවත්වා තිබූ ෆොක්ස්වැගන් ගැන විස්තර මට රසකර කීවේ ය. ඊට අමතරව පාරේ 404 එකක් හෝ ඔක්ස්ෆර්ඩ් එකක් හෝ මයිනරයක් හෝ ෆියට් එකක් හෝ පරණ බෙන්ස් එකක් හෝ දුටු විට තාත්තා ඒ ගැන මතකයේ රැඳුණු හැම දේම මට කියන්නට අමතක කළේ නැත.

කොටින්ම කිවහොත් නොදැනුවත්ව හෝ මගේ හිත තුළ සදා නොනිවෙන දොළොස් මහේ පහනක් සේ කාර් පිස්සුව අවුළුවාලූයේ තාත්තා ය....



අද මඳ පමණින් අතපය දිගහැර ප්‍රොජෙක්ට් කරන විට, 9 ශ්‍රී 5333 ත් සමග දුරු කතරක යන විට, ඩබල් ග්ලාස් මයිනර් ගෙදර ගෙනෙන විට හෝ කාර් පිස්සුවේ පළවෙන ලිපි දහස් ගණනක් දෙනා කියවන විට ඒ ගැන අසන්නට හෝ බලන්නට, එදා 9 ශ්‍රී 5333 ගෙනා දවසේ එගොඩඋයනේදී මා වින්ද අමන්දානන්දය දැක  නිවී සැනසුණා සේ සිත ඇතුළෙන් මඳ සිනා පාන්නට අද තාත්තා නැත. තාත්තාට වකුගඩුවක් බද්ධ කරන්නට බැරිදැයි ඇසූ විට එක්තරා දොස්තර කෙනෙකු මගේ මූණටම කියා දැම්මේ 'තව ඕනනං අවුරුදු දෙකක් ඉඳියි. ඉතිං මොන බද්ධ කිරිලිද?' කියා ය. එක එක ඉස්පිරිතාල වල එක එක කාමර ගානේ තාත්තාගේ තනියට ඉඳිමින්, සෙල්සියස් අංශක දාහට විතර රත්වන පරණ ලැප්ටොප් එකක් තබාගෙන එන එන හිඟන වැඩය කරමින් සල්ලි හොයන්නට වේදනා වින්ද ඒ දුක්ඛ සාගර සමය මගේ හදවත සදහටම අබලන් කර දැමුවේ ය. තාත්තා බේරාගන්නට මට කළ හැකි ලබු ගෙඩියක් නොතිබූ බව ඉන්තේරුවෙන්ම දන්නා නමුත් ඉස්පිරිතාලවල ඩෙටෝල් ගඳින් තැම්බී ගිය මගේ ආත්මය එය පිළිගන්නේම නැත. ඒ නිසා අදටත් මම කොහේ ගියද තාත්තා අවසන් හුස්ම හෙලූ ඒ කුඩා කොළ පැහැති වකුගඩු රෝහල පිහිටා ඇති බොරැල්ලේ කොටා පාර මගහැර යමි.

එහෙත් අදටද 9 ශ්‍රී 5333 සමග එගොඩ උයන පසුකරන විට, සයිලන්සරයෙන් එන විසිල් හඬ සමගින් මට තාත්තාගේ මඳ සිනාව මැවී පෙනේ. ඒත් සමග, ස්පීකර වලින් මොන ගීතය ගලා එමින් තිබුණද, ඒ සියලු ස්වර යටකරගෙන ටෝරි කෙලීගේ දුක්බර හඬ මගේ තුන්සිත වසාගෙන පැතිරෙයි.

ඒ වෙලාවට ඇසට හැමදාමත් එන කඳුළෙන් ඇස් දෙක බොඳ නොවන්නට මම රේල් පාර පැත්තේ අවසර අනවසර ගොඩනැගිලි මැදින් වරින් වර අමාරුවෙන් එබෙන මහ මුහුද දෙස බලා ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කරන්නට කමටහනක් සොයා නිකරුණේ වෙහෙසෙමි....



All the times I have laid in your light
When your love kept me safe through the night
All the time I was sure you were mine
And before time demands our goodbye
Can you sing me a last lullaby?




තරිඳු ශ්‍රී ලොකුගමගේ
2017.03.21





In loving memory of Don Anuruddha Lokugamage
1956 - 2014


පසු සටහන: වෙනදා කාර් පිස්සුව ලියන්නට භාවිතා කරන 'ඩිජිටල් භාෂාවෙන්' තාත්තා ගැන ලියන්නට මට හිත දුන්නේ නැත. ආසියානු කලාපයේ රටක ඉපිද, සිංහල භාෂාව ප්‍රමුඛව කලා විෂයන් හැදෑරූ මම තාමත් ගෞරවය උදෙසා ඉහළ භාෂා පන්තියක් භාවිතා කිරීමේ සම්ප්‍රදාය නොදැනුවත්ව හෝ අනුගමනය කරමි. තාත්තා ගැන ලියූ මේ ලිපිය උක්ත ආඛ්‍යාත සම්බන්ධය හැකි උපරිමයට රැකෙන ලිඛිත භාෂාවෙන් ලියවුණේ එහෙයිනි. ඒ ගැන ඔබ අහිතක් නොසිතනු ඇතැයි සිතමි.

www.facebook.com/CarPissuwa

80 comments:

  1. තාත්තලා හැමදාමත් එහෙමයි තරිඳු. මමත් 20 ශ්‍රි ඩේලිකා වෑන් එක ගෙනාව දවසේ අපේ අප්පච්චි හරියට සතුටු උනේ මම හරියට KDH ගෙනාවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ලියාගන්න හිත හදාගන්න අමාරු තව මතක දාස් ගාණක් තියනවා සංජීව... ඇත්ත... තාත්තලා හැමදාමත් එහෙමයි...

      Delete
  2. තාත්තා නමැති මහා වංශයට කොච්චර ටීකා ලිව්වත් ඊළඟ හුස්ම එන්නේ අලුත් අරුතක් සමගය. පුත්තුන්ට හයිබ්‍රිඩ් කතාන්දර කියන තාත්තලා අතර අපේ තාත්තලා කියා දුන්නේ සිග්නල් දැම්මාම අතක් එළියට පනින ජාතියේ කතාය. වටයක් කැරකුවත් ප්ලේ එක නොයන කතාය. යකඩ ගොඩක් ළඟ ගෑණු ගොඩක් ළඟ නැති ජාතියේ ජීවන සුවඳක් අපට දැනෙන්නේ ඒ නිසා විය හැක.

    කණේ මයිල් නැලවෙන විසිල් එකකි මේ කතාව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... තාත්තා එක්ක බැඳුණු කතා කීයක් ඔයාටත් තියනවද කියලා මම දන්නවා...

      Delete
  3. Replies
    1. The memories never fade away mate... Instead they glow brighter and brighter...

      Delete
  4. මචන් අපේ තාත්තත් මගේ පළමු කාර් එකට කිසි කතාවක් නැතිව ලක්ෂයක් දුන්නා. එදා ඒ දුන්නේ අපේ තාත්තා ලග තිබ්බ අන්තිම සතේ දක්වා එකතු කරලා කිසිම කතාවක් නැතිව.
    ඉස්පිරිතාල ගැන කතා කෙරනකොට මට අදටත් මතක් වෙනවා අපේ තාත්තාව පපුවේ අමාරුවට admit කලාම මම රෑ නිදි මැරුව හැටි. Heart Beat එක stable නැතිව 5-72 දක්වා varry උනා සැරින් සැරේ. මම දෛයන්ට කියා කියා හිටියේ තාත්ත ළඟ මුකුත් වෙන්න එපා කියල

    ඔයාගේ තාත්තට මම නිවන් සුව පතනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි තනුෂ්ක...

      Delete
  5. මට අපේ තාත්තව කාරෙකක එක්ක යන්න බැරිඋනා,ඒත් අම්මව නම් හැකි උනා. මගෙ පළමු බයිසිකලය වූ CG 125 එකේ තාත්තව තියාගෙන උඩහමුල්ලෙ ලොකු අම්මලගෙ ගෙදර ගිය හැටි ඔයාගෙ කථාව කියවගෙන යනවිට මතක් උනා.එතකොට මම තනිකඩයා එදා මමත් පැ.කිමි 80 පන්නල තාත්තව දාගෙන හයිලෙවල් එකේ ගියෙ. ඒ 1985 දී.මගෙ බීට්ල් කථාව පටන් ගන්නෙ 1995 ඉඳල ඒක ළඟදිම ලියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. දශක දෙකක බීට්ල් කතාවෙත් රස මතක ගොඩක් ඇති කියලා හිතනවා...

      Delete
  6. ඇස්වල කඳුළු පුරවගෙන මේක කියෙව්වෙ, හැම තාත්තෙක්ම එක වගේ නේද දෙයියනේ කියල හිතන ගමන්. මම මොන අත්හදා බැලීම් කරල අර අමාරුවෙන් සල්ලි එකතු කරල බ්රෝකරයෙක්වත් පෝසත් කරල ගත්ත උපාලි මැස්ඩ එකට කෙල කරත් එක වචනයක් හැලුවෙ නෑ. හිනා වෙවී බලන් ඉන්නව, ගමනක් යද්දි මොකක් හරි අවුලක් නම් ලොක්කො පොඩ්ඩක් බලපං කියනව. මගෙ වාහන තනියෙන් හදන්න සහ ගැරෙජ් කාරයින්ගෙන් බේරෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒවට පින් සිද්ද වෙන්න.

    තරිඳුව උඹ ලකී තාත්ත එක්ක තමන්ගෙ කියල වාහනේක යන්න විතරක් නෙවෙයි කාර් පිස්සුව කාලයක් බෙදා ගන්නත් තාත්ත ලඟ ඉඳල තියෙනව. ඒත් මට ඒක හීනයක් විතරයි. පලවෙනි කාර් එක ගෙනත් නාද්දි වගේම අළුත් පර්ජෝ වල ආඩම්බර බලද්දි විතරක් නෙවෙයි, තාත්ත ලඟ තිබුන ජාතියෙ ටවුන් ඒස් ගෙනත් හදද්දි, පදිද්දි, තාත්තට මහවැලියෙන් දීල තිබුන ජාතියෙ ජැජරෝ එකක් ගේද්දි ඇත්තටම නැති උනත් තාත්ත පැසෙන්ජර් සීට් එකේ ඉන්නව වගේ දැනෙනව, ලොක්කො උඹ ගැන මං ආඩම්බරයි කියනව වගේ ඇහෙනව. උඹගෙ තාත්තත් අපේ තාත්ත වගේම උඹ මේ කරන විප්ලවේ දිහා කොහෙ හරි හොඳ තැනක ඉඳන් බලන් ඇති. උඹගෙ තාත්තට නිවන් සුව කියල කියන්න ඕන උනත් මම මගෙ තාත්ත ගැන ප්රාර්ථනා කරනව වගේ නිවන් දකින්න කලින් ආයිත් එක පාරක් හරි උඹේ තාත්ත වෙන්න කියල ප්රාර්ථනා කරනවා. මොකද ගොඩක් දේවල් ඇති තාත්තට කියන්න.

    හර්ෂාන්

    ReplyDelete
    Replies
    1. මෙහෙම දිග සංවේදී සටහනක් තියල යනවට ස්තූතියි මචං... මේවා අපේ ජීවිතවලින් කවදාවත් බිඳිලා යන්නේ නැති සංවේදනා...

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි මිතිල...

      Delete
  8. අනුරුද්ධ මහත්තය මට වඩා අවුරුදු කීපයක් වැඩිමල්. උන්නැහෙගෙ සිතුවිලි හොඳට ඉව කරන්න පුලුවන් උනා ඔබේ කතාව කියවද්දි....හොඳින් පළදරණ දරුවො කියන ගස් වලට හරිම ආදරෙන් පෝර දාන්නෙ තාත්තල..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට ගොඩක් ස්තූතියි...

      Delete
  9. no words to say abt fathers...they are always like this...

    ReplyDelete
  10. Thank you for the wonderful article. Long live evergreen Beetle.

    ReplyDelete
  11. මේකට නම් කොමෙන්ට් කරන්නෙ නැ කියල හිත හදා ගත්තත් අන්තිමට හැම තාත්තම මේ වගේ නේද කියල හිතුනා.පවුලේ තනියා වුන මායි තාත්තයි අතරෙ තියෙන්නෙ ටිකක් දුර සම්බන්ධදයක්. හැබැයි මන් පරණ කාර් හොයන කොට ඒව උස්සන් ඇවිලල දුක් විදින කොට බඩු හොයන එක අතාරින කොට මටත් නොදැනිම තාත්ත පිස්සුවෙන් වගේ මටත් නොකිය උදවු කලා. බස් එකේ පන්චිකාවත්තෙ ඉදන් කොරස දක්වා හැම තැනම ඇවිද ඇවිද බාස්ලත් එක්ක වාත වෙවි හැම දේම කලා.. වාහනේක මඩ බිංදුවක් තියෙනවට මගේ ඇති අකමැත්ත දන්න හින්ද හැම වෙලේම කාර් හෝදන්න පිහිදාන්න මටත් නොදැනෙන්න වැඩ කලා. ඉස්පිරිතාලෙකට පය නොතියපු අපෙ තාත්ත ගිය සතියෙ අත තුවාල උනාම හෙඩ් දාගෙන පොලිස් කාරයන්ට බැනල විනාඩි 3න් ගම්පහ පුද්ගලික රෝහලට එක්ක යන්නත් මට පුලුවන් උනා. අවු 32 ක් පරණ කාර් එකක වේගෙය තාත්තව කවදාවටක් වාඩා උද්දාමෙටත් පත් කලා.. ගෙදර ඇවිලලත් යාලුවො එක්කත් මට නැහෙන්න මගේ ඩ්‍ර‍යිවින් ගැන උදම් අනින්නෙ අතේ අමාරුවත් අමතක කරන්.. තාත්තලා එහෙමයි

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ට් එකක් දාන්න වෙලාව මිඩංගු කළාට ස්තූතියි මචං... මේවා අපේ ජීවිත සැරින් සැරේ කලත්තන සංවේදනා...

      Delete
  12. ආටිකල් එක දැම්මගමන් මම කියෙව්වත් මේකට මොනව ලියන්නද කියල ද අතේ කල්පනා කරා. තුන් පාරක් මේක කියෙව්වා. සoවේදීයි. ගොඩක් තාත්තලා එහෙම උනාට මෙහෙම තාත්තලා ඉන්නෙ අතලොස්සයි. මගේ තාත්තත් ඔය විදිහමයි තරිඳු. පවුලේ එකම දරුව වෙච්චි මගෙයි තාත්තගෙයි බැඳීම ආත්මීය එකක්. A/L කරන කාලෙ මට තුවක්කු පිස්සුවක් තිබුණා. නොවිදිනා දුක් විඳලා තාත්තටත් තුවක්කු පිස්සුව බෝකරගෙන එයා මට කාණුදෙකේ තුවක්කුවක් මගේ නමින් ගත්තා. මගේ තාත්ත්ගේ එක ඇහැක් අන්ධයි. ඔපරේෂන් එකකින් පස්සේ ඇහැ ඇතුලෙ bleed වෙන්න ගත්තා. ඒක අයින් කරන්න ගියාම නුවර රෝහලේ කාමරයක් බෙදාගන්න බැරුව නර්සස්ලයි දොස්තර බල්ලොයි වර්ජනයක් (2005).ඒත් ම වාසනාවන්තයි. තාත්ත ජීවතුන් අතර ඉන්නව. මගේ තාත්තත් එක්ක තාත්ත්ගේ ගමේ යන්න, පොඩි කාලේ තාත්ත මාව ගෙනිච්ච CD 200 එකේ තාත්තව තියාගෙන යන්න.. ලියල ඉවකරන්න බෑ. තාත්ත නැති දාට මට පේන්කිලර් ලැඩර් එකේ නගින්නවෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට ස්තූතියි මචං... ඔයා ෆේස්බුක් පේජ් එකට ලියපු කතා වලත් ඔයයි තාත්තයි අතර තිබුණු බැඳීම තදට ඉස්මතු වෙලා තිබ්බා මට මතකයි...

      Delete
  13. මගේ අත්දැකීම වෙනස්... මම හාපුරා කියලා 13 ශ්‍රී ලාන්සර් වැගන් 1400 ඊඑල් එක ගෙනා වෙලේ තාත්ත කියාපි ත්‍රීවිලර් එකක් ගත්ත නම් මීට වඩා හොඳයි කියලා. හැබැයි අද එයා පිළිගන්නවා මගේ තීරණය ලක්ෂ වාරයක් නිවැරදියි කියලා. මගේ වාහනේ හැම සතයක්ම මම හම්බ කරපුවා. රෙපයාර් එකකටවත් කෑල්ලක් හොයන්නවත් මං තාත්තව රස්තියාදු කරලා නෑ. මගේ වාහන හීනත් එක්ක තාත්තා හරිම දුරස්ථයි. ඹයා ගැන මට ඉරිසියාවක් හිතුණා.
    සංවේදී කතාවක් තරිඳු. හැමදාමත් උඹ යකඩ අස්සෙ අපිට මනුස්සකම් පෙන්නනවා. ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩිල්ශාන්... ඔයාගේ කතාව ඔයා ලියාපු දවසට අපට හිතේවි යථාර්ථයට තල කීයක් තියනවද කියන එක...

      Delete
  14. ඔහ.. මාතෘකාවයි සින්දුවයි කතාවයි තාත්තගේ ආදරයයි අපුරුවට මිශ්‍ර වෙලා මචං.. උඹව හම්බවෙන්න ආසයි. පරණ කාර් ගැන උඹත් එක්ක කතා කරන්නත් ආසයි :)

    ලොකු ලොකුගමගේ මහත්තයාට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඒ වගේම 'ලොකු ලොකුගමගේ' මහත්තයා කියන යෙදුම ඇහුවේ පළවෙනි වතාවට... හැමදාම මම පොඩි ලොකුගමගේ වුණා මිසක් කවුරුවත් එහෙම කියලා නැහැ. වචනවලින් සමහර යථාර්ථ එළියට කඩා පනින හරි හරි අපූරුයි...

      Delete
  15. හරිම සංවේදී ලිපියක් මල්ලි.
    මාත් පවුලෙ එකා යකා නිසා වාහනයක් අරගෙන පාරෙ යන්න මූට පුලුවන් කමක් නැතිවෙයි කියල හිතල ලයිසම අරන් අවුරුදු 10 ක් විතර යනකල් වාහන ගැන වචනයක් කතා කළේ නෑ. පස්සෙ කොහොම හරි වාහනේ ගත්තෙත් තාත්තගෙ සල්ලි වලින්ම තමයි. ඒකෙ රෝන්දෙ ගහල මොකක් හරි ලෙඩක් ආපුවම ඒවට වියදං කළෙත් තාත්තම තමයි. අන්තිම කාලෙ එයාගෙ ගමන් බිමන් වලට මම වාහනේ අරං යනකොට එයාට සතුටක් තිබුණ ඒ ගැන.

    මෙතන කට්ටිය කොමෙන්ට් කරල තියෙන හැටියට ගොඩක් තාත්තල එක වගේ කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා... ඇත්තටම අර 30 පැන්නට පස්සේ තාත්තලාගේ වටිනාකම තේරෙන්න ගන්නවා කියන ජනප්‍රියවාදී කියමනේ සහ ජෝක් එකේ කොච්චර ඇත්තක් තියනවද කියලා හිතෙන්න ගන්නේ මෙහෙම වෙලාවට තමයි...

      Delete
  16. උඹට වැඩිය උඹලෑ තාත්ත ගැන දුක මට බං. උඹට එහෙම තාත්තෙක් හැබෑවටම හිටිය. ඒ මනුස්සය උඹේ ජීවිතේට හයියට හිටිය. උඹට තිවිච්ච ඒ කිසිම දෙයක් මට තිවුන්නෑ යකෝ. මට උඹ ගැන පට්ටම ඉරිසියයි. ඒ උඹේ වාහන දෙක ගැන නෙමෙයි. උඹලෑ තාත්ත ගැන. මේ කතාවෙං මට මගෙ හිත ඇතුලෙ ඉන්න තාත්තව තව ටිකක් ටිංකරිං කරන්න පුළුවං. එතකොට මං කවදහරි තාත්තෙක් වෙච්චි දවසට මයෙ දරුවා ලොකුවෙලා කසාදයක් එහෙම බැඳලා මේ විදිහටම මං ගැන ලියයි.

    ReplyDelete
    Replies
    1. මම උඹේ ජීවිත කතාව දන්නේ නැහැ සුරංග... ඒ ගැන මට සිරාවටම දුකයි...
      ජීවිතේ කියන්නේ දුක අමාරුවෙන් හංග හංග, සතුට බලෙන් එළියට ඇද ඇද යන ගමනක්..
      කවදාහරි දවසක උඹේ දරුවෙක් මෙහෙම ලියපු දවසට උඹට මේ සංවාදේ ආපහු මතක් වේවි...
      ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි...

      Delete
  17. හ්ම්ම්.......
    ජයවේවා..!!

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඇස්වලට කදුළු පිරෙව්ව ගොඩක් හිතට වැදුන කතාවක්.. මගේ කතාවත් බොහෝ දුරට සමානයි.. තාත්තා හොස්පිටල් ගියාට ආයෙත් අපි ඒකක ගෙදර එන්න බැරි උනා. අන්තිමට තාත්තා නැතිවෙන දිහා බලාගෙන මහ රෑ හොස්පිටල් එකේ ඉන්න උනා

    ReplyDelete
    Replies
    1. අන්තිමට බලද්දී අපි හැමෝගෙම කතා සහ වේදනා එක සමානයි...

      Delete
  20. තාත්තා, හොස්පිට්ල් සහ දොස්තරලා මේ සියලු දෙනා එක මාතෘකාවක තබාගෙන් කතා කිරීමට මම බොහෝ අකමැති දෙයක් නිසාත්, ලොක්කගේ බොගේ කුණුහරුප කීම හොඳ නැති නිසාත් මෙයින් නවතිමි.

    සමහර විට ඉදිරියේදී දවසක හමුවෙලා කරටි කැඩෙන්න ගහල දිවේ බ්රේක් නැති වෙච්චි දවසක කතා කරමු, හිතට වදින කතාවක් !

    ReplyDelete
    Replies
    1. උඹ බොනහැටි බලා ඉන්න එකත් අපූරු අත්දැකීමක් වේවි... අපි කතාකරමු දවසක...!

      Delete
    2. උඹට සෝඩ වීදුරුවක් දෙන්නම්, බොන්න බැරි නම් 😁

      Delete
    3. නිකම්ම ඉන්නවට වඩා සෝඩා වීදුරුවක් තියන එක හොඳා තමා :)

      Delete
    4. අම්මපල්ල තොපි මාව දාලා බොන්න ගියොත් තොපේ ඉස්සරහට ඇවිත් බොනවා වහ බෝතලයක්

      Delete
    5. උඹ වහ බිව්වොත් අලුත් කාර් ගැන මගේ තියන අන්තිම උනන්දු බින්දුවත් වැනිෂ් වෙනවා...

      Delete
    6. හපෝයි කොල්ලෙක් වහ බීල මැරෙනව බලං ඉන්නේ කොහොමද දැන් මූටත් කතා කරන්නම වෙනවා :-D

      මෙන්ඩෝ යූ ආ වෙල්කම් ටො ජොයින් කිව්වා ඕං !!!

      Delete
  21. Dear Son
    What a story about Your father and your classics. I'm so proud to have very similar father . But cannot forget my mother too . They both help immensely make me happy to achieve my car dreams but sadly they are not with us but surely watching over me .
    Can remember 03 years ago my 13 year old son wants old car for his Birthday and having it .
    Anyway to contact you

    ReplyDelete
    Replies
    1. Thank you so much sir... The best part of your comment is your son asking for an old car for his birthday and getting it...

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. If you looking for a part for your beetle cannot find in back home just give me a shout

    ReplyDelete
    Replies
    1. Thank you so much, but it would be much easier if there is a way to at least know your name :)

      Delete
    2. Tharindu I'm Saman De Silva living in Europe and you can reach me on saman@chanrai.com

      Delete
  24. තාත්තා මැරුනේ මාර්තු 21 ද ? හෙටට (24) අපේ තාත්තා ගිහිල්ලා අවුරුදු 15 යි..

    මගේ කාර් එකෙත් ඔප්ටිමම් ස්පීඩ් එකේ යනකොට ඇන්ජින් එකෙන් එනවා හීනි කූඌඌඌඌ ශබ්ධයක්... ඒක අහගෙන එළවන එක නිකන් භාවනාවක් වගේ..

    මේ බාෂාවෙන් තමා ලියවෙන්න ඕනා.. විශේෂයෙන්ම තාත්තලා ගැන ලියනකොට..

    ReplyDelete
    Replies
    1. තාත්තා නැතිවුණේ මැයි 26. මධ්‍යම රාත්තිරියේ එළිපත්තේ තමයි කෝල් එක ආවේ. දැඩි සත්කාර ඒකකයේ හිටපු නිසා අපට ළඟ ඉන්න විදිහක් තිබ්බේ නෑ.

      භාෂාව ගැන මම ඇත්තටම සෑහෙන කාලයක් හිතුවා. අන්තිමට කාර් පිස්සුවෙ අනන්‍යතාවට වඩා භාෂාත්මකව තාත්තට ගරු කරන එකට වටිනවා කියලා තීරණය කළා... මම දන්නවා භාෂාවේ පන්ති පදනම බොහෝ දුරට අසාධාරණ බව. නමුත් තාත්තා සම්බන්ධයෙන් කතා කරද්දී කැරලි ගහන්න හිත දෙන්නේ නෑ.

      ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි සෙන්නා...

      Delete
  25. Replies
    1. ස්තූතියි... එතන පුංචි සටහනකුත් තියලා ආවා...

      Delete
  26. මම මේ ලිපිය කලින් කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න හිත හදාගන්න බැරි වුනා. තාත්තලා ගැන කියන කතා කොහොමත් මගෙ බොක්කට වදිනවා මගේ තාත්තගෙ කතාවෙත් මීට සමානකම් තියෙන නිසා. තාත්තගෙ කතාවත් මම ලියන්න හිතා ඉන්න නමුත් කොහොම කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරි නිසා කල් දමන එකක්.
    මේ වගේම බොක්කටම වදින තාත්තෙක්ගෙ විස්තර තියෙන්නෙ අපේ ජනුවගෙ නොහොත් හංසකිංකිණිගෙ ජනූගෙ සටහන් නම් බ්ලොගේ. ඒ තාත්තා ගැන කියවනකොටත් මගෙ පපුව දාලා පිච්චිලා යනවා. උගුරේ ඊයම් බරුවක් හිරවෙනවා. උඹත් කියවලා බලහං.
    අපේ අවුල අපි සංවේදී වැඩිවීමද කියලත් මට හිතෙනවා වෙලාවකට.
    මට කොහොමත් අබේවර්ධන බාලසූරියගෙ පියාණනී මා සිංදුව අහන්න බෑ.
    උඹ අහල තියෙනවද දන්නෙ නෑ Tom Johnsගෙ සිංදුවෙ මේ වචන ටික.

    Mem'ries don't leave like people do
    They always stay with you
    Whether they've been good or bad
    Reminds of something that you've had.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අයියා... මම ඔයා කියපු තැන්වල කරක් ගහලා බලන්නම්...
      ඔයාගේ ලිපිය ඉක්මනට කියවන්න වෙයි කියලා නම් මම හිතන්නේ නැහැ... කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එකට ලයික් දාහක් වැටුණු දවසේ මම මේ ලිපිය ලියන්න හිටියේ. අන්තිමට විසිතුන්දාහ පන්නනකල් ම මට බැරිවුණා... ඒ නිසා ඕක අකුරු කරන එකේ අමාරුව මට තේරෙනවා...

      Delete
    2. ///මම මේ ලිපිය කලින් කියෙව්වා. නමුත් කමෙන්ට් එකක් දාන්න හිත හදාගන්න බැරි වුනා. තාත්තලා ගැන කියන කතා කොහොමත් මගෙ බොක්කට වදිනවා මගේ තාත්තගෙ කතාවෙත් මීට සමානකම් තියෙන නිසා. තාත්තගෙ කතාවත් මම ලියන්න හිතා ඉන්න නමුත් කොහොම කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරි නිසා කල් දමන එකක්.///x2

      යමක් ලියන්න හදපු හැම වතාවෙම කඳුළු එක්ක බැරි නිසා නිකා හිටියා...

      Delete
    3. ඇවිත් ගියාට ස්තූතියි ලොකු පුතේ...

      Delete
  27. මට මෙකට් කෙමෙන්ට් කරන්න අකුරු හොයා ගන්න අමාරුයි ...දුමක් දාලා එන්නම්

    ReplyDelete
    Replies
    1. ගිහින් එන්ඩ මෙන්ඩ... ආසයි කියන්ඩ ඇති දේ දැනගන්ඩ...

      Delete
  28. අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ??

    ඔහුට නිවන් සුව

    ReplyDelete
  29. බොක්කටම වැදුනා...

    ReplyDelete
  30. රේඩියටරේ පුංචි ලීක් එකකින් හෙමීහිට මෝදුවෙන වතුර බිංදුවක් වගේ කඳුලු බිංදුවක් කියවන එකාගෙ ඇහේ මෝදුවෙන්න බොහොම සංවේදිව ලියල තියෙනවා...

    Hat off..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්...

      Delete
    2. //රේඩියටරේ පුංචි ලීක් එකකින් හෙමීහිට මෝදුවෙන වතුර බිංදුවක් වගේ කඳුලු බිංදුවක් කියවන එකාගෙ ඇහේ මෝදුවෙන්න// අපූරු උපමාව... ඒක කියන්න අමතක වුණා!

      Delete
  31. lassani machan mata mekata comment 1k danna therennene.

    ReplyDelete
  32. උබ අලුත් කාර් ගැන ලියනවා කියලා මට දුන්න පොරොන්දුව කඩ කරොත් ඊලග සම්මාන උළලේදී පෙරලගන ගහනවා ...

    ReplyDelete
  33. උබ සම්මානේ ගන්න වෙලාවේ අත්වල කරගැට එනකන් අත්පුඩි ගහන්න හිතුනේ ඒ සම්මානේ උබට ඇත්තටම අයිති නිසා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩා... ළඟට ඇවිත් අගය කරලා කතා කරපු එක මට ඔක්කොටම වඩා වටිනවා...

      Delete
  34. Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි උදාර...

      Delete
  35. ලබන සැරේ අලුත් කාර් ගැන ලිපියකට උබට සම්මානයක ලැබෙනවා බලන එක මගේ හීනයක් ඒක කඩ කරන්න එපා....
    ලියපන්

    ReplyDelete