සාමාන්‍යයෙන් අපි කාර් එකක් හොයන්න ගන්නකොට අපේ හිතවත්තු/නෑදෑයෝ/ඔෆිස් එකේ උන්/බස් හෝල්ට් එකේදී අපිව බලෙන් කතාවට ඇදගන්න උන්/වෙන්ඩ තරහකාරයෝ/සංසාරයේ කොතැනක හරි අපෙන් සූදුරු ඇටේක විතර වැරැද්දක් වෙලා ආත්මයක් ආත්මයක් ගානේ අපට ගේම දෙන්ඩ පතාගෙන ආපු එවුන් ඇතුළු හැම දෙනාම වගේ කියන දෙයක් තියනවා.
"අන්න අර අහවල් පැත්තේ ඔය ජාතියේ කාර් එකක් ගියා මෙන්න මේ ගානට... අපරාදේ... දැනගත්තා නම් කලින් කියනවා... කොහෙද ඉතිං...අපට කෝල් එකක් වත් දෙනවය..."
ඔන්න ඔය වෙලාවට අපේ හිතට එන්නේ මෙරුවෙක් දැක්ක පූසෙකුට දැනෙන හැඟීම වගේ හැඟීමක්. අවුරුදු දාස් ගාණක් ගෙවල්වල හැදිලා මට්ටම් වෙච්චි ජාන තියන පූසා හොඳට දන්නවා ඔය මෙරුවා අල්ලගත්තා කියලා හූනු නැට්ටක තරම් වත් වැඩක් නෑ කියලා. ඒ වගේම අවුරුදු ලක්ෂ ගාණකට කලින් කාන්තාරේ අහුවෙන අහුවෙන මැස්සා කකා යන්තං බඩ පුරෝගෙන හිටපු කාලෙන් ඉතුරු වෙච්චි ජාන මංචාඩියක් විතරත් උගේ ඇඟේ තියනවා. ඒ නිසා ඔන්න ඔහේ ඕන හූනු නැට්ටක් කියලා පූසා මෙරුවට පනිනවා.
අන්න ඒ වගේ තමා අපිත්... ඔහොම කාර් එකක් තිබ්බේ නෑ, ඕක ඔය යක්කු එක්කෝ කියන්නන් වාලේ, එක්කෝ තව ටිකක් කතාව දිග්ගස්ස ගන්න, එහෙමත් නැත්තං අර සාංසාරික රිටර්න් එකේ මේ ආත්මේ වාරිකේ පොලිය එක්ක දුන්නා කියලා හිත යටින් සන්තෝස වෙන්න කරන වැඩක් කියලා අපි දන්නවා. ඒත් එදාට අපි බස් එකේ ගෙදර යන්නේ හිටගෙන යන ගමන් හරි අර කාර් එක අරගෙන මලකඩ සූරසූර 'අපේ ජීවිතේම යකඩ බ්‍රෝ' වගේ මොකක් හරි පොර ටෝක් එකක් එක්ක ෆේස්බුක් එකේ ෆොටෝ දාන හැටි හිතිං මවාගෙන.
මටත් වුණේ ඕකම තමා...
දවසක් නෑදෑ කෙනෙකුගේ ගෙදර ගිහින් කතා කරකර ඉන්න වෙලාවක මම මේ මනුස්සයට නිකමට කිව්වා, මම බීට්ල් එකක් ගන්න හොයනවා කියලා. ඒක කිව්වා විතරයි අර හාදයා ඉන්දිකා උපමාලි ඔපෙරා සින්දු කියනවා වගේ වොයිස් එකක් හදාගෙන මෙන්න මෙහෙම කියාපි.
"හායියූ...අපරාආආආආආදේ... මේන්න මේන්න මේන්න මේ ළඟ තැනක ඔන්න ඔයින් කාර් එකක් තිබිලා හෙන අඩුවට ගියා. මට කියලා තිබ්බා නං මම කෝල් එකක් දෙනවා නේ..."
ඔන්න මගේ හිත යට පුරු පුරු ගගා නිදියන් හිටපු අර ප්‍රාග් ඓතිහාසික පූසා අවදි වුණා.
"වෙන දන්න ඒවා එහෙම මොකවත් නැතෙයි?" මම පෙට්‍රල් සුවඳට උඩු හුළඟ ඉව කරන ගමන් ඇහුවා.
"තියෙයි තියෙයි... මම කෝල් එකක් දෙන්නම් කෝ..."
ගෙදර ගියාට පස්සේ මම සති දෙකකට පාරක් විතර අර හාදයාට කතා කර කර බීට්ල් ගැන ඇහුවා. මම හිතන්නේ මගේ කරදරෙන් බේරෙන්න බැරුව මිනිසා දවසක් බත් මුලකුත් බැඳගෙන 'බීට්ල් තියනවදෝ බීට්ල් තියනවදෝ!' කියකිය බෙරිහන් දිදී අහල ගම් හතේ ඇවිදලාද කොහෙද. අන්තිමට මිනිහගේ ගෙදර ඉඳන් කිලෝමීටර් දහයක විතර දුරින් බීට්ල් එකක් දෙකක් විකුණන්න තිබිලා හොයාගත්තා කියලා මිනිහා මම කතාකරපු වෙලාවක කිව්වා.
පූසා හිතුවා මෙරුවා කාලා ඩෙසර්ටුත් කන්න පුළුවන් වෙයි කියලා...
ඉතිං මම තාත්තයි කෞශියි දෙන්නවම ඇදගෙන දවසක් පාන්දර බස් එකක නැගලා මගේ දෛවය හා ඉරණම සොයා පිටත් වුණා.
නෑදෑ ගෙදර මිනිස්සු අපට උදේට කන්න කිරිබත් හදලා තිබුණා. මම හිටියේ කිරිබත් කෑල්ල බීට්ල් එකේ හැඩේට කපලා රෝද වෙනුවට ලුණුමිරිස් තියලා කටින් විසිල් ගගහා පිඟාන වටේ තල්ලු කරන තරම් බීට්ල් ඇම්මෙන්. ඒ නිසා උදේ කෑමට ගිය විනාඩි විස්ස මට දැනුණේ දොස්තරලා දුප්පත් මිනිස්සු මැරෙන්න ඇරලා පඩි වැඩිකරගන්න කියලා උද්ඝෝෂණයක් කරන වෙලාවක ටවුන් හෝල් එක පැත්තේ ගිහිං හිරවුණා වගේ.
කාලා ඉවරවෙලා කටේ ලුණුමිරිස් ඌෂ්නේ යන්න කිරිටොපි කෑල්ලක් කටට දාගන්න පරක්කුවට මම කට්ටියට යමු කියලා බලකළා. අපේ නෑදෑයා ළඟ ගෙදරකින් ඉල්ලගත්තු ත්‍රීවීල් එකක නැගලා අපි ගමන පිටත් වුණා.
ඉස්සරලාම ගියේ අපේ නෑදෑ ගෙදරට ළඟින් තිබුණු තැනකට. ඒක ඇත්තටම අරං විකුණන තැනක්. ඒ දවස් වල මට ඕවා මීටර් නෑ. තව කාර් දෙකතුනක් මැද්දේ 1 ශ්‍රී බීට්ල් එකක් දාලා තිබ්බා. ගෙදර ගාවට ගිහිං අපේ නෑදෑයා විසිතිස් පාරක් එක එක සෘති වලට මල්ලියේ මල්ලියේ ගෑවට පස්සේ සීසර් ගේ කාලේ රෝමේ තිබ්බ වයින් පීප්පයක් වගේ පොරක් සරමක් විතරක් ඇඳගෙන පෙරලි පෙරලි වගේ මිදුලට ආවා, 'ආ අයියේ' කියාගෙන.
"මල්ලි මේකයි පොස්සගන් එක?"
"ඔවුඔවු ඕක තමා. ඔරිජිනල්. ගහපු ගමන් ඉස්ටාට්. හොඳ කන්ඩිසන්. ඉස්කෝලෙක පින්සිපල් කෙනෙක් ගේ එකක්."
"පොත්පත්, ලයිසන් ඉන්ෂුවරන්ස් හරිද?"අපේ තාත්තා ඇහුවා.
"පොත තියෙන්නේ ගම්පහට. ලයිසන් නෑ අවුරුදු දෙකකින් මයේ හිතේ..." පීප්පේ ඕනාවට එපාවට කිව්වා.
"ඉස්ටාට් කරලා බලන්ඩද මල්ලි?"
"බලන්ඩ..."
පීප්පේ පෙරලි පෙරලි ගිහින් යතුර ගෙනාවා. වාහනේ නම් ගහපු ගමන් ස්ටාට් වුණා.
බීට්ල් එකක් ස්ටාර්ට් වෙනවා, අයිඩ්ල් වෙනවා, රේස් වෙනවා ඇහුණාම අර කවදත් හිතට දැනෙන සංසාරගත චූන් එක තුන් සිත වසාගෙන පැතිරුණේ හරියට ඩෙංගු කාලෙට මදුරුවෝ එළවන්න පාර පුරා ගහන ගහන දුම වගේ. දෙයියම්පා ඒ වෙලාවට හුස්ම හිරවෙනවා!
කාර් ගැන ඒ හැටි දෙයක් දන්නේ නැති වුණාට ජීවිත කාලෙම බොයිලර් සහ වෙන මැෂින් එක්ක ඔට්ටු වෙලා පත්තියන් වෙලා හිටපු තාත්තා ඒ වාහනේ ගැන එච්චර සතුටු මූණක් පෙන්නුවේ නෑ.
"මේකේ දිරුම් එහෙම තියනවද?" තාත්තා පීප්පේ ගෙන් ඇහුවා.
"මොන පිස්සුද මහත්තයා... ටින්කරින් පොදක් නෑ..." පීප්පේ කිව්වා.
තාත්තා වීල් ආච් එකක් අස්සට අත දාලා පොඩ්ඩක් තට්ටු කළා. කොන්ක්‍රීට් ගල් ගොඩක් ගෙන්නල්ලා බෑවා වගේ මලකඩ තට්ටුවක් කඩා හැලුණා. තව ටිකක් යටට හොම්බ දාලා බැලුවම අපිට ෆ්ලෝ බෝඩ් එක අස්සෙන් ජර්මනියත් පෙනුණා මම හිතන්නේ.
අපි වීල් එකේ නැගලා ඊළඟ තැනට යන්න පිටත් වුණා. ඒත් එක්කම පීප්පේ කොහෙද එක්කන් යන්න සෙට් එකක් ආවා. එයාලගේ දෙබසින් මට ඇහුණේ මෙච්චරයි.
"විස්සක් කියනවා. එපා කරවලා දහ අටකට ගත්තැකි. අනික් පැත්තට විසි එකහමාරකට දෙන්න පුළුවන්."
ඊළඟ තැන හොයාගන්න සෑහෙන අමාරු වුණා. පාරේ තිබුණු වලවල් දැක්කම මට මතක් වුණේ අඟහරුගේ ඡායාරූපයක්. අරාබිකාරයෝ දැක්කා නං ඩෙසර්ට් සෆාරි නවත්තලා සහරා ජීප් ටික පටෝගෙන මෙහෙ එනවා. ඒ මදිවට පාරේ මොකක්ද උත්සවයක්. ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පාරවල් තියෙන්නේ ගෙවල්වල ඉඩ මදි වුණාම ටෙන්ට් ගහන්න කියලා. ඉතිං ගමන තවත් අමාරු වුණා. කොහොම හරි ටික දුරක් යනකොට පොරක් තැපැල් නයින්ටියක නැගල වලවල් බේර බේර මිරිස් පාත්තියේ යන හකරැල්ලා වගේ එනවා. පොරව දැක්ක ගමන් අපේ නෑදෑයා අඳුර ගත්තා.
"මේන් මේ එන්නේ අර මල්ලි තමා..."
මල්ලි ඇවිත් ත්‍රීවීල් එක ඉස්සරහා නවත්තලා කතාව පටන් ගත්තා.
"ඔය බීට්ල් එක මම ගත්තේ ආසාවට පදින්න. මට හරි ආසාවක් තිබ්බා බීට්ල් එකක් අරන් මොඩිෆයි කරන්න. ඒ වුණාට යාළුවෝ කිව්වා ඔරිජිනල් තියපන් කියලා. ඒ නිසා ඔරිජිනල්ම තමයි වාහනේ තියෙන්නේ, ආයේ කිසි දෙයක් වෙනස් කරලා නෑ. කොටින්ම ටයර් සෙට් එක පවා ඔරිජිනල්. මම සම්පූර්ණයෙන්ම හැදුවා. හොඳට වියදම් කළා. ලක්ෂ දෙකහමාරක් විතර ගියා මට හදන්න. කොළඹ ගිහිල්ල තමා බඩු ගෙනාවේ. වාහනේ ආයේ නෑ හොඳටම රනින්. ටින්කරින් පොදක් නෑ. අපේ තාත්තා කොරොල්ලා එකක් අරං ඉල්ලනවා. එයා ඔය පරණ වාහන වලට එච්චර කැමති නෑ. ඒකයි දෙන්න හිතුවේ..."
මේ ටික ඇහුවම මට ඉතිං මාළුකාරයා 'මාලෝ' කියනවා ඇහුණු ටොමියට වගේ ආතල් එකක් ගියා. මට ඕන වුණේ කොහොම හරි මේ මනුස්සයාගේ කටේ පාන්කඩයක් ඔබලා හරි ඉක්මනට කාර් එක බලන්න ඇදගෙන යන්නයි. භද්‍ර කල්ප හතහමාරකට විතර පස්සේ මේ යකා යාන්තං කතාව නවත්තලා තැපැල් නයින්ටියට නැගලා පිටත් වුණා. අපිත් ඒ හකරැල්ලා පස්සෙන් කන්කුන්ඩා වගේ වලවල් බේරබේර ගියා. අන්තිමට කෙහෙල් හේනක්, අන්නාසි යායක් සහ ගඳපාන ගාලක් එහෙම පහුකරගෙන අපි තැපැල් නයින්ටියාගේ ගෙදරට ගියා.
ඈත තියා බීට්ල් එක දකිද්දී මට හිතෙන්න ගත්තා මූ සමහර විට බීට්ල් එක කියලා හිතාගෙන වෙන මොකක් හරි කාර් එකක් හදන්න ඇති කියලා. මොකද පේන්ට් කරනවා කියලා වෙලා තිබ්බේ සමර ගානවා වගේ මොකක් හරි දෙයක් කියලා මට ගඳපාන ගාල් අස්සෙන් පවා පෙනුණා.
අපි වීල් එක නැවැත්තුවේ හරියටම බීට්ල් එක පිටිපස්සේ. කාර් ලෝකේ ඒ හැටි කාලයක් සැරිසරලා තිබ්බේ නැති නිසා විකුණන එකා/බ්‍රෝකර් ගේ ප්‍රේමකාව්‍ය සහ යථාර්ථය අතර වික්ටර් රත්නායකගේ සහ එයාගේ අලුත් බිරිඳගේ වයස් පරතරේ විතර පරතරයක් තියනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඉතිං වික්ටර් ආපහු බැන්දා කියලා දැනගත්තු දවසේ තමුන්ගේ අම්මලා වෙන කසාදයක් කරගත්තා වගේ අපේ එවුන් අඬන්න ගත්තු විදිහටම අපිත් තක්බීර් වුණා.
මම ආරම්භයක් විදිහට, කාර් එකේ තත්ත්වේ වටහාගන්න මෙන්න මෙහෙම කියන්නම්...
අර හැම දෙයක්ම ඔරිජිනල්ම ඔරිජිනල් කියපු කාර් එකේ පිටිපස්සේ ලයිට් දෙක මයිනර් තවුසන්ඩ් එකක ලයිට් දෙකක්... ඒවා බැරි බැරි ගාතේ පූට්ටු කරලා. (හැබැයි එදා අපි ඒක දැනගෙන හිටියේ නැහැ. ඒක මීටර් වුණේ පස්සේ කාලෙක ආපහු ෆොටෝ බලබල හිනාවෙද්දී). වාහනේ දැල් බැඳලා හිටපු මකුළුවෝ මිනිහා ඊබේ එක හරහා ඇමසෝන් වනන්තරෙන් ගෙන්නලා වෙන්න ඕනේ, මොකද ඒ ජාතියේ මකුළුවෝ මම ලංකාවේ වෙන කිසිම තැනක දැකලා නෑ. උන්ගේ දැල්වලට ගහන්න අත්කම් ලක්සලේ වත් නැතුව ඇති. බෆර් දෙක නිකං කැප්ටන් ටින්මාළු ටින් වල ලේබල් ගලෝලා සුපර්ග්ලූ දාලා අලෝලා අරියාදුවට මිටියෙනුත් කෙළියා වගේ. පරණ දිග එන්ජින් ලිඩ් එක වෙනුවට අලුත් කොට එන්ජින් ලිඩ් එකක් අටෝලා තිබ්බ විදිහ දැක්කම මට බුදුන්ගේ කාලේ ඉන්දියාවේ හිටපු බාගෙට විලි වසාගත්තු තාපසයෙක් මතක් වුණා. බැජ් එකේ VW කෑල්ල අබිමානා කාලා, ඉතුරු වෙලා තිබ්බේ 1300 කෑල්ල විතරයි. බීඩින් හරියට බබී ආච්චි දීග ආපු කාලේ ඉඳන් උන්දෑ ගාව තිබ්බ දැති කැඩිච්චි පනාව වගේ. සීට් කවර ටික දැක්කම මට හන්දියට ගිහිං හාල් ගෝනි ටිකක් ඉල්ලන් ඇවිත් සීට් වලට මගේ ගානේ දාලා දෙන්න හිතුණා. තට්ටුවක් දෙකක් දැම්මම හැලුණු මලකඩ ටික එකතු කළා නම් පෝට් සිටිය හදන්න පාවිච්චි කරන්න තිබ්බා.
අපි වැඩි කතාවක් නැතුව මේ සේරම බැලුවා. සාමාන්‍යයෙන් බීට්ල් එකක් බලනවා නම් ස්පෙයා වීල් එක තියන තැන යට සහ බොනට් එකේ යට බලන්න කියලා කවුරුහරි කියලා තිබුණා. ඒ නිසා මම තැපැල් නයින්ටියාට කිව්වා බොනට් එක ඇරලා පෙන්නන්න කියලා. මේ මනුස්සයා වාහනේ ඇතුළට නැගලා අලියෙක් අපයෝජනය කරනවා වගේ අඹපයිත්තියන් ලීලාවෙන් ඇඹරි ඇඹරි මොකක්ද වැඩක් කරන්න ගත්තා.
"මොනවද අයියේ හොයන්නේ...?" මම මේ සොකරි නාටකේ බලන් ඉන්න බැරිම තැන ඇහුවා.
"මේ... ම්... මේ... අ... මේ... බොනට් එක අරින කේබල් එක..."
ලක්ෂ දෙකහමාරක් වියදම් කරලා, ඔරිජිනල්ම විදිහට හැදුවයි කියපු වාහනේ බොනට් එක අරින කේබල් එක තියන තැන මේ ටෞකණ්ඩ අප්පුහාමිලාගේ එච්. යූ. ජී. කොල්ලා මහතා දන්නේ නෑ...
කොහොම හරි භද්‍ර කල්පයක් විතර කේබල් පාරමී පුරලා පුරලා මේ හාදයා ලිප්බොක්කට ටොකං බම්බුවක් දාලා අඟුරු කෑල්ලක් අදිනවා වගේ මොකද්දෝ කුණු මුල්ලකට අතදාලා මොකද්දෝ හින්නිපුවකක් ඇද්දා.
හැබැයි බොනට් එක හෙලවුණේ වත් නෑ...
"දැන් අදින්ඩ බලන්ඩ.." පොර ඇතුළේ ඉඳන්ම මිමිනුවා... මම එතෙක් මෙතෙක් කාපු එළවලු රොටි කොත්තු ගෝදම්බා වල හයිය හත්තිය බයිසෙප් වලට ට්‍රයිසෙප් වලට සම්ප්‍රේෂණය කරලා මෝදර සෝමේ මාදැල ඇද්දාහේ ඇද්දා.
හැබැයි බොනට් එක හෙලවුණේ වත් නෑ...
අයිතිකාර හිපාටුවා ඊට පස්සේ පොරගේ තාත්තාට අඬගහලා චිරාත් කාලයක් පැවති පිය පුතු සෙනහසේ බැඳීම බොනට් එකේ හැන්ඩ්ල් එක මත රඟතවර කරලා 'බොනට් අරින් ඩෝන් පුතා' කියලා දෙන්නත් එක්ක ඇද්දා...
හැබැයි බොනට් එක හෙලවුණේ වත් නෑ...
"මම අලුත්ම කේබල් එකක් පංචිකාවත්තෙන්ම හොයන් ඇවිත් දැම්මා... ඒක තාම හිර ඇති..." පොර දාඩිය බින්දුවක් නළලින් අරං බිත්තියට දමලා ගහන ගමන් කිවුවා...
"දැන් මේක අන්තිම කීයද කියන්නේ?" අපේ තාත්තා ඇහුවේ බ්‍රේක් නැති මයිනරයක් ට්‍රැෆික් එකේ ගෙනියන තරම් අමාරුවකින් කේන්තිය පාලනය කරගෙන.
"මේ කන්ඩිෂන් එකේ වාහනයක් ඉතින් තුනකට වැඩිය අඩුවෙන් හොයන්න අමාරුයි අයියා. මම සෑහෙන මහන්සි වුණා මේකට. සල්ලිත් ලක්ෂ දෙකහමාරකට වැඩිය යටවුණා. බොරුනම් අපේ තාත්තාගෙන් අහන්න. ඒ නිසා මට තුනකට වැඩිය අඩුකරන්න අමාරුයි."
පොරගේ තාත්තා පුතාගේ කතාව අනුමත කරන්න වගේ කටේ ඉතිරි දත් කීපය පෙන්නලා හිනා වුණා. වාහනේ හදන්න කෙසේ වෙතත් පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුළත ඒ මනුස්සයා කාපු බුලත් විට වලට නම් ලක්ෂ දෙකහමාරක් විතර යන්න ඇති කියලයි මට හිතුණේ.
අපි ඒ තාත්තාටයි පුතාටයි ආත්මයක් ආත්මයක් ගානේ මේ වගේ බීට්ල්ම ලැබෙන්න හේතු වාසනා වේවා කියලා සාදූ කියලා ප්‍රර්ථනා කරගෙන වීල් එකේ නැගලා ආපහු ආවා.
ඊට ටික දවසකට පස්සේ ආරංචි වුණා අර පීප්පයාගේ යාළුවෙක් මේක හොයාගෙන ඇවිත් පනස් දාහකට අරගෙන ගියා කියලා...
අපි මේක බලන්න ගියේ පෝය දවසක. ඒ නිසා එදා බස් අඩුයි. ත්‍රීවීල් කාරයෝ ප්‍රධාන ටවුමට යන්න ඉල්ලපු ගණන් වල හැටියට අපිට බෝල රෝසා එකක් අරං ඒක ඇතුළේ බෝල ගහන්න තිබ්බා. ඕන බීලූනු ගෙඩියක් කියලා වීල් වල නැගලා නාස්ති කරන්න සල්ලි අපට තිබ්බේ නෑ. ඉතිං අපි පැය ගාණක් රස්තියාදු වෙලා බස් එකක් එනකල් ඉඳලා ඒකෙ එල්ලිලා ප්‍රධාන ටවුමට ආවා. ඊට පස්සේ තව පැය ගානක් ලැගලා කොළඹට ආවා.
ගෙදර එනකල් අපි තුන්දෙනාගෙන් කවුරුවත් වැඩිය කතා කළේ නෑ. මම කරන පිස්සු වැඩ වලට කොච්චර හිත් අමනාපකම් තිබ්බත් මොකක් හරි දේකට යමු කියලා කිව්වම ඒ වැඩේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් වාත නොවී ගිහිං ඒමේ හැකියාව සහ පස්ස නොගහා ඕන දෙකට ඉදිරිපත් වීමේ හැකියාව අපේ තාත්තාට තිබ්බා. මේ ගතිගුණ නිසා තාත්තා අඩුගානේ දවස නාස්ති වුණාට වත් අමනාපයක් පෙන්නුවේ නෑ.
ගෙදර ආවට පස්සේ මම හිතුවේ මම ආයේ නම් මේ වගේ ගොන් වැඩ කරන්නේ නෑ කියලා.
ඊළඟ දවසේ වැඩට ගිහිල්ලා පැයක් ඇතුළත මම ආපහු ගූගල් එක ඇතුළට රිංගලා බීට්ල් හොයන්න ගත්තා...
කාර් පිස්සුව කියන්නේ ඉන්ෂුවරන්ස් වලින් කවර් වෙන්නේ නැති බරපතළ රෝගයක්. හැබැයි ඒකෙන් ඇඟ පුරා කැළැල් ගොඩගැහෙනවා වෙනුවට ජීවිතේ පුරා කතා ගොඩගැහෙනවා. මට වඩා අපූරු කතා තියන කාර් පිස්සෝ ලක්ෂ ගාණක් ලංකාවේ ඇති. හැබැයි අපි හැමෝම වගේ ඒ තිත්ත සහ පැණිරස අතර දෝලනය වෙන අමුතුම මිහිරක් තියන කතාවලට අපට ගැළපෙන විදිහට මිරිස් කුඩු ලුණු දෙහිඇඹුල් දාලා සැරින් සැරේ නැවත නැවත හපහපා රස විඳිනවා....
අද 9 ශ්‍රී 5333 එක්ක දුර ගමනක් ගිහින් වාහනේ නවත්තලා බැහැලා අඩියක් දෙකක් ගිහින් ආපහු හැරිලා බලන වෙලාවට මට මේ පළවෙනි බීට්ල් හන්ටිං සැසිය ආපහු මතක් වෙනවා. තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තුනකට කිට්ටුයි. ලාන්සර් එක විකුණලා අවුරුදු පහකට කිට්ටුයි. පළවෙනි බීට්ල් එක විකුණලා අවුරුදු හතරකට කිට්ටුයි. මයිනරේ අරං අවුරුදු දෙකකට කිට්ටුයි. 9 ශ්‍රී 5333 ට තවත් අලුත් පෙනුමක් ලැබෙන්නත් ආසන්නයි....
කාලය හරියට බීට්ල් එකක් වගේම නොනැවතී ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යනවා...!
තරිඳු ශ්‍රී ලොකුගමගේ
08.03.2017
www.facebook.com/CarPissuwa
ලොක්කො බොලාට තියෙන්නේ "පොස්සගන් ඇමේනියාවක්" , මොකෝ කියන්නෙ ගහමු පපුව හරහට හොඳ පච්චයක් "පොස්සගන් සමග වාසේ" කියල ?
ReplyDeleteඑතකොට මයිනර්? අසාධාරණ යෝජනා කරන්ඩ එපා කණ්ඩෝ...
Deleteඑහෙනං ගහපං පොස්මයිනා සමග වාසේ කියල
DeleteBeetle එක්ක Dating
DeleteMinor එක්ක Cheating
මෙන්න මෙහෙම ගැහුවොත් මොකෝ? ;)
අනේ මන්ද ඕව නං ...
Deleteමේක Volkswagen enthusiasm වලින් ඔබ්බට ගිය VW obsession එකක් කියලයි රෝග විනිශ්චයේ සටහන් කරන්න එන්නෙ. උඹට පේන හීන මොනවගෙ ඒවද?
ReplyDeleteමම වතාවක් දැකලා තියනවා ගමක් ඇතුලේ තිබිලා මට Split Beetle එකක් හම්බවෙනවා. Split Beetle කියන්නේ අර මුලින්ම ප්‍රඩක්ෂන් එකේ ආපු පිටිපස්සේ වීදුරුව දෙකට බෙදිලා තියන බීට්ල් එක...ලංකාවේ බොහොම දුර්ලභයි, තියෙන්නේ collectors ලා ගාව විතරයි. මට මතක විදිහට මම හීනෙන් දැක්කේ අළුපාට එකක් :D
Deleteපරණ කාර් වලට තිබූ සංසාරික ප්‍රේමය යටපත් කිරීමට සිදුවුනේ මාගේ බිරින්දෑවෝගේ කාර් භීතිකාව නිසාවෙනි. එනිසා පරණ වෑන් එකකින් සෑහීමකට පත්වන්නට මට සිදුවුණා . බ්ලොග් එක දැක්කහම අයෙමත් පරණ ලව් එක මතක් වෙනවා. එක නිසා මේ දවස් වල "ඉන්න ටිකේ තියෙන ආශාවල් ඉෂ්ට කරගන්න ඕන" වගේ කතා කියල ගෙදර මිනිස්සුන්ගේ මානසිකත්වය හදනවා. දිගටම ලියන්න . ජය.......සංජීව පතිරණ
ReplyDeleteමයිනරේ ගන්න ගිය කාලේ ඔය "ඉන්න ටිකේ තියෙන ආශාවල් ඉෂ්ට කරගන්න ඕන" කතාව කියලා අපේ අම්මා හොඳටම බයවෙලා හිටියේ... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි ඉන්දික...
Deleteවාහනේට කොච්චර ආස උනත් හිත ගැහෙන්නෙ බාතෲම් එකක් වත් සෙට් වෙයිද කියල අප්පා... වචනෙන් වචනෙ මෙව්ව කියව කියව හොයන්නෙ හොඳ භාණ්ඩයක් හොයාගන්න විදිහක් නෙව..
ReplyDeleteජයවේවා..!!
දැන් කට්ටිය ඉස්සරට වඩා උනන්දුවෙන් මේවා නඩත්තු කරනවා. එහෙම නඩත්තු කරන කෙනෙක් බලලා එයාගෙන් වාහනේ ගත්තොත් වරදින්නේ නැහැ. අනික ෆොක්ස්වැගන් වලට නම් අමතර කොටස් හොයාගන්න අමාරුත් නැහැ. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.
DeleteTharindu,
ReplyDeleteමේක කියවල ත්ත්ත්ගේ පැරණි බිටල් එක හදන්න හිතුන, දන්න හොද ඉලෙක්ටිෂන් කෙනෙක් ඉන්නවද?
මම හිතන්නේ වයරින් ටිකක් පරික්ෂා කරන්න වෙයි සහ අලුත් බැටරියක් දාන්න ඕනේ.
මිට අමතරව ලොකු වැඩක් නම් නෑ, දැනට මාස 3ට ඉස්සල්ලයි මම මේකෙන් ගමනක් ගියේ.
ඉන්නේ කොයි ඉසව්වේද කියලා කිව්වා නම් පොඩ්ඩක් බලන්න පුළුවන්. මම දන්න සුපිරි හාදයෙක් ඉන්නවා, හැබැයි ගිහිං කරන්නේ ෆුල් වයරින් වැඩ විතරයි.
Deleteමම ඉන්නේ කෝට්ටේ
Deleteමම පොඩ්ඩක් හොයලා බලන්නම්.
Deleteකොහෙන්ද බං ඔය වචන එන්නේ
ReplyDeleteහිතේ වචන කැලැත්තෙන තරමට කාර් පිස්සුව බොල... :)
Deleteඋපමා ටික බීට්ල් එකක් වගේම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතියි...
DeleteLove
ReplyDeleteස්තූතියි මාතේ...
Deleteදැංනං මට හිතෙන්නෙ පොස්සැගන් ගැන මලයගෙ දැනුම අප්ග්‍රේඩ් උනා වගේ බ්ලොග් වල උපමා උපමේය පාවිච්චි කරන දැනුමත් ඩබොල් එකේ අප්ග්‍රේඩ් වෙනවය කියල. හැක්..
ReplyDeleteකවුරුවත් කිවුවෙ නැද්ද තට්ටු කලාම මළකඩ වැටෙන්නැත්තං ඒක ඔරිමජිනල් බඩුවක් නෙමෙයි කියල.
හැම එකාම කියන්නේ අර ඇපල් ගන්න එවුන් නියපොත්තෙන් අනිනවා වගේ බොඩියට ටොකලා කැටලොයි හොයන්න කියලා :)
Deleteප්‍රතිචාරෙට බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...
පෝස්ට් එකේ අකුරක් අකුරක් නෑර රහ වින්දා...
ReplyDeleteපට්ට ලියවිල්ලක් මචං, මගේ ඉස්සර ලොකු අසාවක් තිබ්බා මිනි මයිනරයක් ගන්න...
ගෙදර උන්දා මනාපයක් පෙන්නපු නැති නිසා වැඩේ කෙරුනේ නැහැ...
පස්සේ මට ජීප් පිස්සුව බෝ උනා...
ඉතුරු ටික ලියාගෙන යද්දී ඒක පෝස්ට් එකක් බවට පත් වෙච්ච නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න හිතා ගත්තා...
///"හායියූ...අපරාආආආආආදේ... මේන්න මේන්න මේන්න මේ ළඟ තැනක ඔන්න ඔයින් කාර් එකක් තිබිලා හෙන අඩුවට ගියා. මට කියලා තිබ්බා නං මම කෝල් එකක් දෙනවා නේ..."///
මට මේකේ අනිත් පැත්තත් වෙලා තියෙනවා, මොකක්හරි බයික් එකක් හරි වාහනයක් හරි විකුණුවට පස්සේ "කීයටද දුන්නේ" කියල විස්තර අහලා "අපරාදේ අපේ පැත්තේ ඔයිට වඩා ගානට දෙන්න තිබුනා" කියල කියන උන් ඕසෙට හම්බ වෙලා තියෙනවා...
ඇත්ත... වාහනේ විකුණගන්නනකල් 'ඕක දෙන්න වෙන්නේ නෑ' කියලා ගෙදර උන් එක්ක තේ බොන වෙලාවටත් කින්ඩියට හිනාවෙන එවුන් විකුණුවට පස්සේ එනවා සේස පත්තරේ බැලන්ස් කොරන්න...
Deleteමිනි වල තියන සමහර නීතිමය ලූප්හෝල් අවදානම් බැලුවම ජීප් පිස්සුව වඩා හොඳා... ප්‍රතිචාරෙට බෝම ස්තූතී ලොකු පුතී...
පෝස්ට් එකක් විදිහටම දාන්න හිතා ගත්තා.//
Deleteඑල ද බ්‍රා ලියපං ලොකු
ඔක්කොටම හපං උඹේ උපමා ටික... සුපිරියි තරිඳු...
ReplyDeleteඔෆිස් එකේ තනියම හිනා වෙවී බැලුවේ. මට නං හැබැයි වාහන හොයන්න ගිහිං ඔච්චරටම ටොපි සෙට් වෙලා නෑ. අලියෙක් අපයෝජනය කරන්නෙ කොහොමද බං?
අරූ ඇතුළට වෙලා ඇඹරුණු ඇඹරිල්ල සහ නැගූ සංධ්වනි ටික අනුව අලියෙක් හෝ ඒ හා සමාන හෝ වැඩි ශරීර ස්කන්ධය සහිත ප්‍රාග් ඓතිහාසික සතෙක් අපයෝජනයට ලක්කළා වෙන්ඩම ඕනේ... :)
Deleteබොහෝම ස්තූතියි දිල්හාන්...
Hammee indala indla watuna post ekak ....
ReplyDeleteBeetle samaga waasee ....
Jaya weewaa.... !!!
බොහොම ස්තූතියි චේතිය... :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි කාර් එකක් ගන්න හොයනකාලෙ ඉක්මන් එකේ නිල් පාට B211 එකක් විකුණන්න දාලා තිබ්බා.ටොප් එකටම ෆොටෝ එකේ තියනව.කෝල් කලාම ඒ බුවා ඉතින් සුපිරි කණ්ඩිෂන් මාතියා ඔන්න ඔහොම බයිලෙ ගැහුවා.මායි තාත්තයි ඉතින් බලන්න ගියා...යනකොට අරූ ගෙදර හිටියෙ නෑ.පොරගෙ අම්මා තමයි හිටියෙ.ඒ ඇන්ටි ඉතින් අවුලක් නැතුව අපිට වාහනේ බලන්න දුන්නා.කාර් එක දැක්කම අපිට හිතුනෙ ෆොටෝ එකේ තිබුනෙ වෙනවාහනයක් වෙන්නැති කියල.බොනට් එකේ පියන තිබුන්නෑ...කාර් එක තාම ටින්කරින් කරනව.ෆොටෝ එකට වඩා සම්පූර්ණ වෙනස් වාහනයක් තිබුනෙ.
ReplyDeleteB211 බලන දවස්වල නං වාත හම්බුන්නෑ...ඊට පස්සෙ වැගන් මාෆියාව හැදිල වැගන් හොයන්න ගියාම නං ඕනි තරං වාත සෙට් උනා...බලන තරමක් වාත තමා...එක පාරක් ලස්සන වැගන් එකක් බලන්න ගියා...ඒසීත් වැඩ...ඒත් කැටලොයි නාලා...ඔක්කොම පේන්ට් එකෙන් වහල දිලිසෙන්න තියාගෙන ඉන්නව...ඇලෝවීල් සෙට් එකේ නිකන් පුස් වගේ දේවල් බැදිලා...
තව එකක් බැලුවා අංකල් කෙනෙක්ගෙ...අංකල්ගෙ වාහනේ තැන්තැන් වලට නිකන් අලි ගහල වගේ සලකුනු තියනව.ඒව පොඩි දේවල්.රුපියල් 2000යි යන්නෙ ඔයා මට 275000ක් දෙන්න මං වාහනේ ගෙදෙට්ටම ගෙනත් දාන්නං...අංකල් ඇගට ගාණක් නැතිව කියනව.
ඔය වගේ ඒව ගොඩාක් හම්බුනා...
ඊට පස්සෙ මේ ලගදි...බොරලැස්ගමුවෙ පරණ බඩු විකුණන පොට් එකක වැගන් 2ක් තිබුනා...අපි හිතුවා දැක්ක ගමන් මේව පාට්ස් වලට තමා කියල...ඉතින් අපේ එකටත් මොනා හරි කෑලි බෑලි දෙයක් තිබුනොත් අරන් එන්ඩ කියලා අපිත් එතෙන්ට ගිහින් බැලුවා.අපි බයික් එකේ ගියේ.ආවා නිකන් අතුල අධිකාරිගෙ වගේ ගෑනු කොණ්ඩයක් තියන ඩෑල් එකක්...ඌත් එක්ක තව කුඩුකාර ලයින් එකක් තියන කෙට්ටු ඩෑල් එකකුත් හිටියා.
මල්ලි මේ කාර් එක කීයද?
175000යි මාත්තයා...සුපිරි රනින්...සුපිරි බොඩි...
කාර් එකේ බොඩියෙන් 4න් 3ක්ම බලකඩ කාල.ඉතුරු 4න් 1 විතරයි සුදු පාටට තිබුනෙ.ඒකත් හද්දෙට දිරල.සැටර්න් එංජිම.එයා ෆිල්ටරේ තිබුනෙ නෑ.කෑන් එකකින් පෙට්‍රල් එන්න සෙට් කරල තිබුනෙ.ටයර් 4ම කැන්වස් පෑදිල.සයිඩ් කණ්නාඩි 1ක් නෑ.සුපිරි වාහනේ 175000යි...
අනික නං පෙනුමකට වගේ දුඹුරු පාට මලකඩ පැල්ලම් වගේ තියන බොකු ඇලෝවීල් සෙට් එකක් දාල තිබුනා...කාර් එකේ යට කොටස මලකඩ කාලා...උඩ ටිකත් පේන්ට් එක නිසා දිරුම් පේන්නෑ...ඒක නං වැඩිය බැලුවෙත් නෑ...ඒකත් සුප්පා...ඒක 375000යි.
අපේ තාත්ත කොණ්ඩයාගෙන් ඇහුව මම කොණ්ඩෙ බැදල කියලද හිතුවෙ කියල...
අරූ-මහත්තයා කොණ්ඩෙ බැදල හිටියත් එකයි කොණ්ඩෙ ලිහල හිටියත් එකයි මේක තමා ගාණ...
කොණ්ඩයාටයි කුඩුමල්ලිටයි ඉක්මනටම අංගොඩ ඉස්පිරිතාලෙ නතර වෙන්න පින්දීල අපි ආවා...
යකෝ මේ රුපියල් 50000ක් විතර වෙන ඒවට 175000ක් කියනව නං අපේ ඒව ලක්ෂ 10කට වැඩි වෙන්න එපෑ...ඒ වගේ ගොන් ආතල් දෙන එවුනුත් ඉන්නවානෙ මේ ලෝකෙ...
ලිපිය කියෙවුවම ඒ අත්දැකීම් ටික මතක් උනා...
ලිපිය නං සුපිරියි ඈ...Wish you all the best...!!!
මේ තරම් අපූරු දිග කමෙන්ට් එකක් දැම්ම එක ගැන ස්තූතියි කොටියෝ... ඇත්තටම කාර් ලෝකේ අමාරුම දේ තමයි බොරු අහෝකෝටියක් මැද්දෙන් ඇත්ත හොයාගන්න එක...
DeleteI read the story yesterday. Your writng skill is remarkable tharindu. We have had same experiences in seeking cars. Excellent..
ReplyDeleteThanks mate. Appreciate you support to both the Blog and the FB page...
Deleteටෞකණ්ඩ අප්පුහාමිලාගේ එච්. යූ. ජී.
ReplyDeleteඑච්. යූ. ජී.???
උබගේ උපමා එල ද බ්‍රා
මේ රිදම් එක තියාගන්නින්
අනිවා... ස්තූතියි මෙන්ඩප්පු... :)
Deleteඑච්. යූ. ජී.??? මේකේ තේරුම කියපන්
Deleteමම මේ විහිළුවක් කරණවා කියලා එහෙම හිතන්ඩ එපා, නරකද බේත් ටිකක් එහෙම ගත්තොත්..!?
ReplyDeleteඋඹ කවදා හරි මැරෙන්නෙත් බීටල් මලකඩ වලින් පිට ගැස්ම හැදිලා... :D
මමත් මේ සීරියස් කියන්නේ... මම හිතාගෙන ඉන්නේ අවුරුද්දක් විතර බීට්ල් එකක් නැතුව ඉඳලා බලන්න, කොහොමද ඒක මගේ ජීවිතේට බලපාන්නේ කියලා බලන්න... මට ඇත්තටම මාර කුතුහලයක් තියනවා ඒ ගැන...
Deleteඔව්, ඒක හොඳ බෙහෙතක් වේවි... :D
Delete"ඕනැම දෙයක් ඕනැවට වඩා ඕනැම නැත" කියලා කවුදෝ පඩියෙක් කියලා තියනවා..
එක්කෝ අලුත් කතා ගොඩක් හැදෙයි, නැත්තං මට සාංකාව හැදෙයි :D
Deleteමෝදර සෝමේ මාදැල ඇද්දා මදිවට අලියෙකුත් අපයෝජනය කරල නොවැ..
ReplyDeleteසෝමේ ඔහොම හිටියට ජයිගාන්තික වලා ;)
Deleteපන්ති ගිහින් ඇවිත් බත් එකත් අරන් වාඩිවෙලා බ්ලොග් එකට ලොග් උනා....විශ්වාස කරන්න ,,,මේ කොමෙන්ට් එක දාද්දිත් මන් තාම බත් ඇටයක් ඇල්ලුවේ නෑ බත් එකේ...උපමා ටික නම් ටොපේ ටොප් ..
ReplyDeleteබොහොම ස්තූතියි රොෂේන්... :) කොයිවෙලේ හරි හැබැයි ඔයාගේ ගෙදරින් මට බනිනවා, කන්නවත් දෙන්නේ නෑ කියලා :D
Deleteඅනර්ගයි.. ටින් බොඩි.. මම කිව්වේ පොස්ට් එක..
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteකාර් පිස්සා බලල මටත් දැන් ටිකක් පිස්සු... එත් ඒ පිස්සුව කොච්චර ලිව්වත් වෝක්ස් වැගන් බීට්ල් ගැන නම් නොවෙයි.... මගේ හීනය මිනි මයිනර් ගැනයි..... පාරේ යනවා දැක්කොත් නොපෙනී යනකල් බලන් ඉන්න හිතෙනවා......හරියට අර දැනට අවුරුදු 25 කට විතර ඉස්සර ක්ලාස් ඉවර වෙලා බස් එකෙන් බැහැල යන....( නෑ නෑ ඕව දැන් වැඩක් නෑ)
ReplyDeleteකාර් වර්ග දෙකක් වුණාට පිස්සුව ඉතිං එකම මූලයෙන් පැනනගින එකක් නේ... ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සමන්... (අර අවුරුදු 25 කට ඉස්සර කියලා පටන් ගත්තු එකත් ලියලම ඉවර කළා නම් මරු).
Deleteඅලුත් කාර් ගැනත් ලියහන්කෝ
ReplyDeleteකට්ටිය වැඩිපුර උනන්දු මේවා ගැන නේ බං..
Deletehttp://amarinsachithra.blogspot.com/2017_03_01_archive.html
ReplyDeleteඅමරින්ගේ ආ ගිය කතා.....
මෙන්න මේකත් බ්ලොග් රෝලට එල්ල ගනින්
ස්තූතියි මෙන්ඩො...
Deleteඋඹේ උපහැරන ගෙනහැර දැක්වීමේ හැකියාවනම් විශ්මිතයි..
ReplyDeleteඉඩං ගන්න ගියාමත් ඔය සන්තෑසියමයි.. :-)
බොහොම ස්තූතියි මනෝෂ්. ඉඩම් කෙළිය නම් මීටත් හපන් ඇති කියලයි මට හිතෙන්නේ.
Deleteඑළ! භාෂාව අලංකාරයි , වශීකෘතයි , ලගන්නා සුළුයි! උපමාව උපමේය ; සද්ධර්ම රත්නාවලීය සිහිගන්වයි. කථාව සුන්දරයි ! අත්දැකීම අතිබිහිසුනුයි ලොමුඩැහැගන්වයි ! මචං මමත් යකඩ ප්‍රේමියා .උඹේ කතාව හරියට මම හැම ඉරිදටම පවුලට කියා හදාගෙන ගෙදර කුස්සියේ පැත්තේ තියෙන දම් රෝ පුටුවේ වාඩිවෙලා වෙලදිහා බලාන අතේ තියාන කන උනු බත් පිඟාන වගේ. ඒකෙ තියෙන්නෙ සුදු හාලේ බතුයි , සුදට හදපු අල, දෙල්,මඥ්ඥොක්කා කොස් වගේ එකකුයි කලවම් මැල්ලුමකුයි බල කරෝල කැලි දෙකකුයි! මචන් මට නම් සියළු රස එතන !
ReplyDelete//ඒකෙ තියෙන්නෙ සුදු හාලේ බතුයි , සුදට හදපු අල, දෙල්,මඥ්ඥොක්කා කොස් වගේ එකකුයි කලවම් මැල්ලුමකුයි බල කරෝල කැලි දෙකකුයි!// ඔන්න ඉතිං මේ බඩගින්නේ වැඩකරන වෙලාවේ කොළා වැඩක්!!!
Deleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි මංජුල...