Saturday, June 24, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන- දෙවෙනි කොටස (ගල්කණුමණ්ඩිය සහ යටාල)




මේ ලිපි මාලාවේ කලින් කොටසේ කිව්වා වගේ උස්සන්ගොඩින් පිටත් වුණාට පස්සේ අපේ ඊළඟ අරමුණ වුණේ ගල්කණුමණ්ඩිය. ගොඩවායේ යන්න හිතන් හිටියත් උස්සන්ගොඩ හිතුවට වඩා කාලයක් ගතවුණා. ඊට පස්සේ කෑම කන්නත් වෙලාව ගියාට පස්සේ ඉරට අසූහාරදාහට මල පැනලා තිබුණේ. ඒ ගිනි ගහන අවුවේ ගොඩවායේ ගියොත් අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියන් රෝස් වෙන්න ඉඩ තිබුණු නිසා අපි එතන ප්ලෑන් එකෙන් කපාහැරලා 9 ශ්‍රී 5333 එක්ක ගල්කණු මණ්ඩිය පැත්තට ගියා.

හම්බන්තොට පාරෙන් තිස්සමහාරාම පාරට හරවලා වීරවිල හන්දියෙන් හැරිලා දෙබරවැව පහුකරගෙන ගිහින් දෙබරවැව හන්දියෙන් දකුණට දාලා කතරගම පාරේ ගියර් දෙකතුනක් මාරු කරනකොට ගල්කණුමණ්ඩිය හම්බවෙනවා. මෙතන තියෙන්නේ ගල්කණු ගොඩක් විතරයි. එහා පැත්තේ සෙල් ලිපියක් තියනවා. එච්චරයි. කතරගමට ළඟාවීමේ සැහැල්ලුවෙන් යන නඩ වලට මෙතන මීටර් වෙන්නේ කලාතුරකින්. යටාලේ නතර වුණත් කෙනෙක් මෙතන ලේසියකින් නතර වෙන්නේ නැහැ. යටාලේ නම් අඩු තරමින් චෛත්‍යය පාරට පේනවා. ගල්කණුමණ්ඩිය ගාව හිටවපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් එක දකින්නත් සංසාරේ පුරා බෝඩ් පාරමී පුරාගෙන එන්න ඕනා. ගූගල් මැප්ස් වලට පින්සිද්ධ වෙන්න අවට පරිසරය හුරුවෙලා තිබ්බා නිසා තමයි තැන ඉක්මනට හොයාගත්තේ.



ගල්කණුමණ්ඩිය හරි අපූරු තැනක්. මෙතන තියන සෙල් ලිපියට අනුව මේක පළවෙනි හෝ දෙවෙනි සියවසට විතර අයිති ගොඩනැගිල්ලක් විදිහට හඳුනාගෙන තියනවා. නමුත් මේක මොන අරමුණකට භාවිතා කළාද කියන එක තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි මේක අඩුම තරමින් තට්ටු දෙකට තිබිලා තියන බව. උඩ තට්ටුව සවිමත් කරන ලී රඳවන්න පුළුවන් වෙන්න කල් කණු වල උඩ කට්ට කපලා තියනවා. මේ කාලසීමාවට අයිති මේ වගේ ඓතිහාසික සිහිවටන ශ්‍රී ලංකාව ඇතුළේ හම්බවෙන්නේ බොහෝ දුරට අනුරාධපුර වගේ පළාත්වලින් නිසා මේක සුවිශේෂයි.



මෙතන වැදගත්ම සොයාගැනීමක් වන සෙල්ලිපිය තියෙන්නේ ගල් කණු වලට එහා පැත්තෙන්. එතන අගල් හැදිලා සහ කැලෑව වැවිලා තියන විදිහට ගල් කණු වලින් එහා පැත්තට පනිනවා නම් දූ දරුවන්ට දේපළ ලියල දීලා පනින්න ඕනා. කොටින්ම අප්‍රිකානු වනාන්තර වල වත් නැති හොම්බ හතරැස් වලිග රවුම් හොට අටපට්ටම් සත්තු ඒ ගාලවල් අස්සේ ඇතියි කියලා මට හිතුණා.


සෙල් ලිපිය බලන්න යන පාර ඇහුවම එතන පාර අයිනේ කඩේකින් කිව්වා 'එහා පැත්තේ පාර තියනවා, හැබැයි බලාගෙන යන්න, කටු තියනවා' කියලා. වාහනේ එතන ළඟට අරගෙන යන්න පුංචි පාරක් තියනවා දැක්කත් දෙපැත්තේ තිබුණු පොල් ගස් වල උසේ හැටියට කුරුම්බැට්ටියක් වැටුණත් මිචෙල් ස්ටාක් බෝලයක් දැම්මා වගේ සැර වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගොන් වැඩේ නම් කළේ නැහැ.

මෙතන තියන සෙල් ලිපියට කියන්නේ ඇතාබැඳිගල ටැම් ලිපිය කියලා. මේ ලිපියට අනුව දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ගේ මුණුබුරා වුණු ගාමිණී අභයගේ පුතා රොහිණික ගාමිණී අභය බදු වර්ග දෙකක් මේ විහාරයට පූජා කරලා තියනවා. ටැම් ලිපිය ආවරණය කරන්න හදලා තියන වියන නම් ලස්සනයි. නමුත් වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා කැලෑව වැවිලා තියෙන හැටි දැක්කම දුක හිතෙනවා. මෙතන ඉඳන් අවට බලනකොට තේරෙනවා මේ පුරාවිද්‍යා භූමිය මහා විසාල එකක් වෙන්න ඕනේ කියලා. ඒත් එතන වැඩි කැණීමක් සිද්ධ වෙලා තියන බවක් පේන්නේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහෙමට කියලා මුදල් සැපයුමක් නැති බව මම දන්නවා. අනික මේ වටේ ඉඩම් වල අයිතිකාරයොත් බයේ ඇත්තේ...





එතන පාර අයිනේ තියන කඩේකින් බඩ ඉරිඟු කරල් දෙකතුනකුත් අරගෙන අපි යටාලට යන්න පිටත් වුණා. ගූගල් මැප් එකේ බලද්දී ටිකක් හරි දුරයි වගේ පෙනුණට බීට්ල් එකේ විසිල් එක හරියට ඇහෙන්නත් කලින් මෙන්න අපි යටාලේ කාර් පාක් එකට ඇවිත්...

මම ඉස්සරලාම යටාලට ආවේ 2008 දී. එතකොට මම වැඩ කරපු කොම්පැනියේ ලොක්කා, එතන Art Director වුණු මහේෂ් සහ මගේ විශ්ව විද්‍යාල සගයෙක් වුණු, ඒ වෙනකොට පුරාවිද්‍යා විශේෂ උපාධිය කරමින් හිටපු ජීවනත් එක්ක කතරගම පෙරහැරේ වැඩ වගේකට ගිහින් එනගමන් තමයි අපි අහම්බෙන් මෙතනට ගොඩවුණේ. අර නෙළුම් මල් පිපුණු දිය අගල තරණය කරන්න පළවෙනි අඩිය තියාපු ගමන් මගේ හිත යටාල ගැන භක්තියකින් පිරුණා. බලන බලන තැන පුරා වස්තු පිරුණු, බලු බල්ලෙක් නැති ඒ පින්වන්ත භූමියේ මොකක්දෝ සන්සුන් ථෙරවාදී බවක් මට දැනෙනවා. ථෙරවාදී බුද්ධාගම කියන්නේ 'වවුලෙක් වගේ ඕවයේ එල්ලිලා ඉන්නේ නැතුව ඔය ගංගාව තරණය කරලා මේ පැත්තට වරෙව්' කියන ආගමක්. යටාල වෙහෙරයි ප්‍රධාන පාරයි වෙන් කරන දිය අගල හරියට සංසාරයයි නිර්වාණයයි අතර තියන පරතරය වගේ...



ජනක වෙත්තසිංහ ලියපු, 2014 පෙබරවාරි 18 වෙනිදා බුදුසරණ පත්තරේ පළවුණු ලිපියකට අනුව යටාල චෛත්‍යය තමයි රුහුණේ පළවෙනි චෛත්‍යය විදිහට සැලකෙන්නේ. මහානාග යුවරජතුමාගේ බිසවට මේ ස්ථානයේදී පුතෙක් ලැබුණා ලු. ඒ පුත්තරයට නම තියලා තියෙන්නේ යටාල තිස්ස කියලා. මේ සිද්ධිය සිහිවෙන්න යුව රජතුමා එතන ස්තූපයක් කරවපු බවත්, ඒ ස්තූපයට යටාල කියල නම තියපු බවත් ඒ ලිපියේ දැක්වෙනවා. ඒ වගේම ඇතැම් සෙල්ලිපි වල මේ චෛත්‍යය 'දළදා දාගැබ' විදිහට හඳුන්වනවා ලු. සතුරු ආක්‍රමණ වලදී දන්ත ධාතුව මේ චෛත්‍යයේ නිදන් කරලා තියෙන්න ඇති කියලා හිතනවා.





මළුව වටේ බලන බලන අත පේන්නේ හරිහමන් අවසානයක් නැතුව මිහිපිටින් මැකිලා ගිය ඉතිහාසයක කතන්දර ගොඩක්. අපි යනකොට මළුව වටේ තියන අපූරු පිළිම ටික අවුවෙන් වැස්සෙන් බේරගන්න වහළවල් ගහන්න කොන්ක්‍රීට් කණු දාන්න ලෑස්ති කරමින් තිබ්බේ. ඊට අමතරව අලුත් පන්නයේ සෙවිලි තහඩු වර්ග පාවිච්චි කරලා සමහර පිළිම උඩින් වහලවල් ගහමින් තිබුණා.  පැරණි ස්මාරක දෙපැත්තෙන් කොන්ක්‍රීට් කණු ඔබලා වහලවල් ගැහුවම මට ඒවා පෙන්නේ කොකිසක් අයිසින් කරපු තරම් කැතට. ඒ වුණාට සිද්ධවෙන කාලගුණ විපර්යාස වල හැටියට මේවා බේරගන්න වෙන ක්‍රමයක් නෑ කියලත් මම දන්නවා. 





යටාලේ අපූරු කෞතුකාගාරයක් තියෙනවා කියල මට මීටර් වුණේ මේ පාර. 2008 දී අපිට ඒ කෞතුකාගාරේට යන්න බැරි වුණා (ඒ කාලේ ඒක තිබ්බේ නැද්ද දන්නෙත් නෑ). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකට අනුව මේක B කාණ්ඩයේ කෞතුකාගාරයක්. ඡායාරූප ගන්න අවසර නැති නිසා අවාසනාවකට මට ඒක කොච්චර අපූරු තැනක්ද කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. ඒක ඉතා පුංචි කෞතුකාගාරයක්; හැබැයි තොරතුරු ගබඩාවක්. ඉන්නේ කොහෙද කියලා අමතක වෙලා අම්මට උඩු කියවෙන ජාතියේ නිර්මාණ ගොඩක් ඒක ඇතුළේ ගොඩගහලා තියනවා. එළියේ කැසිකිළි ගලක් තියනවා සුපිරි ඉන්දියන් සාරියක් තරමට මෝස්‌තර දාපු. කැණීම් වලින් ගොඩගත්තු ගල්කණු කෑලි කෞතුකාගාරය ඉස්සරහ මිදුලේ පේළියට ගොඩගහලා තියෙන්නේ මොරටුව අලුත් පාරේ ක්‍රිකට් බැට් හදන අය ඒවා වේළෙන්න රේල් පාර අයිනේ දිගට දාලා තියනවා වගේ...

එතන හිටපු පුරා විද්‍යා නිලධාරියා එක්ක කතාවක් ඇදගත්තු ඉන්දික පාරෙන් අනික් පැත්තේ සංඝාවාස පරිශ්‍රයේ සිද්ධවෙන කැණීමක් බලන්න යන්නත් අවසර ඉල්ලගත්තා. එතනත් ඡායාරූප ගන්න තහනම්. මේ කැණීම් භූමියෙන් අතිවිශාල මල් ආසනයක් මතුවෙලා තියෙනවා. ඒ ගොඩනැගිල්ල මොකද්ද කියන එක නම් තාම තහවුරු කරගෙන නැහැ මම හිතන්නේ. ගල්කණුමණ්ඩිය පරිශ්‍රයත් ඇත්තටම අයිති යටාල විහාර පරිශ්‍රයටමයි කියලා අර නිලධාරියා කිව්වා. බලාගෙන ගියාම පාරවල් හැදිලා, ගෙවල් හැදිලා, සංඝාවාස හැදිලා තියෙන්නේ ඇසට අසුවන මායිමටත් එහා විහිදුණු ඓතිහාසික පූජාභූමියක් උඩ... මේ ඉතිහාසය කවදාවත් අපට හරියට පාදාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතිහාසයේ ජනප්‍රියවාදී අමූලික බොරු ප්‍රවාද අල්ලාගෙන සති අන්ත පත්තරවල පිටු ගණන් නරිබෙටි වගේ ප්‍රලාප ඇතිරෙද්දී රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පුරාවිද්‍යා උපාධි අරගෙන එළියට එන උපාධිධාරියෝ ගුරුවරු හැටියට සහ සංවර්ධන නිලධාරීන් හැටියට රස්සාවල් වලට ගිහින් කසාද බැඳගෙන, දරුවෝ හදාගෙන, නිවාස ණයක් අරගෙන, ඇල්ටෝ ලීස් එකක් අරගෙන අයිස් යුගයක් වගේ මනසින් ගල්වෙලා වයසට යනවා... 



යටාලේ ඉතිහාසය වගේම සමස්තයක් විදිහට දකුණේ ඉතිහාසය ගැන චංචල වුණු හිත නිසා මට වෙනදා තරම් බීට්ල් එකේ ෆොටෝ ගන්න අමතක වුණා. නමුත් යටාලෙන් පිටත් වෙන්න හදද්දී බීට්ල් එක ටිකක් ඉස්සරහට අරගෙන චෛත්‍යය පේන විදිහට ෆොටෝ එකක් ගන්න මම අමතක කළේ නැහැ. එහෙම ෆොටෝ දෙකතුනක් ගන්න ගමන් මම කල්පනා කළේ අලුත් කොරොල්ලා එකක හරි, අඩු තරමින් ඇල්ටෝ එකක හරි ආවනම් මේ ගමන මීට වඩා කොච්චර වෙනස් වේවිද කියලයි (මේක ඇල්ටෝ හෝ කොරොල්ලා අයිතිකාරයන්ට කරන අපහාසයක් නෙමෙයි).



බීට්ල් එක මග දිගටම මිනිස්සුන්ගේ අවධානය දිනාගන්නවා. බොහෝ දෙනෙක් කාර් එක දිහා බලන්නේ සතුටක්, පුදුමයක්, කුතුහලයක්, විශ්වාසයක් සහ හිතේසිවන්තභාවයක් වගේ හැඟීම් මාලාවක් පන් පැදුරක් වගේ එකින් එක වෙළුණු මූණු වලින්. ඒක යකඩ සහ මනුස්සකම් අතර තියන පරතරය අතික්‍රමණය වෙන මොහොතක්. වෑන් වල නැගලා සින්දු කියකියා යන නඩ දිහා අමු සියඹලා කාපු ඇඹුලින් බලන පැසුණු කෙසැති පියවරු පවා බීට්ල් එකේ විසිල් එක කනින් අල්ලගෙන හිතින් අතීතෙට දුවන්න වෑයම් කරනවා දකිද්දී හිතට එන හැඟීම කවියකින් වත් කියන්න අමාරුයි.


මේක මට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. මිනිස්සු බීට්ල් වල ගිය සුන්දර සංචාර ගැන තියන වාර්තා වැඩසටහන් අද ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයාගෙන බලන්න පුළුවන් (දවසක මේ කතා අතරින් මගේ හිත තදටම වශී කරපු කතාවක් සිංහල පාඨකයන් වෙනුවෙන් විස්තර කරන්න මට ලොකු ආසාවක් තියනවා). මේ හැම එකකම වගේ බීට්ල් එක එළවපු කෙනා දිලිසෙන ඇස් දෙකකින් යුතුව මතක අවුස්ස අවුස්සා කියන දෙයක් තමයි කාර් එක දැකපු මිනිස්සු ඒකට දක්වපු ප්‍රතිචාර වල මිහිරියාව. මේ හැම මතකයක්ම එයාලගේ මූණට අහිංසක ආඩම්බරයක් මුහුවුණු අසමාන තෘප්තියක සිනා රැල්ලක් අරගෙන එනවා. මේ ලියන මොහොතේ මගේ මූණෙත් ඒ හිනා රැල්ල එහෙමම ඇති. ඒක ඒ තරම් විශ්වීය හැඟීමක්...

ඒක දැනෙන්නේ බීට්ල් එකක් එළවලා තියන කෙනෙකුට විතරයි...

(පළවෙනි කොටස කියවන්න කැමති අය මෙන්න මේ ලින්ක් එකට  යන්න. ඊළඟ කොටසින් කතරගම දේවාලය සහ රන්මිණිතැන්න ගැන කතාකරමු)

තරිඳු ශ්‍රී ලොකුගමගේ
22.06.2017
www.facebook.com/CarPissuwa

(ෆොටෝ ගත්තේ මම, කෞශි සහ ඉන්දික)

31 comments:

  1. තොපේ හැදියාව අන්තිමයි යකෝ .... !

    ඔය හිට්ලර්ගෙ යකඩ ගොඩ දාගැබ පිටිපස්සට දාල දාගැබ ඉස්සරහට හිටින්න ගනින් ඊළඟ පාර ෆොටෝ ගහන කොට !

    බුද්ධාගම අගෞරව කරන අඩු කුලේ පර හැත්ත !!!!!

    ~ මේ පණිඩය ඔබ වෙත ගෙන එන්නේ නානසාර හාන්දුරුවන්ගේ අනුග්‍රහයෙන් !

    ReplyDelete
    Replies
    1. තරහ අවසර හාන්දුන්නේ... හිට්ලරුත් ඔබ වහන්සේ වගේම තමා... ඉතිං මක්කටෙයි තරහ ගන්නේ?

      Delete
  2. මේවා කියවනකොට අත පය හිටන් වෙවුලනවා.. කවද ද මාත් මෙහෙම යන්නෙ කියලා.. තරින්දු මහත්තයගෙ ඉන්බොක්ස් එකට වද දිදී පිටු ගනන් දිග උපදෙස් අරගෙන අන්තිමේ මාත් ගත්තා බීට්ල් එකක්. ලබන සතියෙම කියනව කියනවා කියලා හිතන් හිටියට මොක්ද කියන්න හිත දුන්නෙම නෑ.. පොඩි පොඩි වයරින් වැඩ ටිකක් තියෙනවා.. එ ටික හදාගන්නකන් ඉවසිල්ලක් නෑ පාරට දාන්න.. දාලා මේ ටික බලන්න යන්න..

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුවත් එක්ක කට්ටිය හිමින් හිමින් VW ලෝකෙට එනවා දකින එක මට පුදුම සතුටක්. වයරින් ටික හොඳට හදාගෙන ළඟ රවුමක් දෙකක් දුවලා ටෙස්ට් කරලා දුර ගමන යන්න. ඔයා මේකට ඇබ්බැහි වෙන බවට කිසිම සැකයක් නැහැ. වාසනාවන්!

      Delete
  3. තරිඳු මහත්තයා ඔයාගේ භාෂා භාවිතාව නම් අතිශය සිත්ගන්නාසුලුයි. මට යාලුවෙකුගේ බීට්ල් එකක් එලවපු අත්දැකීම සිහිවෙනවා. ඒ වගේම ගමනේ තොරතුරු ගවේශනාත්මකව කියල තියෙනවා, දරුවන්ට පෙන්නන්න වටිනා දේ කියල දෙන්න තොරතුරු සොයන මා වැනි පියවරුන්ට එය බොහෝ වැදගත්. ඇත්තෙන්ම ඔබ මගේ සිතුවිලි අවදි කරමින් බීට්ල් එකක් අයිති කරගන්න හුගක් කල් ඉඳල තියෙන ආසාව වැඩිකරනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ ප්‍රතිචාරය ගොඩක් වටිනවා. ඒ වගේම ඉක්මනටම බීට්ල් එකක හිමිකරුවෙක් වෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ කාර් එකක දුර ගමනක් යන එක ජීවිතේ සදාතන මතක ඉතුරු කරන අත්දැකීමක්...

      Delete
  4. තිස්සමහාරාමේ පන්සලට එහායින් තරමක ඈතින් තියෙන සුදු පිරියම් නොකල දාගැබට ගියාද? එකක් බලන්න වටිනා තැනක්. මට නම අමතකයි.

    ReplyDelete
    Replies
    1. නැහැ. නිවාඩු සීමිත වීම නිසා තෝරාගත්තු තැන්වලට විතරයි ගියේ. කතරගම සහ ඒ අවට තියන පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන තොරතුරු හරියට ලැයිස්තුගත වෙලා නැතිවීම පාඩුවක්. දිග නිවාඩුවක් පාදාගන්න පුළුවන් වුණු දවසක තව තැන කීපයකට ගිහින් තොරතුරු ලියන්න ඕනේ... මේ ගැන කිව්වට බොහොම ස්තූතියි.

      Delete
    2. නම මතක්වුනා ඒ දාගැබේ නම සදගිරි ස්තූපය. දකුණු පලාතේ පැරනිතම ස්තූපය වෙන්නේ මේක තමයි.

      Delete
    3. සඳගිරි ස්තූපය ගැන ගොඩක් තොරතුරු ලියවලා තියන බවක් පෙනුණු නිසා සහ ඒකට යන විදිහ පැහැදිලිව පාරේ දක්වලා තිබුණු නිසා 'සුදු පිරියම් නොකළ' කිව්වම මම හිතුවා මීට වඩා අප්‍රකට දාගැබක් වෙන්න ඇති කියලා. සඳගිරියේ හොයන්න බලන්න ගොඩක් දේවල් තියනවා වගෙයි පේන්නේ. ඊළඟ වතාවේ ටිකක් වෙලාව තියාගෙන එතනට යන්න ඕනේ... බොහොම ස්තූතියි ඒ ගැන මතක් කළාට...

      Delete
  5. මගෙත් සිත්ගත් තැනක් තමයි යටාල කියන්නෙ. කතරගම යන හැම පාරකම ඔතනට ගොඩ වෙනව.
    ඔය කෞතුකාගාරෙටත් මම ගිහිල්ල තියෙනව.
    අර ගල්කණු තියෙන තැන ගැන මෙතුවක් කල් දැනගෙන හිටියෙ නෑ. ඊගාව පාර යනකොට මීටරේ දාල බලන්න ඕන.
    ලංකාවෙ අතීතය දැනගන්න පුලුවන් බොහෝ දේවල් මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් නිසා වැනසිලා ගිහිල්ල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඉඳන් යනකොට යටාලට කලින්, යටලේ චෛත්‍යය පේන දුරින් ගල්කණුමණ්ඩිය තියෙන්නේ. අනිවාර්යයෙන් ගිහිල්ලා බලන්න. මහා දෙයක් නැතත් ඒ ගල්කණු ටික සහ බිම සකස් කරලා තියන ආකාරය දැක්කම අතීතයේ එතන කොහොම ශ්‍රී විභූතියකින් යුතුව තියෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන්...

      Delete
  6. මේ පරණ දේවල්වලට උඹේ තියෙන කැමැත්ත අනුව පුතා, උඹ ඒ විදියෙ කාර් ගන්නවා, නටබුන් බලන්න යනවා, උඹලෑ පරන ගෙදරට ලව් කරනවා, ඒ ඔක්කොම කරනවා. නමුත් උඹ අර ප්‍රංශ ජනාධිපති කරපු දේ නොකර, ලාබාල තරුණියක් විවාහ කරගන්නව. මොනවද බං මේ ප්‍රතිපත්තියක් නැති වැඩ? ;)

    ReplyDelete
    Replies
    1. දැන් මේකට උත්තර දෙන්න ගියොත් මගේ ලාලසා මතක ගීතයකුයි ශෘංගාර භාෂාවයි අවදි කරන්න වෙනවා ඕං අයියේ... ;)

      Delete
    2. එක්කෝ ඕන්නෑ නේද බං?

      Delete
    3. ඉල්ලන් කන්නෙ මොකටෙයි නේද?

      Delete
  7. ඔයා කියනවා හරි බීට්ල් එකේ යනකොට මිනිස්සු බලන්නේ හරි ආදරේ මුසු හැඟීමකින් බව මටත් දැනිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මම බීට්ල් එකෙන් තරම් මයිනර් එකෙන් සංචාර ගිහිල්ලා නැති බව ඇත්ත. නමුත් ඒ ආදර ප්‍රතිචාර මයිනර් එක එළවන වෙලාවට වඩා බීට්ල් එක එළවන වෙලාවට ලැබිලා තියනවා...

      Delete
  8. "මේ හැම එකකම වගේ බීට්ල් එක එළවපු කෙනා දිලිසෙන ඇස් දෙකකින් යුතුව මතක අවුස්ස අවුස්සා කියන දෙයක් තමයි කාර් එක දැකපු මිනිස්සු ඒකට දක්වපු ප්‍රතිචාර වල මිහිරියාව. මේ හැම මතකයක්ම එයාලගේ මූණට අහිංසක ආඩම්බරයක් මුහුවුණු අසමාන තෘප්තියක සිනා රැල්ලක් අරගෙන එනවා."
    අම්මපා ඇත්ත ...
    ගොඩක් වෙලාවට බීට්ල් එකේ ගිහින් නවත්තල බහින්නත් කලින් අපි එක්ක කතා කරන්න බලන් එක මනුස්සයෙක් හරි ඉන්නව දැකීම බොහොම සුලබ අත්දැකීමක්.ඒ වගේම ඒ අය එන්නෙත් බීට්ල් එකක් එක්ක තමන්ගේ තිබ්බ මතකයකුත් අවදි කරගෙනම හන්දා අපිට යන්න ආව ගමනත් ටිකක් පහු කරලා ඒ කතාවත් අහල ඉන්න වෙන වාර අනන්තයි.
    ඒ තමයි අලුත් කාර් එකක ගමනක් යන එකයි පරණ කාර් එකක ගමනක් යන එකයි අතර වෙනස.පරණ කාර් එකක් කියන්නෙ මනුස්ස සම්බන්ධතා ගොඩනගා ගන්නත් හොඳ අවස්ථාවක්..

    ReplyDelete
    Replies
    1. //පරණ කාර් එකක් කියන්නෙ මනුස්ස සම්බන්ධතා ගොඩනගා ගන්නත් හොඳ අවස්ථාවක්// අන්න පොයින්ට් එක!

      Delete

  9. මේ චාරිකාව බොහොම සිත්ගනාසුලුයි. මේ කියන තැන්වලින් අර ගල්කණු මණ්ඩිය ඇරුනම යටාල නම් ගිහින් තියෙනවා. මට ඉවසන්නම බැරි ගිරීස්මේ තමයි. නැත්නම් ඒ තැන්වල ගොඩක් වෙලා ඉන්න හිතෙන නිස්කලංක තැන්


    මේ ඊයේ පෙරේදා දවසක මේ වගේම කිරි සුදු පාට බිට්ල් එකක් පැදගෙන කොල්ලෙක් යනවා පාරේ... හම්මේ ඉතින් මමත් අත ඇරියේ නැහැ ට්‍රැෆික් එකේම ඊට පැරලල්ම ඒකත් එනවා... සුදුම සුදු කිරි ටෝය්යා වගේ බැබලෙන කාර් එක දිහාම මම පොට යන තරමට බලාගෙන එනකොට තේරුනේ ඌ මාව නෝට් කරලා කියලා.... හය්යු... ලැජ්ජාව.. ඒ උනාට මාර කාර් එක අප්පා.... නියමෙට තියාගෙන ඉන්න ඒ වගේ කාර් දැක්කහම ඉතින් බලන්න හිතෙනවනෙ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට...

      බලබලා ඉන්නේ නැතුව බීට්ල් එකක් ගත්තොත් නරකද? :)

      Delete
  10. මම මේ ලිපි කියවන්න පටන් ගත්තට පස්සේ දැන් පාරේ බීට්ල් එකක් දැක්කාම වෙනදාට වඩා බලන්න පුරුදු වෙලා. මට හිතෙන්නේ මටත් බීට්ල් පිස්සුව ගහයි වගේ....

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්! හොඳට හදාගත්තොත් ඕන තැනක යතහැකි. මොකෝ බොයිල් කරනවා කියලය...

      Delete
  11. යටාල අයිතිහාසික. පල්ලෙමලල & මිණිඇතිලිය ප්‍රාග් අයිතිහාසික.

    බීටල් එකක් එලවලා තියෙන්නෙ එක පාරක් හෝ දෙකක්. ප්‍රාග් අයිතිහාසික එකක් ! යාලුවෙක් ගත්ත එකක් ගේන්න ගිහිල්ල. ලොමු දැහැගැන්වෙන බ්‍රේක් නැති (brakes defective) , උනුසුම් (fan defective) ඇඩ්වෙන්චර් එකක් !

    ReplyDelete
    Replies
    1. ඩ්‍රම් බ්‍රේක් වලට සහ ෆෑන් එකක් විදිහට ක්වාටර් ග්ලාස් එක පාවිච්චි කිරීමට හුරුවෙන්න ටිකක් කල් යනවා. Brake distance එක සහ applicable pressure එක හරියට වැටහෙන්න ගත්තම brakes defective ගැටලුව නැතුව යනවා. Open road එක ආයුබෝවන් කියලා අපිව පිළිගන්නකොට fan defective ගැටලුව නැතුව යනවා. :)

      Delete
  12. එක- ගල්කණුමන්ඩිය ගැන අසාවත් තිබුනේ නැත.. දෙක- යටාල ගිහිං තිබුනේ නැත.. තුන- බීට්ල් එකක් පැද ඇද්ද නැද්ද කියාවත් මතක නැත.
    .
    .
    .
    .

    මොන ජීවිතයක්ද අප්පා මේක..
    කියා සිතුනි..
    හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය තුනම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙව... ;)

      Delete
    2. @ කමියා
      මොන ජීව්තද බම්...

      Delete
  13. බීටලයක උණුසුම තදින්ම දැනේ...

    මේවව නේ බං ට්‍රිප්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයාණනි... ඔබතුමාත් මෙවැනිම සංචාරයක් ළඟදීම යනු මට පෙනේ පෙනේ... :)

      Delete