Saturday, April 22, 2017

Ford Flathead V8: මසල් කාර් කලාවේ ඔරිජිනල් හදවත


එක්දාස් නමසිය විසි ගණන්වල අන්තිම හරියට වෙන්න, එක්තරා අන්ධකාර දවසක, හෙන්රි ෆෝර්ඩ් මහත්මයා මිචිගන් වල ෆෙයා ලේන් වත්තට වෙලා දඩ බ්ලැක් විලෝ ගහක් දිහා බලාගෙන ඉන්නවා....

උන්නැහේ හෙන මූඩ් ගහලා ඉන්නේ...

හෙන්රි ෆෝඩ් මහත්මයා කාර් ලෝකෙට පය ගැහුවේ 1901 දී 'හෙන්රි ෆෝඩ් මෝටර් කම්පනි' එක හදාගෙන. ඒ වුණාට එතුමා 1902 දී තමන්ගේ නමත් අරගෙන ඒ කොම්පැනියෙන් අයින් වුණා. එතකොට ඒ කොම්පැනිය කැඩිලැක් වුණා. ඒ කාලේ කාර් ලෝකේ වෙච්චි දේවල් ඔය වගේ තමයි. ඉතිහාසය අරන් බැලුවොත් කාර් ලෝකේ ප්‍රසිද්ධ අය හැමෝම ප්‍රසිද්ධ කාර් සමාගම් කීපයකටම මොන ආකාරයෙන් හරි සම්බන්ධයි.

මූඩ් ගැසූ ෆෝඩ් මහතා

1903 දී තමයි ආයෝජකයෝ කීප දෙනෙක්ගෙන් සල්ලි අරගෙන හෙන්රි ෆෝඩ් මහත්මයා ෆෝඩ් මෝටර් කම්පනි එක පටන් ගත්තේ. ලෝකෙට Moving assembly line සංකල්පය හඳුන්වලා දුන්නේ හෙන්රි ෆෝඩ් මහත්මයා. ඒ වගේම ෆෝඩ් මොඩ්ල් T එක හඳුන්වලා දීලා පෞද්ගලික ප්‍රවාහනය යථාර්ථයක් කළේ හෙන්රි ෆෝඩ් මහත්මයා. ෆොක්ස්වැගන් බීට්ල් එක වාර්තා පිට වාර්තා තියනකල් ලෝකේ වැඩියෙන්ම අලෙවි වුණු කාර් මාදිලිය විදිහට වාර්තාව හිමිවෙලා තිබුණේ මේ මොඩ්ල් T එකට (නැහැ, ටොයෝටා කොරොල්ලා එකට වත් වෙන කිසිම මොඩ්ල් එකකට වත් මේ වාර්තාව අයිති නැහැ. කොරොල්ලා කියන්නේ ඩිසයින් එකක් නෙමෙයි, ඒක නිකම් නේම් ප්ලේට් එකක් විතරයි. කොරොල්ලා මුල් කාලේ ආපු මොඩ්ල් සහ දැන් එන මොඩ්ල් අහසට පොළව වගේ. ෆොක්ස්වැගන් ගොල්ෆ් එක වුණත් එහෙමයි. හැබැයි මොඩ්ල් T එකවත් බීල්ට් එකවත් ප්‍රඩක්ෂන් එක ඉවර වෙනකල් එහෙම 'අයියේ තෝ කැත වෙලා තියන තරමක්... මේ උඹමද බොල ඇත්තටම?' කියලා අහන්න තරමට වෙනස් වුණේ නෑ).

ඒ වුණාට විස්සේ දශකේ අන්තිම වෙද්දී ෆෝඩ් මහත්මයට කෙළවෙන්න පටන් අරං තිබුණා. 

විස්සේ දශකේ මැද්දේ වෙනකොට Chevrolet එක ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කපන්න පටන් අරං තිබුණේ. 1925 වගේ වෙනකොට Chevrolet එක ෆෝඩ් එකට වඩා ආදායම් උපයන්න පටන් අරන් තිබුණා. තව ටික කාලයක් යද්දී Chevrolet මාකට් ෂෙයාර් එක ෆෝඩ් එකට වඩා ඉහළ ගියා.  ආර්ථිකයේ ගැටලු සහ අලුත්වැඩියා කටයුතු වගේ දේවල් නිසා 1927 දී ෆෝඩ් සමාගම මාස කීපයකට වහලා තිබ්බා. අලුත් අවුරුද්දේ කඩේ තිබ්බ අන්තිම කෙහෙල් ඇවරිය ගන්න රන්මලීගේ කරට උඩින් පැන්න සිරිදාස මාමා වගේ Chevrolet එක දුවලා ගිහින් තවත් ටිකක් මාකට් එක ඇල්ලුවා.... 1929 දී Chevrolet එක 'හතරේ ගානට හයේ එකක්' කියලා ස්ලෝගන් එකකුත් ගහගෙන ලාබෙට සිලින්ඩර 6 එන්ජිමක් එක්ක කාර් සහ ට්‍රක් එළියට දාන්න ගත්තා. ඒ කියන්නේ ඇවරිය ගේමක් නැතුව සිරිදාස මාමාගේ අතට ගියා. 



අන්තිමට එක්දාස් නමසිය විසි ගණන්වල අන්තිම හරියට වෙන්න, එක්තරා අන්ධකාර දවසක, හෙන්රි ෆෝර්ඩ් මහත්මයා මිචිගන් වල ෆෙයා ලේන් වත්තට වෙලා දඩ බ්ලැක් විලෝ ගහක් දිහා බලාගෙන මනෝ ගහන්න පටන් ගත්තා.

අන්තිමට එතුමාට උගුඩුවා සීලිමට පැන්නා වගේ දිඩිස් ගාලා මරු අදහසක් ආවා...

"තොපි හයක් කියකිය රඟාපියවු නිගා, මම අටක් හදලා දානවා තගා..." එතුමා ගහ දිහා බලාගෙන මිමිණුවා. අර ලංකාවේ සිඟිති පාතාලේ වගේ ඉස්කෝලේදී ගුටිකාපුවා ගැන තනියෙන් දත්මිටි කකා නෙමෙයි. එතුමා එහෙම කිව්වේ සිරාවටම.

මීට කලින් Léon Levavasseur කියලා හාදයෙක් V8 එන්ජිමක් හදලා තිබ්බා. ඒක හයි කළේ ප්ලේන් වලට.  කැඩිලැක් එකත් මීට කලින් V8 එන්ජිමක් තමන්ගේ කාර් වලට භාවිතා කරලා තිබ්බා. තව ගොඩක් දෙනෙක් V8 එන්ජින් එක එක විදිහට පාවිච්චි කරලා තිබුණු බව ඇත්ත. නමුත් ඒවා හරිම සංකීර්ණ එන්ජින්. V8 එන්ජිමක් මහා පරිමාණයෙන් හදන එක කරන්න බැරි දෙයක් කියලයි ඒ දවස් වල කවුරුත් විශ්වාස කළේ. නමුත් ලෝකෙට Mass Production කාර් කලාව හඳුන්වලා දීපු හෙන්රි ෆෝඩ් මහත්මයා 'ඕන *කක්' කියලා අභියෝගය භාරගන්න තීරණය කළා.


Léon Levavasseur


පොරගේ එන්ජිම හයිකරපු ප්ලේන් එකක්
ඇත්තටම ඉතිං එහෙම අවදානමක් ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. ගිය විදිහට ගියා නම් එතුමාට වෙන්නේ අර හා හා හරි හාවා වගේ වලක් කපාගෙන උඩින් පියනක් ගහගෙන හැංගෙන්න තමයි. මොකද ඇත්තටම ෆෝඩ් කොම්පැනිය තිබ්බේ වැලේ වල්, මුලේ මුල් සහ පොලේ පොල් නැතිවෙන තත්වෙක.

කොහොම වුණත් මේ තීරණය හැම කොල්ලටයි බල්ලටයි පූසටයි මැක්කටයි කියන්න හෙන්රි ෆෝඩ් මහත්මයට අවශ්‍ය වුණේ නැහැ. කෝකියෝ වැඩි වුණාම ටික දවසකින් එක කෝකියෙක් නොකියම වට්ටෝරුවත් අරගෙන වෙන හෝටලේකට මාරු වෙන නිසා ෆෝඩ් මහත්මයා මේ වැඩේ භාරදුන්නේ විශ්වාසවන්තම ඉංජිනේරුවෝ සහ තවත් ශිල්පීන් සෙට් එකකට විතරයි. මෙහෙම හොර වැඩක් යන්න බව පිට අය තියා ෆෝඩ් කොම්පැනියේම බහුතරයක් වත් දැනගෙන හිටියේ නැහැ. වැඩේ ගියේ නිදාගෙන ඉන්න පූසට හොරෙන් ගෙදර උයන්න මාළු හෝදන ගානට තමයි. 

හෙන්රි ෆෝඩ් මහත්මයා ෆෝඩ් ෆ්ලැට්හෙඩ් එන්ජිමක් පරීක්ෂා කරමින්

කොහොමෙන් කොහොම හරි වැඩේ භාරදීපු ටීම් එක හොර රහසේම වැඩේ සාර්ථක කරගත්තා. වැඩේ ඉන්තේරුවෙන්ම ගොඩ බව දැනුණට පස්සේ තමයි හෙන්රි ලොක්කා ටිකක් හරි වැඩේ ලීක් කළේ. ඒ කළෙත් ඉතිං අලුත් කාර් එකලස් කරන්න කට්ටිය පුරුදු කරන්න ඕනේ නිසා. 

ෆෝඩ් සමාගමේ Model T එකට පස්සේ වැඩියෙන්ම සාර්ථක වෙලා තිබුණු කාර් එක තමයි Modal A එක. මේක වෙනුවට තමයි 1932 දී අලුත් කාර් එකක් හඳුන්වලා දෙන්න තිබ්බේ. පොළොස් ගැටේ වෙනුවට කොස් ගෙඩි එකයි වරකා ගෙඩි දෙකයි කිව්වා වගේ එක මොඩ්ල් එකක් වෙනුවට මොඩ්ල් තුනක් ආපි! මේවා නම්කරලා තිබ්බේ Model B, Model 18 සහ Model 40 කියලා. 

ඔය Model 18 සහ Model 40 දෙකේ තමයි අර හැංගි හොරා වෙස් බැඳපු V8 එන්ජිම තිබ්බේ.මේවායේ එක එක බොඩි ස්ටයිල් තිබ්බා. සාමාන්‍ය 4 door Sedan එක වගේම 2 door Coupe, 2 door sedan, 2 door Roadster, 2 door Cabriolet සහ 2 door Phaeton ඒ අතරින් ප්‍රධානයි.

අද කට්ටිය මේ එන්ජිම දන්නේ ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම (Ford Flathead V8 Engine) කිව්වම තමයි. 




ඉස්ඉස්සරලාම Model 18 සහ Model 40 දෙක ගැන විස්තර ඇහුවම ඇමරිකාව නිකං බඹර චක්කරයක් පත්තු වෙනවා දැකපු කටුස්සෙක් වගේ ගල් ගැහුණා. මොකද මීට කලින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණු කිසිම කාර් එකකට V8 එන්ජිමක් ඇවිත් තිබ්බේ නෑ. V8 එන්ජිමක් මහා පරිමාණයෙන් හදන්න පුළුවන් කියලා කවුරුවත් හිතුවෙත් නෑ. ඒ වගේම ක්‍රමයෙන් හන්ටර් වෙමින් තිබුණු ෆෝඩ් සමාගමට මේ වගේ බල්ටියක් ගහන්න පුළුවන් වේවි කියලා කවුරුවත් ඔට්ටු අල්ලලා තිබ්බෙත් නෑ. 

නිකං සිලින්ඩර් හතරේ මොඩ්ල් B එක ගැන කාගෙවත් ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමෝම අද පවා උනන්දු වෙන්නේ ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම ආපු මොඩ්ල් දෙක ගැන තමයි. 








කොහොම වුණත් මුලින් ආපු ෆ්ලැට්හෙඩ් V8 එන්ජින් වල ප්‍රශ්න ටිකක් තියන බව ඉක්මනටම මීටර් වෙන්න ගත්තා. මුල්ම චෝදනාව ආවේ එන්ජින් ඔයිල් පිච්චෙන එක. ඊට පස්සේ  ඕවර්හීට් යනවා වගේ තව එක එක ප්‍රශ්න එන්න ගත්තා. මේවාට විසඳුම් දෙන්න ෆෝඩ් එකට සෑහෙන මාළු කටු, කරෝල කටු, මස් කටු, උම්බලකඩ කටු විතරක් නෙමෙයි කොහිල කටු සහ කෝමාරිකා කටු පවා කන්න වුණා. අන්තිමට මේ කටු ටික කාලා දිරෝලා ඉවර වෙලා ෆෝඩ් සමාගම 1935 දී V8 එන්ජිම දියුණු කරලා Model 48 එක හඳුන්වලා දුන්නා. 

1935 දී කාර් 820,000 ක් විකුණලා ඒ අවුරුද්දේ Chevrolet එක පරද්දන්න ෆෝඩ් සමාගමට පුළුවන් වුණා. 



එදා ඉඳන් අද දක්වාම ගොඩක් දෙනෙක් ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිමට හරිම ආසයි. ඒක ස්ටාර්ට් වුණාම තියෙන්නේ හරිම ගාම්භීර හඬක්. ඒ වගේම ඒ එන්ජිම ලොකු බලයක් එන්න වැඩිදියුණු කරන්නත් පුළුවන්. මේ වෙනකොට ෆෝඩ් ෆ්ලැට්හෙඩ් එන්ජිමකින් ලබාගෙන තියන වැඩිම බලය සම්බන්ධ වාර්තාවට අනුව ඒ බලය 700hp කියලා තමයි සටහන් වෙන්නේ. ඒකෙන් ලබාගත්තු වේගය පැයට හැතැම්ම 300 ක් (පැයට කිලෝමීටර් 483 ක්) ලු. ඒ වගේම මේ එන්ජින් අදටත් හොට්රොඩ් කාරයෝ එක එක වැඩ දදා පාවිච්චි කරනවා (හොට්රොඩ් ගැන මම කතා කරන්නේ නැහැ, මොකද ඔය වචනේ දැකපු ගමන් අපේ අය දුවලා ගිහින් හොඳට තියන කාර් කපලා හිච්චි ජපන් එන්ජින් ඔබලා 'පුල් මොඩිපයි' කියලා කාලා දාන නිසා). 

අද අපි Oldsmobile Rocket ගැන, Pontiac GTO ගැන, Ford Mustang ගැන කතා කරකර මසල් කාර් මඩ ගොඩේ කිමිදුණාට ඇත්තටම් ප්‍රඩක්ෂන් කාර් එකකට ලොකු V8 එන්ජිමක් හයිකරන ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම ආපු ෆෝඩ් මොඩ්ල් 18 සහ මොඩ්ල් 40 කාර්. ඒ අනුව බැලුවම ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම තමයි මසල් කාර් කලාවේ ඔරිජිනල් හදවත... 

කාර් පිස්සෝ පරම්පරා ගාණකට පණ පොවපු ඒ හදවත තාමත් ගැහෙනවා...

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
22.04.2017 
www.facebook.com/CarPissuwa

50 comments:

  1. නියමයි..ස්තුතියි ලිපියට...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි තුසිත...

      Delete
  2. පිස්සු කොර බං... ලස්සන ඉදිරිපත් කිරිමක්.. උඔට ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දේශකයාණනි... ප්‍රතිචාරය හැමදාමත් බොහොම වටිනවා...!

      Delete
  3. බවුසරයක් පිටිපස්සෙන් එන්න ඕනා කාර් එකක් ද ?

    අර ස්ටීව් ජොබ්ස් මෑන්වත් උන්දැගේ කම්පැනියෙන් එළියට දානවා නේද.. මට නිකන් එහෙම ඇහුවමත් ෆුල් හොල්මන්.. හරියට නිකන් අපේ ගෙදරින් මාව එළියට දානවා වගේ වැඩක්නේ බන් ඒක..

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු. ඒ කාලේ තෙල් ප්‍රශ්න එහෙමට තිබ්බේ නෑ නේ. ඇමරිකාවේ වාහන downsize වෙන්න ගත්තේ 60 දශකේ අන්තිම ඉඳන් වගේ. එතකං තෙල් ගැන කවුරුත් හිතුවේ නෑ.

      කොම්පැනි කෙරුවාව නං එහෙම තමා. ස්ටීව් ජොබ්ස් ගේ සීන් එක තමයි මම හිතන්නේ ඒ අතරින් ප්‍රසිද්ධම එක...

      ප්‍රතිචාරයට ස්තූතියි සෙන්නා...

      Delete
  4. Thank you for the article. I presume the Ford Customline had the improved flathead V8 in the forties. I still admire the memories of smooth functioning & the deep sound of same.

    ReplyDelete
    Replies
    1. Yes, they continuously updated it. That is why the flathead is still popular among the Rodders. Thank you so much for the comment.

      Delete
  5. නියමයි..නොදන්නා කතාවක්

    ජය වේවා ...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුමුදු...!

      Delete
  6. රහට ලියවෙච්චි යකඩ කතාවක්... හරිම අපූරුයි

    ReplyDelete
  7. මිචිගන් හි ෆෝඩ් ෆැක්ටරියට ගියෙමි. ෆෝඩ් යුග පුරුෂයෙකි. ලංකාවේ ෆෝඩ් වූ උපාලි විජේවර්ධනට දේශපාලකයන් ගේ කුහකකම් නිසා ලංකාවේ කාර් නිපදවීමට බැරි විය​.

    ReplyDelete
    Replies
    1. ෆෝඩ් ෆැක්ටරිය දැකගැනීම කාර් පිස්සන්ගේ හීනයක්...

      කාර් පිස්සුවට දේශපාලනය ගාවා ගැනීමට අකමැති නිසා දෙවැනි කොටස ගැන කිසිවක් නොකියමි...

      ප්‍රතිචාරයට තුති...

      Delete
  8. (හොට්රොඩ් ගැන මම කතා කරන්නේ නැහැ, මොකද ඔය වචනේ දැකපු ගමන් අපේ අය දුවලා ගිහින් හොඳට තියන කාර් කපලා හිච්චි ජපන් එන්ජින් ඔබලා 'පුල් මොඩිපයි' කියලා කාලා දාන නිසා). ��������

    ReplyDelete
  9. Replies
    1. ස්තූතියි ලොකු පුතේ...

      Delete
  10. හප්පේ.. තෙල් බොනව ඇති.
    මොනව උනත් හොඳ ඉදිරිපත් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... ඉන්ධන කාර්යක්ෂමතාව වගේ වචන ගැන හිතුවේ වත් නැති කාලයක් නෙව මේ...

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...

      Delete
  11. මම ෆෝඩ් ට කැමති නෑ, ඇයි කියලා අහන්න එපා, මොකද හරියටම හේතුව කියන්න මම දන්නෙත් නෑ :)
    ඒ නිසා නොදන්නා දේවල් කතා නොකර ඉන්නම්.

    මෙහේ ජපානේ අපේ ගෙදරට පාරෙන් එහා පැත්තේ ගෙදරට අල්ලපු ගෙදර බීට්ල් එකක් ඉන්නවා. මම ලඟදි තමයි මුලින්ම දැක්කේ. Montero sport එකකුයි තව නැහැදිච්ච ජපන් කාර් කීපෙකුයි වට කරගෙන මිනිහ හරි ආඩම්බරේට ඉන්නව, Casio, Seiko වට කරන් ඉන්න Tissot ඔරලෝසුවක් වගේ.

    //උගුඩුවා සීලිමට පැන්නා වගේ දිඩිස් ගාලා මරු අදහසක් ආවා// මේ කතාවේ මම ආසම කෑල්ල මේක. මම ටිකක් වෙලා කල්පනා කළා මේ වගේ උපමා හිතට එන්නේ කොහොමද කියල :)

    ReplyDelete
    Replies
    1. ෆොක්ස්වැගන් එකත් එක්ක ෆෝඩ් කොම්පැනිය ගනුදෙනු කරපු ආකාරය නිසා ෆොක්ස්වැගන් පිස්සොත් පොදුවේ ෆෝඩ් නමට අකමැතියි (හෙන්රි ෆෝඩ් ට නෙමෙයි) :)

      ජපානෙත් හොඳ බීට්ල් සම්ප්‍රදායක් තියනවා. ඒ නිසාම ඔහෙන් අපට හොඳ පාට්ස් සප්ලයි එකකුත් ලැබෙනවා...

      ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි...

      Delete
  12. ඊයේ රෑ නිදාගන්න ගමං මේක කියෙව්වෙ. හීනෙං දැක්ක මං මයිනර් එකක් අරං තියෙනවා. මරුටිය සාලෙ, මයිනර් එක ගැරිජ් එකේ.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඩයිහට්සු හොයන එක නවත්තපිය...

      Delete
    2. ඩයිහට්සු මිජට් එකක් අහුවුනොත් සුරංගයා නොගනී කියල හිතන්න එපා. ඒ තියා පීල් පි 50 එකක් උනත් දැක්කොත් මට පිස්සු හැදෙයි.

      Delete
    3. උඹට බිස්කට් ටින් එකකට කුරුම්බැට්ටි හතරක් හයිකරලා දෙන්නද?

      Delete
  13. උබගේ දැනුමට ඇස් වහක් කටවහක් වදින්න එපා ..
    එල ද බ්‍රා මචෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩෝ...

      Delete
  14. කාර් පිස්සුවට ඇබ්බැහි වුන අලුතම විකිපීඩියා උන්නැහෙගෙන් මේ වින්ටේජ් කාර් ගැන හෙව්වා... ඇත්තටම පින්තූර බලන්න ආසාවට...මලේ උඹ ඒ විස්තර පණ පිහිටවල සින්හලෙන් ලියල තියෙන හැටි......ආසාවෙ බෑ.....ඒ පරණ යකඩ-තෙල්-හුලන් අස්සෙ හැන්ගිලා තියෙන මිනිස්සුන්ගෙ නිර්මාණාත්මක වෙහෙස හිතට දැනෙනව....බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. බොහොම ළෙන්ගතු කොමෙන්ටුවක්... බොහොම ස්තූතියි...

      Delete
  15. අලුත් කාර් ගැන ලියපන් නැත්නම් ඊලග පාර සම්මන උළලේදී දෙන්නේ පොලු පාරක් ඔලුවට

    ReplyDelete
    Replies
    1. ඔළුව නැතුව යන්න වෙන තත්ත්වයක් උදා වෙමින් තියෙන්නේ...

      Delete
  16. පොර හෙන නීති කාරයානෙ. කෙලවෙන්න ඇත්තතෙ ඒකයි. T එක කලු පාටින් විතරයි දෙන්නෙ කියල ටෝක්ස් එහෙමත් දුන්නනෙ. හැබැයි ඉතින් මීටරේට බොරු බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ෆෝඩ් සුපිරි මීටරයක් වගේම අල්ට්‍රා-සුපිරි මට්ටම උද්දච්චයි... ඒ නිසා සස්පෙන්ෂන් එහෙම දියුණු කරන්නේ නැතුව පරණ සිස්ටම් ම පාවිච්චි කළා ලු. මේ නිසා තරගකාරී සමාගම්වලට ඔළුව උස්සන්න චාන්ස් ආවා...

      Delete
  17. පරණ කාර් එකක් ගත්තට පස්සේ මාත් හොදටම කාර් පිස්සෙක් වුනා. දැන් හැමදාම ඇවිත් බලනවා අලුත් ගිපි තියනවද කියලා. සිරා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මොකක්ද ගත්තු පරණ කාර් එක?

      Delete
    2. පරණ කිවුවට පරණම නෑ. හැබැයි මම ලංකාවේ කොහෙවත් එහෙම කාර් එකක් දැකලා නෑ.

      හොන්ඩා සිවික් 1980 දෙවන පරම්පරාවේ හැච්බැක් කාර් එකක්. මට කාර් පිස්සුව බොහොම තද වෙච්ච වෙලාවක අර ඔබතුමා දාලා තිබ්බ ලිපියක වගේ හදිස්සියෙන් තමයි අරන් ආවේ. ඒක ලෙඩ ගොඩක්. මාර ගේමක් දීලා ලක්ෂ එකහමාරක් විතර වියදම් කරලා ගොඩක් වැඩ ගොඩ දාගත්තා. ඒත් ඒකේ ඔරිජිනල් ඩෑෂ් බෝඩ් එක මාරු කරලා ජපන් ඇල්ටෝ කාර් එකක ඩෑෂ් බෝඩ් එකක් දාලා.

      මේ දවස්වල පිස්සෙක් වගේ ඒකට ඔරිජිනල් ඩෑෂ් බෝඩ් එකක් හොයනවා. මම වැඩ කරන්නේ පංචිකාවත්ත කිට්ටුව ඔෆිස් එකක නිසා ලන්ච් ටයිම් එකේ පංචිකාවත්තේ සැරි සරන එක තමයි මගේ මේ දවස්වල නෑම

      Delete
    3. 80 දශකයේ මුල් භාගේ හොන්ඩා සිවික් එකකට මෙච්චර මහන්සි වෙන කෙනෙක් මට හම්බුණාමයි මම හිතන්නේ. වැඩේ ගොඩ ගියාට පස්සේ ෆොටෝ ටිකක් එක්ක කතාව කාර් පිස්සුව ෆේස්බුක් පේජ් එකට එවන්න. කට්ටියට ආසා හිතේවි...

      Delete
  18. මසල් කාර්.....හ්ම්ම්ම්ම්/....හිතුවේ නැති පැත්තක්...

    ReplyDelete
    Replies
    1. ඒක නේ... බලන්න කොච්චර කලින්ද වැඩේ මුල් බැහැලා තියෙන්නේ කියලා...

      Delete
  19. ආස හිතුනා,....ආර්ටිකල් එක මරු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොෂේන්...

      Delete
  20. මේ වගේ ක්ලැසික් හොට් රෝඩ් අද වෙනකොට බොහොම දුර්ලභ කලෙක්ටර්ස් අයිටම් බවට පත්වෙලා. මේව ඔහෙල අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට අතපොවන්ට බැරි එව්ව. ලේසිම දේ බලල ඇති වෙනකම් කෙළ හලන එක.

    අනික විශේෂයෙන් ක්ලැසික් කාර් ෂෝ එකකට ගිහින් මේව දැකල ඩිප්රෙස් වෙලා හූල්ලන එක කාර් පිස්සන්ට උරුම දෙයක් ☹️

    එහෙම නැතිනම් පොඩි අවස්ථාවක් තියෙන්නෙ ඇමරිකාවෙ හරි වතුර වලට වඩා පෙට්‍රල් ගණන් අඩු මැදපෙරදිග රටක රැකියාව කරන ගමන් නවීන මසල් කාර් එකක් පදින එක !

    ෆෝඩ්ම ඕන නම් මස්ටෑංග් එහෙම නැතිනම් දැනට තියන හොඳම මසල් කාර් එක විදිහට මම දකින ඩොජ් චැලෙන්ජර් වගෙම ජීම් ගිහින් ස්ටෙරොයිඩ් අරගත්ත වගේ තියන කැමාරෝ එකත් නරකම නැහැ 😀




    ReplyDelete
    Replies
    1. //විශේෂයෙන් ක්ලැසික් කාර් ෂෝ එකකට ගිහින් මේව දැකල ඩිප්රෙස් වෙලා හූල්ලන එක කාර් පිස්සන්ට උරුම දෙයක්// සහතික ඇත්ත...

      Delete
  21. මේ බ්ලොග් එක අදයි හම්බ උනේ

    ReplyDelete
    Replies
    1. නිතර මේ පැත්තේ ඇවිත් යන්න එන්න...

      Delete
  22. මාර ලස්සන blog එකක්.දිගටම කරගන යන්න නවත්තන්න එපා

    ReplyDelete