බසවක්කුලම ඉන්නේ දුකෙන්...
අනුරාධපුරේ ජන කෞතුකාගාරයෙන් එළියට ඇවිත් 9 ශ්‍රී 5333 ත් එක්ක හෙමින් හෙමින් බසවක්කුලම පැත්තට ඇදෙද්දී ඒ පුංචි වැව ගැන මගේ හිතේ ඇඳිලා තිබුණු චිත්ත රූප එක එක බිඳිලා යන්න පටන් ගත්තා.
අනුරාධපුර සංචාරය යන්නත් කලින් අපි හීන දැකපු දෙයක් තමයි බසවක්කුලමේ වැව් බැම්ම පාරේ බීට්ල් එක අරන් යන එක. මොකද බීට්ල් එකක් කියන්නේ සුන්දර පරිසරයක් මැදින් වැටුණු පාරක් තවත් සුන්දර කරන්න පුළුවන් අපූරු මිනිස් නිර්මාණයක් නිසා. සැහැල්ලුවෙන් අන්තර්ජාලය උඩින් පියාඹන වෙලාවක ගූගල් ඉමේජස් උඩ වහලා පියාපත් විහිදලා බලන්න, ඔයා ඕන තරම් දකීවී නෙත ඇලවෙන හද සෙලවෙන හිත නවතින ඉබි රූප...
ෆොක්ස්වැගන් එයාර්-කූල්ඩ් එන්ජින් වලින් එන්නේ සාමාන්‍ය එන්ජින් වලින් එන, කාර්මික විප්ලය හමුවේ ඊට කලින් තිබ්බ සමාජ සංස්කෘතික ආර්ථික පදනම් කැඩිලා ගිය බව හඟවන යාන්ත්‍රික සද්දේ නෙමෙයි. ස්වාභාවික පරිසරයට මුසුවෙලා ඒ සුළං රැලි, කුරුලු කූජන, පොළවේ සුවඳ සහ තුරුලතා වල නැළවිල්ල එක්ක අනන්තාපරිමාණ විශ්වයේම කොටසක් බවට පත්වීමේ හැකියාව ෆොක්ස්වැගන් එන්ජිමට තියනවා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් අර බීට් සයිලන්සර් කරපු කාර් දිහා 'තෝ අපාගත වෙය' බැල්මෙන් බලන වියපත් මිනිස්සු පවා ෆොක්ස්වැගන් එන්ජිමේ සද්දේ ඇහුණාම බලන්නේ අතීත මතක ඇවිස්සුණු නොස්ටැල්ජික සෙනෙහසකින්.
මේක මම එදා සහ පහුවෙනිදා ථූපාරාම පාරෙදි, ඉසුරුමුණිය ගාවදි වගේම පූජා භූමියේ අනික් හැම තැනදීම හොඳට දැක්කා. මට ඕන වුණේ මේ අපූරු අත්දැකීම බසවක්කුලම ගාවදිත් විඳින්න.
බසවක්කුලම කියන්නේ ශ්‍රී ලංකාවේ වාරි සංස්කෘතියේ ආරම්භය. ඒක හැදුවා කියන්නේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ. රජතුමාට මේකට නම තිබ්බේ අභය වාපී කියලා බව ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මම ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ 90 දශකයේ මේක පෙළපොත්වල තිබුණා. දැන් තියනවද කියන්න මම දන්නේ නැහැ.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියේ බසවක්කුලම ගැන ලස්සන විස්තරයක් තියනවා. (මටත් පුදුම හිතුණා. සාමාන්‍යයෙන් රජයේ ආයතන වල මේ වගේ දේවල් විධිමත් සිංහල භාෂාවකින් දක්වලා තියෙන්නේ හරිම කලාතුරකින්. ඒ නිසා මේක ලියපු කෙනාට ගෞරවය යා යුතුයි). ඒ විස්තරයට අනුව අක්කර 265 ක වපසරියක් පුරා පැතිරුණු බසවක්කුලම වැවේ ජල ධාරිතාව අක්කර අඩි 1910 ක්. වැව් බැම්ම අඩි 3900 ක් දුරට විහිදෙනවා. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15.5 යි ලු. නමුත් මුළු වැවටම තියෙන්නේ එක සොරොවුවයි.
wikimapia.org |
අවංකවම කිව්වොත් බසවක්කුලම කියන්නේ ශ්‍රී ලංකාවේ වැව් සංස්කෘතියේ අග්‍ර ඵලයක් නෙමෙයි. දැනට තියෙන ඓතිහාසික සාක්ෂි අනුව බැලුවොත් ඉතිං ඒක පළවෙනි වැව නේ. පළවෙනි වැව හොඳම වැව වෙන්න කොහොමටවත් විදිහක් නැහැ. නමුත් ආරම්භක ලක්ෂය විදිහට බසවක්කුලම ආදරයට ගෞරවයට ලක්විය යුතුයි කියලා මම හිතනවා. හරියට අපි අර ප්‍රඩක්ෂන් කාර් වල ප්‍රොටෝටයිප් වලට කෙළ හලනවා වගේ. ෆොක්ස්වැගන් එකේ ප්‍රොටෝටයිප් එකක් දැක්කම ෆොක්ස්වැගන් පිස්සෝ බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අමතක වෙනවා. ඒ ප්‍රොටෝටයිප් වල අඩු තරමින් පිටිපස්සේ වීදුරුවක් වත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ vents ටිකක් විතරයි. ඒත් ඒ vents වල අමුතු aggressive ගතියක් තියනවා.
නමුත් අවාසනාවට ප්‍රඩක්ෂන් එකට යද්දී ඒ vents ටික වෙනුවට කඳුළු බින්දු දෙකක් වගේ වීදුරු දෙකක් දාන්න සිද්ධ වුණා. ඒ විදිහට තමයි අපි ගොඩක් දෙනෙක් කොන්දේසි විරහිතව පෙම් කරන, ඒත් අපි ගොඩක් දෙනෙකුට කිසිදාක ලබන්න බැරි ස්ප්ලිට් ටයිප් බීට්ල් එක බිහිවුණේ.
කොහොම වුණත් ප්‍රොටෝටයිප් වලට ස්ප්ලිට් ටයිප් වලට ලැබෙන ආදරේ බසවක්කුලමට ලැබෙන්නේ නැහැ.
ලංකාවේ වැව් ගැන බොහොම ආවේගශීලී පොතක් ලියලා තියනවා උදුල බණ්ඩාර අවුසදහාමි කියලා කෙනෙක්. මෑත කාලීනව වැව් ගැන ලියැවුණු එකම පොත ඒක වෙන්න පුළුවන් (මම වැරදි නම් මාව නිවැරදි කරන්න. මම හිතන්නේ ජේ. බී. දිසානායක මහත්මයා මොකක් හරි ඉංග්‍රීසියෙන් ලිව්වා. එතුමා ඉතින් විශේෂ ව්‍යාපෘති වලට පොත් ලියන කෙනෙක් නිසා ඒ පොත් හුදී ජනයා අතට පත් වෙනවා අඩුයි නේ).
අවුසදහාමි මහත්මයා කරලා තියෙන්නේ ලොකු සේවයක්. නමුත් පොතෙන් පේන හැටියට එතුමාට තියන ලොකුම ගැටලුව තමයි වරින් වර තලමල් සයිස් එකට දෙකේ හතරේ මට්ටමට මල පැනීම. හැම පරිච්ඡේදෙකම වගේ එතුමා ඉස්සරලාම යටත් විජිත කාලේ විද්වතෙක් ලියපු දෙයක් උපුටලා දක්වනවා. ඊට පස්සේ වැවේ සැකැස්ම ගැන බොහොම සාරගර්භ විස්තරයක් කරනවා. වැඩේ පල දරාගෙන එනකොට 'යකෝ සුද්දෝ අපේ රට කෑවා යකෝ' කියල එතුමාට තනියම හිතලා මල පනිනවා. ඊට පස්සේ 'ආණ්ඩු මේකට මොකුත් කළේ නෑ යකෝ' කියලා තනියම හිතලා මල පනිනවා. අන්තිමට ශාස්ත්‍රීය දෙයක් ඉගෙන ගන්න කියලා පොත අතට ගන්න අපි එතුමාගේ කේන්තියෙ මඩ වතුරින් නැහැවිලා තෙමිච්ච සැවුලෝ වගේ පොත පැත්තකින් තියලා 'මොකද්ද බං ඒ වුණේ' කියලා තොන්තුවාවෙන් ඉන්නවා. කොහොම වුණත් ලංකාවේ වැව් සංස්කෘතිය ගැන වැදගත් දේවල් කීපයක් මම එතුමාගේ පොතෙන් ඉගෙනගත්තා. ඒකට එතුමාට ගෞරවය ලැබෙන්න ඕනේ.
මේ දැනුම් ඩිංගිත්ත තුරුල් කරගෙන මම 9 ශ්‍රී 5333 ත් අරන් බසවක්කුලම පැත්තට ගියේ කාර් එක වැව් බැම්ම පාරට දාලා ඒක දිගේ ඩ්‍රයිව් කරන එකේ ආනන්දය විඳින්න. වැව් තලාව ඉඹගෙන එන හීල් හුළඟ මුමුනන මිමිනිල්ලයි නාඳුනන කුරුළු සංධ්වනි වල අනන්ත ස්වර රටා පෙළයි බීට්ල් එකේ හදවතින්ම එන විසිල්මය ගීත නාදයි මුහුවෙන අපූරුව අහන්න.
අපි යනකොට වෑන් මහ ගොඩක් එතන පාක් කරලා තිබ්බා. කොහේ හරි වෑන් මහ ගොඩක් තියනවා කියන්නේ සාමාන්‍යයෙන් එතන කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඔහේ ඕන එකක් කියලා මම එහාට කපලා වැව් බැම්ම පාරට කාර් එක දාන්න තැනක් හෙවුවා.
වැව් බැම්ම වහලා කොන්ක්‍රීට් කනු දාලා...
වැව් බැම්ම පාර පටු කරලා ඒක ජොගින් ට්‍රැක් එකක් වගේ ගල් අතුරලා හදලා...
මම කුණුහබ්බ නොකිව්වේ පූජා භූමිය නිසා...
ඔන්න ඔහේ ආපු එකනේ කියලා කෞශියි මායි අපේ යාළුවයි තුන්දෙනා ඉඩක් ලැබුණු තැනක කාර් එක පාක් කරලා වැව් බැම්මේ ඇවිදින්න ගියා. සාමාන්‍යයෙන් කොල්ලෝ කුරුට්ටෝ ගැවසෙන තැන්වල කාර් එක පාක් කරන්න මම බයයි. ආසාවට බලන එවුන්ට අමතරව ලබාගන්න බැරි දේවල් වලට කෙළවිලාම පල කියලා හූරන එවුන් ලෝකේ කොහෙත් ඉන්නවා. ඒ වගේම අනුන්ට කෙළවීම තමන් සතු අයිතිවාසිකමක් කියලා ලාංකිකයෝ හිතන බව තේරුම් ගන්න සමාජ විද්‍යා පර්යේෂණ කරන්න ඕනේ නැහැ, ෆේස් බුක් එකට විනාඩියකට ගොඩවෙලා ආවා නම් ඇති. ඒ නිසා කාර් එක දිහා හැරිහැරී බලබලා මම වැව් බැම්ම දිගට ටික දුරක් ඇවිදන් ගියා.
අපි ගියේ ටිකක් වැස්ස අඩු කාලෙක. ඒ නිසා වැව හිඳිලා. රළපනාවේ වතුර ගෑවෙන්නේ වත් නැති තරමට වතුර අඩුවෙලා. ඒ වුණාට නාන්න තරම් වතුර ඩිංගක් ඉතුරුවෙලා තිබ්බා. ඉතින් ඉතුරු ටික කියන්න අවශ්‍ය නැහැ නේ. අර වෑන් වලින් ආපු ගෑනු මිනිස්සු ළමයි කෑ ගගහා, හූ තියතියා නානවා. තව කට්ටියක් හිඳුණු වැව් පතුලේ ඉඳන් වතුර තියන වලකට බාල්දි ඔබලා වැල්ලේ ඉඳන් නානවා. පොඩි එවුන් යටි ගිරියෙන් මර හඬ දෙනවා. ඒවා බලබලා උන්ගේ අම්මලා අර 'මේවා බලබල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි' වගේ හෙන ආඩම්බරෙන් කැකිරි පලනවා. ඒ අතරේ තව පිරිමි ටිකක් වැව් බැම්මේ ලගින්න පුළුවන් අස්සකට රිංගලා ලැගගෙන ඒ කැකිරි පලන අම්මලා දිහා බලාගෙන හිතෙන මොනවද පලනවා...
මට එතනින් එහාට ඉන්න හිත දුන්නේ නැහැ. කෞශි තව ටිකක් දුර ඇවිදලා එමුයි කියද්දීත් මම හැරිලා එන්න ආවා. 9 ශ්‍රී 5333 මගේ හිත හදන්න වගේ හීනියට විසිල් එකක් ගහලා අපිව රුවන්වැලි සෑයට එක්කන් ගියා. ඒ යන මීටර් සීයේ දෙසීයේදී තමයි මම කෙල්ලෙක් දඩ ටිපර් එකක් එළවනවා දැක්කේ. ඒ කෙල්ල මට යන්න නොදී පාර හරස් කරගෙන හිනාවෙවී බීට්ල් එක දිහා බලාගෙන හිටියා. පූජා භූමිය පැත්තට වැඩිය ක්ලැසික් කාර් එන්නේ නැති නිසා කෙල්ලට බීට්ල් එක මැජික්. කෙල්ලෝ කොළඹ පැත්තේ ටිපර් එළවන්නේ නැති නිසා කෙල්ලව මට මැජික්. අන්තිමට ඒ බැල්මේ සන්තෝසෙට මට එක මොහොතකට බසවක්කුලම අමතක වෙලා ගියා...
ඒ වුණාට මගේ හිතෙන් බසවක්කුලම යන්නේ නැහැ. ඔය අම්මලා තාත්තලාගේ සල්ලි වලින් පරාටා කකා සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් මරාගන්න ෆේස්බුක් එන කාටවත් රටේ වාරි සංස්කෘතිය ගැන තඹ දොයිතුවක ගානක් නෑ. අනික් අතට අතීතය එක්ක බොහොම ගානේ-මිම්මේ ඇයි-හොඳයියක් තියන මම ලංකාවේ පැරණි වාරි සංස්කෘතියට පුදුම විදිහට ආදරෙයි. මේ රටේ අපි දන්න ඓතිහාසික සංස්කෘතිය අවුරුදු දෙදාස් ගාණක් පැවතුණේ ඇල දොල වැව් ගංගා මහමූදු හින්දා. අනුරාධපුර පොළොන්නරු ශිෂ්ටාචාර බිහිවෙච්ච වියළි කලාපයේ මිනිස්සුන්ට වැව් නොබැන්දා නම් ගොවිතැන් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වුණා නම් ශක්තිමත් ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. එහෙම ශක්තිමත් ආර්ථිකයක් නොතිබ්බා නම් ශක්තිමත් සංස්කෘතියක් හැදෙන්නේ නැහැ. එහෙම වුණා නං අද කට්ටියට බෙදිලා මරාගන්න ඉතිහාසයක් බිහිවෙන්නෙත් නැහැ. මං සමාජවාදියෙක් නෙමෙයි. මං අමු ධනවාදියෙක්. ඒ වුණාට ඔළුවක් තියෙන ඕනෑම හෝතඹුවෙකුට මේ ටික තේරෙන්න ඕනේ.
කොහොම වුණත් මම ඔය අනං මනං ගැන හිතනවට බීට්ල් එක කැමති නැහැ. ඒ නිසා එතනින් එහාට මම බසවක්කුලම ගැන හිතන වාරයක් ගානේ බීට්ල් එක මොකක් හරි ශිල්පයක් දක්වලා මගේ හිත ආපහු එයාගේ පැත්තට ඇදගත්තා. ඒ ගැන විස්තර සේරම අනුරාධපුර සංචාරය ගැන මම කලින් ලියපු ලිපියේ තියනවා. නමුත් බසවක්කුලම ගැන හිතේ ඇඳුණු සහේතුක හෝ අහේතුක වේදනාව එහෙම ලේසියෙන් මගේ හිතෙන් යන්නේ නැහැ. කවදාහරි දවසක කවුරු හරි කෙනෙක් රටේ වාරි සංස්කෘතිය ගැන අධ්‍යයනයක් කරලා, ඒවා රටේ මිනිස්සුන්ගේ භාවාතිශය හැඟීම් අවුස්සන දේශපාලන ව්‍යාපාරවලට ඉන්ධන විදිහට යූස් කරන්න දෙන්නේ නැතුව, මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් ජනගත කරලා රටේ ආර්ථික උරුමය ගැන කතිකාවක් ඇතිකරනවා නම් මට එච්චරයි.
එදාට මා ගාව බීට්ල් එකක් නොතිබ්බොත් බීට්ල් එකක් අලුතින් අරගෙන හරි මම ඔය වැව් ටික සේරම බලන්න යනවා. මොකද වැව් කියන්නේ රටේ සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වෙනවා වගේම බීට්ල් කියන්නේ මගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් නිසා...
www.facebook.com/CarPissuwa
ape atita urumayan gena oyage hite tiyana hegim gena adambarai sahodaraya.ape minissu oya ten walata yanne atal ganna witarai.ekai kanagatuwata karane.
ReplyDeleteඇත්ත. ඔය කට්ටිය දෙන ලොකු ටෝක් මහපොළොවට කිසි සම්බන්ධයක් නැහැ... ඒක ඇත්තටම කනගාටුවට කරුණක්...
Deleteප්‍රතිචාරයට බොහොම ස්තූතියි චන්දිම...
වැව් හදන්නැතුව කාර් හැදුවනම් අපිට මීට වැඩිය කලක් යන්න තිබුනා...
ReplyDeleteලංකාව කියන්නේ කවදාවත් කාර් හදන්න පුළුවන් රටක් නෙමෙයි, එකලස් කරනවා මිසක්. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සෙන්නා. කාලෙකින් මේ ඉසව්වේ දැක්කේ :)
Delete
Deleteඇයි කාර් හදන්න බැරි...??
පහුනු ටිකේ රටෙත් නෑ බන්.. ඉතින් බ්ලොග් බැලුවෙත් ටකා ටිකා ක්‍රමේට..ඵහෙම නැතුව මේක අතෑරලා දාන්න පුලුවන් බ්ලොග් එකක් නෙමේ. සොරි වෙන්ඩ ඕනා..
වැව් බැම්මක බීට්ල් එකේ විසිල් එක ගහන එක....
ReplyDeleteඒකත් නියමෙට ඇති....
කරලම බලන්න ඕනේ...............
මම කන්ඩලමේ වැව් බැම්මේ හවස් යාමෙක ගොම්මනේ කිව්වොත් හරියටම හරි කවදාවත් අමතක නොවන අත්දැකීමක් විදල තියෙනවා...
කරලා බලන්න. කණ්ඩලම පැත්තේ වුණේ මොනවාද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි ලියන්න පුළුවන් දෙයක් නම් ලියපන් කොල්ලෝ...
Deleteලංකාවෙ අයට වැව් වටින්නේ නාන්න. ට්‍රිප් යන්නෙ ගෑනිගෙනුයි ළමයිගෙනුයි මිදිලා කොහෙට හරි වෙලා බොන්න. ගෑනිත් බලන්නෙ ළමයි ටික කොතනකට හරි දාලා කයිවාරු ගහන්න. ළමයි බලන්නෙ අම්මලගෙං බේරිල නටන්න. තවත් එවුං යන්නෙ ෆොටෝ ගහල ෆේස්බුක් දාන්න. ඒ අවට සංස්කෘතියත් එක්ක බැඳිච්ච ජීවිත, සතා සිව්පාවා, සිතුවිලි කාටවත් ඕනිකමක් නෑ. අනුරාධපුරේ යද්දි කවුරුවත් වාහනේ නවත්වල කුඹුරක වැඩ කරන මිනිස්සු එක්ක, පුට්බයිසිකලේ නැගල වැඩකට යන මිනිහෙක් එක්ක කතා කරන්න, කාටවත් වැදගැම්මකට නැතුව කැඩිල බිඳිල ගිය මෑතකාලීන පුරාවස්තුවක සැඟවුනු කතාව හොයන්න කාටවත් ඕනැ නෑ. හැමෝම ට්‍රිප් යන්නෙත් වට්ටෝරුවට. කෙලින්ම රුවන්වැලි සෑය, මිරිසවැටිය, ශ්‍රී මහ බෝධිය ආදී ප්‍රධාන ස්ථාන විතරයි. කට්ට අවුවෙ සෙරෙප්පු නැතුව කකුල් පිච්චෙන ගමං බලහත්කාරෙං පුප්පපු මලක් ඔය චෙත්තියකට පූජ කරල කවුරුවත් සතුටක් ලබන්නෙ නෑ. ඒ වුනාට අනික් අය කරන හිංදා කරනවා. හැබැයි ඒවට යන අතරමග තියෙන සමහර දේවල් සෑහෙන ඉන්ටරෙස්ටින්. කෙටියෙන් කියතොත් බසවක්කුලම වැවට වඩා ටිපර් එළවන කෙල්ල ඉන්ටරෙස්ටින්. සමහර විට එයා එක්ක කතා කළානම් එයාගෙ කතාව මෙයිටත් වඩා ඉන්ටරෙස්ටින් වෙන්න තිබුණා.
ReplyDeleteමෙයට උදාහරණයක් කියන්නම්. අපි දෙන්නා පහුගිය කාලෙ කතරගම හරහා කිරින්දෙ ගියා. ඒ ගමනෙ ඉන්ටරෙස්ටින්ම කොටස්
1) කිරින්දට යන අතරමග පාර අයිනෙ ගෙදරක ගෘහස්ථ කේටරින් එකෙන් ගත්තු ප්‍රයිඩ් රයිස් දෙක පාර අයිනෙ වාහනේ නවත්තල ඉඳන් කාලා දෙන්නගෙං බාගෙ ගානෙ ඉතුරු කරලා පාරෙ යන සුනඛයෙක්ට ෆුල් ප්‍රයිඩ් රයිස් එකක් දීම. බඩ ගෙඩිය වනවනා හිනාවෙවී යන එයා දැකල අපේ බඩවල්වල ඉතුරු බාග පිරුණා.
2) ඒ අතරමග වැල්ලවායට එන්න තිබුණු මහ විසාල මහවිකාර අලුත් කොන්ක්‍රීට් පාරෙ රැලි හිංදා ටයර්වල මහා අඳෝනාව නිසා රෝද හතරෙම හුලං ගියා කියා බයවී නවත්තලා බලලා අපිටම හිනාවීම.
හොඳ පොයින්ට් එකක්, හැබැයි බසවක්කුලම ඉස්සරහ පාර හෙන පටුයි. ඒ නිසා ටිපර් එක නැවැත්තුවා නම් මට පිටිපස්සෙන් ආපු එවුන්ගෙන් සඟිස්කුරුත තමයි අහන්න වෙන්නේ. නැත්නම් ඔයා හිතනවද මම ඒ කෙල්ල එක්ක කතා නොකර ඉඳී කියලා කීයටවත්? මම මේ හිත හිතා ඉන්නේ එයාව දන්න කෙනෙක් මේක දකීවා කියලා...
Deleteවැල්ලවාය පාර ගැන කතාව අහන්න ආසාවක් ආවා...
සුරං, උඹ ඔය වැල්ලවාය පාර කියන්නෙ බුත්තල කතරගම පාරද?
Deleteබුදු අම්මෝ ඕකේ පාර මැද අලි ඉන්නවා යකුනේ......... මේ ළගදි ගිහින් අලින්ගෙන් ගුටි නොකා මාර අමාරුවෙන් ආවේ............
Deleteඅපිනං ගියේ ඔය පාර හදල සාමාන්‍ය ජනතාවට ඇරපු අලුතම වගේ. එතකොට හිටියෙ ගල්ගේ කෑම්ප් එක ගාව හිටිය අලියෙක් විතරයි. මිනිස්සු ඌට කන්න දීල තමයි සෙට් එකක්ම ගෙනත් බස්සගත්තෙ.
DeleteBeetle eka ayema kandan awa.awuruddakma wage eka thana thibbata mata loku dadayak gahannai balan inne.project eka january wala patan gannawa.. :)
ReplyDeleteමගෙන් සුබපැතුම්! සියල්ල සිතූ ලෙසම ඉෂ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා...
Deleteඅපේ සංස්කෟතියෙ එක ලක්ෂනයක් තමා වැවයි දගැබයි ගමයි පන්සලයි. අද නවීකරනය වෙලා මේ සියල්ල මියැදිල.කතාව මට හරිම සිත්ගන්නා සුලුයි.මේ කතාව කියවන කොට බීට්ටල් එකේ විසිල් එක මීමැසි හඩ රව්පිලිරැව් දෙනව, මේ ඇහෙනව මේ දකිනව චිත්‍රපටයක් බලා ඉන්නව වගේ. බසවක් කුලම සහ බීටල් එක එකට පෙල ගැස්සම හරිම අගෙයි.ගම ගමෛ් කම නිස්කලංක පරිසරය අත්විදීමේ හැකියාව,සොබා සෞන්න්ධෛර්ය අගේ කරන, දකින, ඒ ගැන ආදරය කරන එක ගැන මට ඉතාමත් සතුටුයි.මේව දකින කොට අපි කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියල හිතෙනව.ඔබට ස්තුතියි.
ReplyDeleteප්‍රතිචාරය ගොඩක් වටිනවා... බොහොම ස්තූතියි...
Delete// " පාරට දාලා ඒක දිගේ ඩ්‍රයිව් කරන එකේ ආනන්දය විඳින්න" //
ReplyDeleteමරදාන පාරෙන් ආනන්ද මාවතෙන් ඇතුලට දාල පන්සල පාරෙන් එලියට දාන්න තියෙන්නේ !
මේ පාර අවහම මම ලොක්කව අපේ ඉස්කෝලේ වටේ එක්කං යන්නං එතකොට වැඩේ හරි !
ගිය පාර ආපු වෙලේ අපේ මලයාගේ කාර් එකේ ඉස්සරහ දොර ගාව ඉඳන් පිටිපස්සේ දොර ගාවට වෙනකන් කවුදෝ නරුමයෙක් ඉරක් ඇඳලා තිබ්බ දැක්කහම මගේ පපුව දාල ගියා මිනිහ වාහනේ අරන් අවුරුදු දෙකක්වත් නෑ ... හුඋරපු දොරවල් දෙකම ෆුල් පේන්ට් පාරක් දෙන්න උනා ....
වාහනයක් අරගන්න විඳින දහදිය මහන්සිය දන්නේ අපි විතරයි ... අනේ මන්ද වෙලාවකට සිරි ලංකාවේ මිනිස්සු ගැන හරියට කලකිරෙනවා ... හැබැයි කාගෙන් ඇහුවත් කියන්නේ ලෝකෙන් උතුම්ම රට කියල ...
අනේ ** ! උන් දන්න බම්බුව තමා !!!
චික් විතරක් ! ලොක්ක උදේ පාන්දරම ලේ රත් කරා වැරදි සබ්ජෙක්ට් එකක් දීල :)
මට තාම අපේ ඉස්කෝලේ ඉස්සරහ තියලවත් ෆොටෝ එකක් ගන්න බැරි වෙච්චි... :) අර අන්තිමට පොයින්ට් එකට නම් සීයට දෙසීයක් එකඟයි...
Deleteමම කාර් වලට ආස නැතත් පරණ දේවල්වලට ආසයි..... බසවක්කුලමට බීට්ල් ගැලපෙනව වගෙයි
ReplyDeleteහලෝ උඩුවාණනි... වෙල්කම් ටු කාර් පිස්සුව... ඔහොම යමු, ඔයාටත් කාර් පිස්සුව ඇති කරවන්නම්... :)
Deleteමම හිතන්නේ ඔයා මට ආයිත් ෆොක්සියකට ආසාව ඇතිකරනවා !!! හරිම අමාරුවෙන් හිතේ තද කරන ඉන්නේ මචං. මට මගේ පරණ 4 ශ්‍රී 4027 ආදරේ මතක් වෙනවා...
ReplyDeleteජීවිතේ එක පාරක් හරි ෆොක්ක්ස්වැගන් එක්ක ජීවත් වෙච්චි කෙනෙකුට ඒ ආසාව දිගටම යටපත් කරන් ඉන්න අමාරුයි... :)
Deleteබීටල් එකයි වැවයි...නොහිතපු ගැලපීමක්..
ReplyDeleteබීට්ල් වලට පුළුවන් ජීවිතේ අපි නොහිතන ගොඩක් පැති වලට සමීප වෙන්න...
Deleteසුරංග කියල තියෙනව වගේ අපේ මිනිස්සු ට්‍රිප් යන්නෙ ෂැඩූල් කරගෙන මිසක් ඒ ගමන විඳින්න නෙමෙයි. අනික ගොඩක් රාජකාරි නිවාඩු දවස්වලට ට්‍රිප් යන මිනිස්සුන්ට එහෙම නිදහසේ ගතකරන්න වෙලාවත් නැති වෙන්නත් පුලුවන්.
ReplyDeleteවැවු බැමි උඩ වාහන යන එක නවත්තල තියෙන්නෙ ඔය ට්‍රිප් යන කස්ටිය සීමාවක් නැතුව නාන්න, බොන්න බැම්ම උඩ වාහන නවත්තල තියෙන එකත්, සමහර මොංගල් ඩ්‍රැයිවරල බැම්ම උඩ පාරෙ එහෙ මෙහෙ දුවන පොඩි උං, මිනිස්සු ගැන හිතන්නැතුව ඒක උඩ ෆෝමියුලා රේස් යන්න ගිහින් දෙතුන් දෙනෙකුට පෙට්ටි උරුම කරල දෙන්න වීමත් යන හේතු නිසා මම හිතන්නෙ. පයින් විතරක් යන්න දුන්නම කාටවත් කරදරයක් නෑනෙ.
පාරවල් තියෙන්නේ 'පොඩි උන්ට එහෙමෙහෙ දුවන්න' කියලා හිතන එක සහ 'වාහන දැනගන්න ඕනේ පරිස්සමෙන් යන්න' කියල හිතන එක ලාංකික මානසිකත්වයේ ගැටලුවක් විදිහටයි මම දකින්නේ ප්‍රසන්න අයියා. ඔකේ ඊළඟ පියවර තමයි හැප්පුනාම ඩ්‍රයිවර්ට රිඹ යන්න නෙළීම සහ වාහන ගිනි තැබීම. පොඩි එවුන් හැන්ඩ්ල් කිරීම අයිති parenting වලට. අවාසනාවකට ලංකාවේ දෙමවුපියෝ හිතන්නේ parenting කියන්නේ එයාලගේ ළමයින්ට අනතුරක් නොවෙන්න අනික් එවුන් පරිස්සමෙන් ඉඳීම කියලා. ඒකම තමයි ඔය පාරක් පාරක් ගානේ උන්ගේ පොඩි එවුන්ගේ උසට බම්පර් දාන්නේ. අනුරාධපුර වැවු බැමිවල කාටවත් රේස් යන්න බැහැ. ඒවා පටුයි. වාහන දෙකක් යන්තම් මාරුවෙන්න පුළුවන් තැනක රේස් පදින්න තරම් ලංකාවේ බයික් රේස් පදින එවුන්ටවත් මොංගල් නැහැ. කරන්න තිබුණු දේ තමයි 'වැවු බැම්ම උඩ වාහන නවත්වා තැබීම තහනම්' කියලා බෝඩ් ටිකක් ගහන එක. හැබැයි ඉතිං ලංකාවේ එවුන් නීති තද කළාම 'අපිට වැරදි කරන්න දියවූ' කියලා උද්ඝෝෂණ කරන නිසා ඒක හරි නොයන්න ඉඩ තියනවා.
Deleteමම කියන්නෙ සාමාන්‍ය පාරක් ගැන නෙමෙයි. ඔය වගේ තැනක නිවාඩු දවස්වල එහෙම සෑහෙන සෙනගක් ගැවසෙනව. වේගෙන් නොගියත් පොඩි අතපසුවීමකින් උනත් අනතුරක් වෙන්න පුලුවන්. එහෙමනං කරන්න තිබුණ හොඳම දේ සෙනග වැඩියෙන් ගැවසෙන නිවාඩු දවස්වලට විතරක් වාහන ඇතුල් වෙන්න නොදී ඉන්න එක.
Deleteමචං අදමයි මේ පැත්තට ආවේ......... අටමා තමා පාර පෙන්නුවේ............. ජයවේවා....
ReplyDeleteසින්ඩියටත් දා ගත්තා....
http://kurutugegeepawra1.blogspot.com/
බොහොම ස්තූතියි... අටමා ඉස්සර ඉඳන්ම මේකට උදවු පදවු කරනවා...
Deleteමගේ ප්‍රන්තේ ට නේ ගිහින් තියන්නේ ....
ReplyDeleteඑන්න හිතාගෙන හිටියට අද තමයි ඉඩක් ලැබුනේ මේ පැත්තේ එන්න
බොහොම ස්තූතියි... නිතර මේ පැත්තේ ඇවිත් යන්න එන්න... :)
Deleteඅනිවා එනවා
Deleteලංකාවේ පුරාණ වාරි තාක්ශනය සහ පුරාවස්තු පිලිබඳ උදුල බංඩාර අවුසඳහාමි සහභාහිවුන ඉතාම හොඳ ප්‍රාසාංගික වැඩසටහන්ක් ගියා ජාතික රූපවාහිනියෙ, වාහල්කඩ කියල... ඉතාම අපූරු ගීයකුත් තිබුන ඒ වැඩසටහනේ තේමා ගීය හැටියට..
ReplyDeleteසත් රුවන් ආර
Deleteමුතු බැඳි මූදු පවුරකින් සුලකළ
පුන්‍ය භූමි වූ මනරම් තම්බපණ්ණියේ
තම්බපණ්ණියේ
පලාපෙති බැඳන් ගෙල වට
රණ හංස පියාපත් සලමින
පායාලා පහන සඳකඩ
රන්වනින් දිලේ
නීල හරිත වන සම්පත්
නදී ගිරි මුදුන් පෑපත්
දියඇලි වල්විදුනා ගත් රම්‍ය භූමියේ
රම්‍ය භූමියේ
යෝධ වැව් අමුණු දාගැබ්
වෙහෙර පෙති පිළිම සුවහස්
මැවූ ඉසිවරුන්ගේ අත් පූජනීය වේ
නිධන්ගත ශ්‍රමය තැන්පත්
උතුම්වූ එවන් සම්පත්
නොදී නොරටුන්ට පණ සේ රකිව් දරුවනේ
රකිව් දරුවනේ
එවන් අසිරි සිරි දුටු නෙත්
පෙමින් රටට බැඳලනු වස්
අලංකාර වාහල්කඩ දොරටු විවරවේ
සත් රුවන් ආර
සත් රුවන් ආර
මුතු බැඳි මූදු පවුරකින් සුලකළ
පුන්‍ය භූමි වූ මනරම් තම්බපණ්ණියේ
තම්බපණ්ණියේ
පලාපෙති බැඳන් ගෙලවට
රණ හංස පියාපත් සලමින
පායාලා පහන සඳකඩ
රන්වනින් දිලේ
රන්වනින් දිලේ
ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - නවරත්න ගමගේ