Monday, April 17, 2017

කාර් පිස්සුව රයිගම්පුර සවාරි: පතහවත්ත




පානදුර ඉඳන් යනකොට හොරණ පාරේ කොතලාවල හන්දියෙන් පතහවත්ත පන්සල පාරට හරෝලා සෙකන්ඩ් ගියර් එකෙන් තර්ඩ් එකට එන්නත් කලින් 'අප්පට සිරි' කියවෙන ජාතියේ ලොකු කබොක් බැම්මක් පේන්න ගන්නවා. ඒ නිසා පතහවත්ත  වඳින්න හෝ බලන්න එන අයට ආයේ පාර වරදින්නේ නෑ. ඒ කබොක් බැම්මේ එච්. පී. ජයසූරිය මහතාට පින් පිණිස හයිකරපු පැරණි ගේට්ටුවෙන් ඇතුළට දාලා, ලස්සනට වවලා තියෙන තණකොළ යායට නොරිදෙන්න වාහනේ නවත්තලා එළියට බැස්සම රයිගම්පුර රාජධානියේ තවත් එක සුන්දර උරුමයකට එබිකම් කරන්න පුළුවන්.

මම හැමදාමත් කියනවා වගේ පානදුර - රත්නපුර පාර කියන්නේ මම බීට්ල් එක එළවන්න ආසම පාරක්. පානදුරෙන් රත්නපුර පාරට දාලා එළුවිල හරිය පහුකළාට පස්සේ චයිනීස් කෑම කඩ, කොමියුනිකේෂන් සහ හාඩ්වෙයාර් පොඩ්ඩක් අඩුවෙලා පාරේ පොඩි හයිවේ-ඉෂ් ගතියක් මතුවෙනවා. ඒ වෙලාවට බීට්ල් එකේ විසිල් එකේ හඬ මතුවෙන්න ගන්නේ හරියට උදේ හවා බුදුන්ට මල් පූජා කරලා ගෑනුන්ගේ සුබසිද්ධිය පතන ගායකයන්ගේ හඬවල් මැද්දෙන් හෙන්රි කල්දේරාගේ හඬ මතුවෙනවා වගේ...




කළුතර දිස්ත්‍රික්කය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අපූරු පරිච්ඡේද බොහොමයක් කැටිකරගත්තු දිස්ත්‍රික්කයක්. රටේ ඉතිහාසයේ අවුල්පවුල් ගහණ සමයක් වුණු රයිගම්පුර රාජධානිය තිබුණේ වර්තමාන කළුතර දිස්ත්‍රික්කය ඇතුළේ. ඒත් සාම්ප්‍රදායිකව අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර වගේ තැන්වලට ලැබෙන අවධානය කළුතරට ලැබෙන්නේ නැහැ. කළුතර පැත්තේ ඉතිහාසය හොයාගෙන 9 ශ්‍රී 5333 එක්ක යන ගමනේ මුල්ම අදියර වුණේ බණ්ඩාරගම සහ ඒ ආසන්න තැන්වල තියන පෞරාණික විහාරාරාම කීපයක් සොයා යාම. මේ තැන් ගැන අන්තර්ජාලයෙන් පිළිවෙළකට විස්තර හොයාගන්න පුළුවන් වෙන්නේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ දැනට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහත්මයා පවත්වාගෙන ගිය (මම හිතන්නේ දැනට යාවත්කාලීන නොවෙන) බණ්ඩාරගම (bandaragama.wordpress.com) බ්ලොග් එකෙන් විතරයි. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත්කරපු 'පෞරාණික ස්ථාන හා ස්මාරක' කියන පොත් මාලාවේ කළුතර දිස්ත්‍රික්කයේ පෞරාණික ස්ථාන ගැන පොතක් තියනවා. මේකේ තියන විස්තර සංක්ෂිප්ත වුණාට ප්‍රයෝජනවත්. 1927 දී ඒ. ඩී. ආරොන් අප්පුහාමි කියලා මහත්මයෙක් 'රයිගම් කෝරළ ඉතිහාසය' කියලා පොතක් ලියලා පළකරලා තියනවා ලු. අවාසනාවකට මට තවම ඒ පොත කියවන්න හම්බවෙලා නැහැ. ඓතිහාසික සාහිත්‍ය සාක්ෂි ගත්තොත් මයුර සංදේශයේ 51 පද්‍යයේ ඉඳන් 56 පද්‍යය දක්වා (කේ. ජයතිලක සංස්කරණය) රයිගම්පුර වැනුමක් තියනවා. ඒත් මේක සාහිත්‍ය හෝ ඉතිහාස බ්ලොග් එකක් නොවන නිසා මම ඒ පද්‍ය උපුටලා දක්වන්න යන්නේ නැහැ. 

මූලික අදියරේදී මගේ අවධානයට ලක්වුණේ පොකුණුවිට, ලෙනවර, වීදාගම, පතහවත්ත සහ රමුක්කන කියන විහාර. මේ අතරින් පැරණිම ශිලා ලේඛනය හම්බවෙලා තියෙන්නේ රමුක්කනින්. ඒ වගේම මේ විහාර අතරින් ප්‍රමාණයෙන් කුඩාම විහාරයත් රමුක්කන. හොයාගන්න ලේසිම තැන වීදාගම. හොයාගන්න අමාරුම සහ නගින්න දුෂ්කරම, ඒත් ලස්සනම තැන ලෙනවර. වැඩි මහන්සියක් නොවී 'ඓතිහාසිකත්වය' උපරිමයට අත්විඳින්න පුළුවන් තැන පොකුණුවිට. වෙනස්ම තැන පතහවත්ත.




මම මේ විස්තර කරන විදිහෙන් ඔයාලට පේනවා ඇති මේක පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික ගවේෂණයක් නොවන බව. මේක ඇත්තටම කාර් පිස්සුව සහ රටේ ඉතිහාසය එකට මුසුකිරීමක්. ලංකාවේ ඉතිහාසය ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ඉතිහාසයක්. ඒක කාටවත් නෑ කියන්න බැහැ. ඒ වුණාට රටේ සිංහල බෞද්ධකම රැකගන්න කියලා ෆේස්බුක් එකට ඇවිත් වාතය පිටකරන ගොඩක් දෙනෙක් කසිප්පු ලාල් හන්දියේ අටෝපු බුදු පිළිමේ රැකගන්න ගර්ජනා කළාට පතහවත්ත වගේ නමක් කිව්වම පර්ච් එකක් කීයද මචං කියලා අහනවා. ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ ජාති ආගම් සීමා මායිම් නැති කාර් පිස්සුව එක්ක රටේ ඉතිහාසය සහ සංස්කෘතිය වඩාත් පුළුල් අවකාශයකදී එකතු කරන්න.

අනික් අතට, රටේ තාමත් කොමර්ෂල් බුද්ධාගමේ ගෝනුසු අඬුවලට අහුවුණේ නැති පැරණි සිංහල බෞද්ධ ස්මාරක වල අමුතු සන්සුන් බවක් තියනවා. බුද්ධාගම කියන්නේ 'ඔන්න ඔය මගුල අතඇරලා දාලා තමන්ගේ වැඩක් බලාගනිල්ලා' කියන ආගමක්. එහෙම දේවල් කියන මිනිස්සු ගාව තියන අර විශ්වාසයේ සුවඳ නියම බෞද්ධ ස්මාරක වල තාම තියනවා. අවාසනාවකට මේ වගේ සමහර තැන්වලට මිලිටරි භික්ෂූන් සහ මිලිටරි දායකයෝ බැහැලා ඉන්න නිසා මේ තැන් විනාස වෙලා ගිහින්. කොහොම වුණත් බණ්ඩාරගම අවට බොහෝ තැන් තාමත් මේ ඉරණමට ලක්වෙලා නැහැ. ඒක හිතට සතුටක්. (ඒ නිසාම මේ ටික ලිවුවේ ටිකක් බයෙන්. දැන් ඔය තුන්හෙලේ හිකනලා, තුන්හෙලේ උගුඩුවා, තුන්හෙලේ පොළොස් කොට්ටෝරුවා වගේ නම් දාගෙන ඉන්න මොකෙක් හරි ඉම්පීරියල් ගැලුමේ හොරෙක් මේ වගේ තැනක ගිහිං ජරා කරලා ආවොත් මටත් එක්ක පවු...).


ලෙනවර 

රටේ ඓතිහාසික ස්මාරක ගැන උනන්දු වෙන කොට මම හැමතිස්සෙම ඒ වගේ තැනකින් ශිලා ලේඛනයක් හම්බවෙලා තියනවද කියලා හොයනවා. සිංහල භාෂාවේ එක ප්‍රධාන විශේෂත්වයක් තමයි ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ වගේ ඉඳලා අඛණ්ඩව ලේඛන හමුවීම. බුද්ධාගම රට ඇතුළේ ව්‍යාප්ත වුණාට පස්සේ භික්ෂූන්ට ලෙන් පූජා කිරීමේ ඉඳන් පොළොන්නරු කතිකාවත වගේ විශාල ප්‍රමාණයේ නීතිමය ලේඛන ගලේ කෙටවීම් වගේම සීගිරි ගී වගේ මිනිස්සු නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම් දක්වා සිංහල භාෂාවේ පරිණාමය ගැන ලිඛිත සාක්ෂි මහා ගොඩක් තියනවා. මහාචාර්ය රාජ් සෝමදේව ඉතිහාසය දිහා බොහොම විද්වත් දෘෂ්ටියකින් බලමින් හිටපු අතීතයේ එතුමාගෙන් වගේම මහාචාර්ය දඹර අමිල හිමියන්ගෙන් ශිලා ලේඛන ගැන අවුරුද්දක කාලයක් ඉගෙනගැනීමේ වාසනාව මට ලැබුණා. ඒ කාලේ ශිලා ලේඛනයක ස්පර්ශ ලාංඡනයක් දිහා බලාගෙන අකුරෙන් අකුර ඒක ලිහාගන්නකොට දැනුණු සතුට මට අද වගේ මතකයි. ඒත් සමකාලීන සිංහල භාෂාව ගැන පසුකාලීනව වැඩි අවධානයක් යොමුකරපු නිසා පැරණි සිංහල සම්බන්ධයෙන් මට කැපකරන්න පුළුවන් කාලය අඩුවුණා. ඒ ගැන මට තියෙන්නේ දුක සහ සතුට මිශ්‍ර වුණු හැඟීමක්.



රමුක්කන (මේකේ ලියලා තියෙන්නේ රඹුක්කන කියලා)
පොකුණුවිට 



ලෙනවර 


මම කලිනුත් කිව්වා වගේ, බණ්ඩාරගම අවට ඓතිහාසික විහාර වලින් කුඩාම විහාරය තමයි රමුක්කන. ඒ වගේම බස්නාහිර පළාතෙන් ලැබුණු පැරණිම ශිලා ලේඛනයක් එහෙ තියනවා. මේක ක්‍රිස්තු පූර්ව පළමු සියවස සහ ක්‍රිස්තු වර්ෂ පළමු සියවස අතර කාලයට අයත් ශිලා ලේඛනයක් කියලා හිතන්න පුළුවන්. මේකට අනුව සංයුක්ත නිකාය කට පාඩමින් පවත්වාගෙන ආපු භානක පරම්පරාවේ භික්ෂූන් දෙනමක් මේ විහාරයේ වැඩවාසය කරලා තියනවා. අවාසනාවකට අපි ගිය දවසේ පන්සල ඇතුළේ අවුරුදු උත්සවයක් පැවැත්වුණු නිසා නිදහසේ වැඩි විස්තර හොයන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කොට්ට පොර වලට චියර් කිරීම් සහ පොල්ල වටේ කැරකීම කියලා ගේම් එකකට කට්ටිය කැඳවීම් වගේ දේවල් ස්පීකර් වලින් මරහඬ දීලා කියද්දී ඓතිහාසිකත්වය දියවෙලා යන්නේ හරියට උඩවලවේ වාන් දොරටුව ගාවින් අතඇරපු රුපියල් දෙකේ කිරි ටොපියක් වගේ.


රමුක්කන 

රමුක්කන බෝධිය 

මේ අතින් නිදහසේම බීට්ල් එකත් අරගෙන ගිහින් හිත පුරා දැකගන්න පුළුවන් වුණු තැනක් තමයි පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාමය. දැන් විහාරයක් වුණාට මේක රයිගම් බණ්ඩාර වාසය කරපු මාලිගය කියලයි හිතන්නේ. විහාර පරිශ්‍රයේ පිහිටීම, ප්‍රාකාරයේ දිග පළල සහ පොකුණ අනුව බැලුවාම ඒක ඇත්ත වෙන්න පුළුවන්. 1412 දී හයවෙනි පරාක්‍රමබාහු රජතුමා මෙතන ඔටුනු පළඳලා රයිගම් රාජධානිය නිල වශයෙන් ආරම්භ කරපු බවත්, එතනින් එහාට රයිගම් බණ්ඩාර මේකේ පාලනය අරගෙන ගිය බවත් sinhala.news.lk වෙබ් අඩවියේ පළවුණු ලිපියක සඳහන් වෙනවා. පතහවත්ත විහාරයේ පොකුණ හෙවත් 'පතහ' ප්‍රතිසංස්කරණය කිරීමට පෙර සහ පසු ඡායාරූප ඒ ලිපියෙන් බලාගන්න පුළුවන්. ලින්ක් එකට යන්න කම්මැලි අය වෙනුවෙන් ඒ ලිපියේ වැදගත් කොටසක් මේ විදිහට උපුටා දක්වනවා. මේකේ විස්තර සම්බන්ධ සියලු හිමිකම් ඒ වෙබ් අඩවිය, රචකයා/රචකයන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුයි.

"මෙම පොකුණ පිහිටි විහාරයට අයත් ඉඩම වටා මීටර් දෙක හමාරක් පමණ උස කබොක් ගලින් නිම කළ ප‍්‍රාකාරයක් වේ. විහාරයට ඇතුළු වන දොරටු ආසන්නයේ ඇති මෙම කබොක් ගලින් ඉදිකළ පොකුණ මීටර් 34 දිගය. එහි පළල මීටර් හැට දෙකහමාරකි. ගැඹුර මීටර් හතරකි. උයන් වත්ත වැව හා ඍජුව සම්බන්ධ වෙමින් පැරණි මාලිගය සඳහා අවශ්‍ය ජලය රැස් කර තබා ගැනීමට මෙම පොකුණ ඉදිකර ඇත. ඒ සඳහා පොකුණ ඇතුළත උතුරු හා බටහිර බැම්ම යා කරමින් තනන ලද කුඩා ළිඳ, විශේෂ කාර්යය භරයක් ඉටු කරන්නට ඇති බව විද්වත් මතයයි. පොකුණේ නැගෙනහිර බැම්ම ජල ධාරිතාව දරා ගැනීමට සුදුසු වන සේ බදින ලද කබොක් සහ විශේෂ මැටි බදාමයක් භාවිත කර ශක්තිමත්ව බැඳ ඇති අතර ජලය රදවා තබා ගැනීමට කිරි මැටි ආවරණයක් පොකුණේ පත්ලට යොදා තිබී ඇත. පොකුණ ඉදිකිරීමේ දී කබොක් ගල් එකින් එක බැඳීම සඳහා සකස් කළ මැටි බදාමයක් පමණක් යොදා ගෙන ඇති අතර පොකුණේ අත්තිවාරම සඳහා ඉරා ගත් දැව විශේෂයක් භාවිත කර ඇත. යොදාගත් දැව විශේෂය බොහෝ දුරට හොර හෝ කුඹුක් වන්නට ඇති බව අනුමාන කරන අතර එය වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා ලබාගත් දැව නියැදි මේ වනවිට රාජ්‍ය දැව සංස්ථාව වෙත යොමු කර ඇත."


කොතලාවල හන්දියෙන් හරවලා පතහවත්ත පන්සල පාරට දාලා අර විසාල ප්‍රාකාරය පේන්න ගත්තම හිතට දැනුණේ 'අනුරාධපුර' හැඟීමක්. වෑන් වල හෝ ත්‍රීවීලර් වල මේවා බලන්න ගියාම නොදැනෙන අමුතු හැඟීමක් බීට්ල් එකේ ගියාම හිතට දැනෙනවා. ප්‍රාකාරේ දකිනකොටම මගේ හිතට ආවේ විහාර භූමියේ බීට්ල් එක පාක් කරලා තියනකොට කොච්චර ලස්සන වෙයිද කියන එකයි. 





පතහ ප්‍රතිසංස්කරණය කරලා කියන එක මම එතනට යනකොට දැනගෙන හිටියේ නෑ. මොකද අජිත් පී. පෙරේරා මහත්මයාගේ බ්ලොග් එකේ තියන ලිපිය ටිකක් පැරණි එකක්. ඒ කාලේ පතහ ප්‍රතිසංස්කරණය කරලා තිබ්බේ නෑ. විහාර භූමියට ඇතුළු වෙනකොටම පොල් සහ තණකොළ වවලා ඉතාම පිරිසිදුව තියාගෙන ඉන්න විශාල භූමියකට එහායින් පන්සලේ ශාලාව සහ ආවාස ගේ පේන්න ගත්තා. ඊට දකුණු පැත්තේ ටිකක් දුරින් බෝධිය සහ බුදුගෙය පෙනුණා. ඒ අතර මැද්දේ යකඩ වැටකින් වටකරලා තියෙන්නේ පුරාවස්තු කියලා තේරුම් ගන්න මට ළඟට යන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ ඇහැට සහ හිතට ඕවා හොඳට හුරුයි. ඒ නිසා ඒ වෙලාවේ බීට්ල් එකේ ජනේලෙන් දකුණු පැත්ත බලන්න මට අමතක වුණා.

අපි යද්දී හිසතෙල් ගෑමේ නැකතට අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉවර වෙලා, කට්ටිය බොහෝ දෙනෙක් පිටවෙලා ගිහින්, පන්සල ආයෙත් සන්සුන් වෙලා තිබ්බා. අපි පන්සලකට ගියාම ඉස්සරලම හොයන්නේ නිවීසැනසිල්ල. අපි රුවන්වැලිසෑය පාමුලට වඩා අභයගිරිය හෝ ජේතවනය පාමුල ඉඳගන්න ආසා කරන්නේ ඒකයි. පතහවත්තත් ඒ වගේ නිස්කලංක තැනක්. 

බුදුගෙය ඇතුළේ විශාල ප්‍රමාණයේ බුදු පිළිමයක් සහ තවත් පරිවාර පිළිම රාශියක් තියනවා. මේවා පසුකාලීන නිර්මාණ බව පැහැදිලියි. පිළිමවල කාලසීමාව අනුමාන කරන්න තරම් මගේ පුරාතන සිංහල කලා මතකය අලුත් නැහැ. කොහොම වුණත් 'පිහිට පතාගෙන එන' බෞද්ධයන්ගේ බලපෑමට තාමත් මේ බුදුගෙය ලක්වෙලා නැහැ කියන එක බැලු බැල්මට පෙනෙනවා. බෝ මලුවත් එහෙමයි. බෝ මළුවේ සීමාව සහ එහා පැත්තේ ප්‍රාකාරය අතර වල් වැදුණු බිම් ප්‍රදේශයක් තියනවා. මේ කොටස නිසි කැණීමකට ලක්වෙලා නැති බව කියන්න පුළුවන්. 








බෝ මළුවේ අනික් කෙළවරට ගියාට පස්සේ තමයි මම දැක්කේ පතහ ප්‍රතිසංස්කරණය කරලා බව. එතන පහුකරගෙන ඇවිත් කාර් එක නවත්තලා තිබ්බේ. පරණ ෆොටෝ වල දකින්න නැති ගොඩක් දේවල් ඒ බිමට එකතු වෙලා. සාමාන්‍යයෙන් පුරාවස්තු විනාශ වෙලා යනවා කියන එක උදා හවා අහන්න ලැබෙනවා වුණාට මෙහෙම අපූරු ප්‍රතිසංස්කරණයක් වුණු අවස්ථාවක් ගැන ලේසියෙන් අහන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට දුක හිතවන්න හෝ කේන්ති ගස්සන්න බැරි නිසා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මේවා වාර්තා කරන්නෙත් නෑ.

පතහ ප්‍රතිසංස්කරණය කරන්න දායක වුණු හැම දෙනාටම ඒකෙ ගෞරවය යන්න ඕනේ. මොකද ඒක ඉතාමත් විශිෂ්ට විදිහට කරලා තිබුණා. දැන් එතන පුරා විද්‍යා කාර්යලයකුත් තියනවා. අපි ගිය දවසේ නම් ඒක වහලා තිබ්බේ (අවුරුදු නිවාඩුව නේ). ඒ වගේම දෙපැත්තේ තණකොළ වවලා ඒ භූමිය ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යනවා කියලා පැහැදිලිව පෙනුණා. පොකුණේ මාළු වගේම තාරාවෝ දෙන්නෙකුත් ඉන්නවා. අවට පරිසරයේ ලස්සන සහ විහාරයේ ශාන්ත බව එක්ක මේ සේරම එකතු වුණාම හිතට දැනෙන්නේ හරි අපූරු හැඟීමක්. 









ගලින් කරපු පුරාවස්තු කීපයක් මම අර කලින් කියපු ස්ථානයේ තැන්පත් කරලා තියනවා. මේ අතර විශේෂම එකක් තමයි පාද තැබීමේ ස්ථාන දෙකක් සහ එක විවරයක් සහිත වැසිකිළි ගල (මේක කිව්වම හැමෝම අහන දෙයක් තමයි එකපාර දෙන්නෙකුට ඉඳගන්න පුළුවන් එකක්ද කියන එක. ඊට පස්සේ අර එකම ෆේස්බුක් එකවුන්ට් එකේ නම් දෙකම දාගෙන ඉන්න ජෝඩු ගැන ජෝක් එක එනවා. නැහැ, මේකේ දෙන්නෙකුට එකපාර ඉඳගන්න බැහැ. නමුත් ඒක හිතේ ජෝක් අවදි කරන නිර්මාණයක් තමයි). ඉදිරියේදී මේවා ගැන වෙනම තැනක වැඩිදුර කතාකරන්න බලාපොරොත්තුවක් තියනවා. 





විහාරය දැකබලාගෙන ආපහු යන්න ලෑස්ති වෙද්දී මට සුපුරුදු විදිහටම බීට්ල් එකේ ෆොටෝ මහගොඩක් ගන්න අවශ්‍ය වුණා (මේක තමයි 9 ශ්‍රී 5333 අලුත් පෙනුමක් ලැබුවට පස්සේ ගිය පළවෙනි 'සංචාරය'). බීට්ල් එක ඕනෑම පරිසරයකට හරි අපූරුවට මුහුවෙන වාහනයක්. පොදුවේ ගත්තම ඓතිහාසික ස්ථානවල පරිසරය එක්ක පැරණි වාහන මුහුවෙන හැටි හරි අපූරුයි. පන්සල් වල ලොකු හාමුදුරුවරුන්ට අයිති මොරිස් ඔක්ස්ෆර්ඩ්, ඔස්ටින් කේම්බ්‍රිජ් හෝ බෙන්ස් W115/123 වාහන අපි හැමෝම වගේ දැකලා තියනවා. ඒවා ගැන අපිට තියෙන්නේ එක්තරා ආකාරය භක්තිය මුසුවුණු හැඟීමක්. කවදාහරි දවසක ඔක්ස්ෆර්ඩ් එකක හරි කේම්බ්‍රිජ් එකක හරි මෙහෙම පැරණි පන්සලක් බලන්න යාම මගේ හීනයක්. ඒ කොහොම වුණත් ඒ කාරිය බීට්ල් එක මේ වෙනකොට ඕනෑවටත් වඩා හොඳට කරනවා. මම හිතන්නේ ඕනම පරිසරයක ලස්සන දෙගුණ කරන්න බීට්ල් වලට හැකියාව තියනවා කියලයි. මේක මට හොඳටම දැනුණා අනුරාධපුර පූජා නගරයේදී. සමහර විට ඒක කාර් පිස්සෙකුගේ පදනම් විරහිත, භාවාතිශය සිතිවිල්ලක් වෙන්න ඇති.

පතහවත්තෙන් පිටත් වෙලා 9 ශ්‍රී 5333ත් එක්ක අපි ගෙදර ආවේ හරිම තෘප්තිමත් හැඟීමකින්. අතරමගදී රමුක්කනට ගොඩවෙච්චි වෙලාවේ ඇහුණු 'පොල්ල වටේ කැරකීම' වගේ දේවල් වලින්වත් ඒ ප්‍රසන්න හැඟීම මැකුණේ නැහැ. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රවේශය පහුවෙද්දී නම් හිතුණා ඉක්මනටම ආයේ පාරක් හයිවේ සංචාරයක් යා යුතුයි කියලා. කාර්ය බහුලකම නිසා කාලෙකින් ඒ අත්දැකීම විඳගන්න ලැබුණේ නෑ. 

ඉදිරියේදී පොකුණුවිට, ලෙනවර සහ වීදාගම ගැනත් විස්තර ඇතුව ලියන්න බලාපොරොත්තුවක් තියනවා. නමුත් මේවා ගැන ලියන එකට කාර් පිස්සෝ කැමතිද දන්නේ නෑ. කොහොම වුණත් කීප දෙනෙක් හරි මේවා කියවලා වෙනස් විදිහට හිතන්න ගත්තොත් මට ඒක ගොඩක් වටිනවා. මම හැමදාම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ දේ... වාහන කියන්නේ යකඩ විතරක් නෙමෙයි. වාහන කියන්නේ නිදහස. මිනිස්සුන්ට උපන් ගමට පළාතට සීමා නොවී ලෝකේ පුරා යන්න ලැබුණේ වාහන නිසයි. ඒ නිසා වාහන ගැන අපි මීට වඩා පුළුල් විදිහට හිතන්න ඕනේ. එහෙම කරන්න කට්ටිය පොළඹවන්න පුළුවන් වුණොත් අපට ළිං ගෙම්බෝ නොවුණු කාර් පිස්සෝ පරම්පරාවක් බිහිකරන්න පුළුවන් වේවි. 





මේ සංචාර තීරණය කරන්නේ මමද, නැත්තං 9 ශ්‍රී 5333 ද කියලත් මට වෙලාවකට සැකයි. මොකද හැම සංචාරයකම ලස්සනම ෆොටෝවල ඉන්නේ එයා. කොච්චර කොහොම කළත් තැනකට යන්න කලින් ඉන්ටනෙට් එකේ දියබුං ගගහා අදාළ තැන ෆොටෝ හොයද්දී මම ඉස්සරලාම හිතන්නේ බීට්ල් එක අතන පාක් කළාම කොච්චර ලස්සන වේවිද, බීට්ල් එක මෙතන පාක් කළාම කොච්චර ලස්සන වේවිද, අර පාර දිගේ බීට්ල් එක ඩ්‍රයිව් කරනකොට කොච්චර අපූරු අත්දැකීමක් වේවිද, මේ පාර දිගේ යනකොට කොච්චර අපූරුවට බීට්ල් එකේ විසිල් එක ඇහේවිද වගේ දේවල්.

60 දශකයේදී සහ ඊට පස්සේ ලෝකේ පුරා බීට්ල් කල්ට් එකට බැස්ස ගොඩක් දෙනෙක් විස්වාස කළා ලු බීට්ල් එකට ආත්මයක් තියනවා කියලා... 

වෙන්න පුළුවන්...! 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
16.04.2017 

43 comments:

  1. Yesterday I saw a 9 sri beetle(is this the correct word ) on Horana rathnapura road but I was black I guess (not sure)

    ReplyDelete
    Replies
    1. More and more Beetles getting new lives these days, so you can easily spot two or three within a 10-15 mile radius.

      Thank you so much for the comment...

      Delete
  2. Meka kiyewwama issellama enne ammata siri feeling ekak

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂාර. වෙලාවක 'පිස්සු නඩේ' එක්ක මෙහෙම සංචාරයක් යන්න පුළුවන් වේවි අපට...

      Delete
  3. ඇත්තටම ලොක්ක ස්තුතියි මේ වගේ අලුත් විදියට හිතල බ්ලොග් එකේ වටිනකම දෙගුන තෙගුන කරන එක ගැන.මටත් ඉස්සර ඩිඑස්එල්ආර් එකක් ගැන ආසාවක් තිබ්බ සබරගමුවෙ ඉතිහාසෙත් මේවගේ ඇවිදල මතුකරන්න.. ඉතිහාසෙයි වර්තමානෙයි කාර් පිස්සුවයි ලස්සනට ලුනු අඩු වැඩි නැතිව කලවම් කරල තියනව අපුරුවට..ඔව් බ්‍රෝ ..බිට්ල් වලට විතරක් නෙමේ ක්ලැසික් කාර් හැම එකකටම ආත්මයක් තියනව..ඒවගේම ක්ලැසික් කාර් වලට අධිපති දෙවි කෙනෙකුත් ඉන්නව

    ReplyDelete
    Replies
    1. බොරුවට දේසපාලුවන්ව ගොඩදානකල් අපි හැමෝම හැකි පමණින් මේවා ගැන ආදරය පෙරදැරිව උනන්දු වුණා නම් අපට ඉතිහාසය සහ උරුමය ගැන අනිච්චේ දුක්කේ ටෝක් දෙන්න වෙන එකක් නැහැ.

      ප්‍රතිචාරය ගොඩක් වටිනවා මචං...

      Delete
  4. ඔයා පොකුණුවිට තියන විහාරෙ කිවුවෙ කිත්සිරිමෙවන් රජමහා විහාරෙද..?
    යන්න ඕනිම තැනක්.මේ වගේම ලොකු ඉතිහාසයක් තියනවා...මටත් තාම යන්න බැරි උනා...වෙලාවක ගිහින් එන්න ඕනේ...

    විස්තරේ නං සුපිරියි අයියා...

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක තමයි මල්ලි. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. හරිම ලස්සන තැන් මේවා. තම වාණිජකරණය වෙලා නැති නිසා කලබල නැති දවසක ගියා නම් හිත පුරා දැකගන්න පුළුවන්.

      Delete
  5. පන්සලකට ගියාම ඉස්සෙල්ලාම අපි හොයන්නෙ නිවී සැනසිල්ල...
    මේක සහතික ඇත්ත. වාරණ පන්සලට ගිය වෙලේ ලවුඩ් ස්පීකර් දාගෙන ආධාර එකතු කරපු වෙලේ මටත් හිතුණා මම පන්සලකටද ඇවිත් ඉන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. සෙල් ලිපිය නොතිබ්බා නම් මම ඔය අවුරුදු උත්සවේ අස්සේ රමුක්කනට අඩියක් තියන්නේ නෑ...

      Delete
  6. කාර් පිස්සුව හින්දම මට බීට්ල් එකකුත් ගන්න හිතිලා තියෙන්නෙ.. කාර් පිස්සුවට ජය..!

    ReplyDelete
    Replies
    1. වාසනාවන්...! ප්‍රතිචාරයට බොහොම ස්තූතියි...! :)

      Delete
  7. මේ විදිහට ගමන් බිමන් යන්න අපිට ලේසියෙන් හම්බුවෙන්නෙ නෑ. ඒ වගේ කාලෙකදි නිදහසේ යන්න පුළුවං තවත් තැන් ලංකාවෙ තියෙන එක සතුටක්. ඔය වගේම තැනක් තියෙනව කලුතර උග්ගල්බොඩ මල්අස්නෙ පන්සලේ පහල. එතන එක්දාස් හාරසිය ගානෙ හදපු දේවාලයක් තියෙනව. හැබැයි එතනට කාරෙක ගෙනියන්න බෑ.

    පළවෙනි පොටෝ එක දැක්කම මට මතක් වුනා ගිරා සංදේශයේ කවි කීපයක්

    හනේ හපොයි මේ කොල්ලා කරපු හැටී...
    හිටිය ලෙසට කහ පාටට ඉන්ට නොදී....
    හතර වටෙන් කොළ පාටට ගාපු හැටී...
    මැද ටික මගේ සුදු පාටට සමර කැටී...

    පන්සල වත්තෙ පොල් ගහයට සෙවන ඇතී...
    කදිමට වැවුණ තණකොල යායක නැවතී...
    ඉතුරු ටිකත් කොළ පැහැ කරගන්න හිති...
    වොක්ස්වාගන් එක තණකොළ උලා කතී...

    ReplyDelete
    Replies
    1. උග්ගල්බොඩ ගැන මම දැනගෙන හිටියේ නෑ... බොහොම ස්තූතියි මචං...

      Delete
  8. Lenawara, pokunuwita, weedagama nam gihin tiyenawa.. api kaalayak pokunuwita padinchi wela hitiya.. sundara mataka godak aluth una.. sthuthi..

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ පැත්තේ හිටපු බවක් මට මීටර් නෑ නේ... :) 190E එක තියන කාලේ නම් ෆොටෝ එහෙම නැද්ද?

      Delete
  9. තරමක් කිට්ටුව තියෙන තැනක් වෙලත් ගොඩ දවස් ගානක් ඔතනින් ගිහිල්ල තිබිලත් ඔහොම තැනක් තියෙනවද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. මේක කියෙව්වට පස්සේ මුලින්ම කලේ ගුගුල් දෙයියන්ගේ කැමරා එකෙන් ඔය පාර දිගේ ගිහින් පන්සල සහ විශාල කබොක් තාප්පේ බලාකියා ගත්තු එක...
    නිවාඩු පාඩු වෙලාවක ගිහින් බලන්න ඕනෙ...
    ස්තුතියි මචං විස්තරයට...

    අර සුරංග කිව්වත් වගේ බීට්ල් එකේ තිබ්බ ලස්සන නැති වෙලා අලුත් පාටවල් එක්ක...
    කලින් තිබ්බ පේන්ට් එක මරු, අයිකැචින්...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි මචං...

      පාට ගැන කියනවා නම්, 90% ක් ආවේ යහපත් ප්‍රතිචාර. 90 දෙනෙක් කැමති වෙද්දී 10 දෙනෙක් අකමැති වෙන එක සාමාන්‍ය දෙයක්. කහපාට තිබිලා කහයි කලුයි කළාමත් ඔය වගේම ප්‍රතිචාර ආවා. මම ඊළඟට ඕක තනි රතු කළොත් කට්ටිය ඔය විදිහටම කොලයි සුදුයි මරු නේ කියාවි... :)

      Delete
  10. ලස්සනට ලියල තියෙන කතාවක්, ඔය ඒක තැනක් වත් මම දැකල නැහැ. ඉකමනටම ගිහින් බලන්න ඕනෑ .

    ReplyDelete
    Replies
    1. රමුක්කන ඇරෙන්න අනික් තැන් ඔක්කොම හරිම ලස්සන, නිස්කලංක තැන්. ඒ වගේම ලෙනවර ගොඩක් උසට නගින්න තියනවා. සමහර ගල් පඩි ඇත්තටම නගින්න අමාරුයි. හැබැයි මුදුනට නැග්ගම හරිම ලස්සනයි.

      Delete
  11. පන්සලක් නැතිවෙන්න හේතුවක් තමයි පන්සල අස්සෙ දේවාල දාගෙන බුදු හාමුදුරුවො අමතක කරල දෙයියන්ට වඳින්න යන එක. මමනං කොහොමටත් ඔය තදබද දවස්වලට පන්සල්වල යන්න කැමති නෑ.

    ඉතා හොඳ විස්තරයක් වගෙම ෆොටෝ ටිකත් ලස්සනයි. ඉතුරු තැන්වල විස්තර ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා... ඒවා ගැනත් ලියන්නම්...

      Delete
  12. //ඓතිහාසිකත්වය දියවෙලා යන්නේ හරියට උඩවලවේ වාන් දොරටුව ගාවින් අතඇරපු රුපියල් දෙකේ කිරි ටොපියක් වගේ// වාන ඇරපු දවසක මේක කරල බලන්න ඕන. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්න කරනවා නම් පර්යේෂණ... ;)

      Delete
  13. ඇත්ත කතාව..පන්සල් දේවාල කරගන්න වැඩේට මමත් එකහෙලාම විරුද්ධයි.පන්සලක තියෙන නිස්කලංක බව නැත්තටම නැතිවෙන වැඩක් මේක නම්...
    බීට්ල් එක කියන්නෙ හැම තැනකදිම පරිසරයත් එක්කම අපූරුවට මුහුවෙන වාහනයක්...

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම හපන් අවුරුදු උත්සව කෙරුවාව!

      Delete
  14. Replies
    1. My pleasure. And thank YOU so much for the feedback...

      Delete
  15. මේක ලියල තියෙන ‍ශෛලිය , පින්තූර යෙදීම කදිමයි ,විශිෂ්ඨ කාර්යයක් ඔබ කර ඇත්තේ , මම හිතන විදිහට බීට්ල් වලට කැමති ගොඩක් අය පෞරාණික දේට කැමති සුන්දරත්වයට ආසා කරන උදවියයි (මමත් ඇතුලු)මේ තැන් බලන්න යන්න උවමනාවක් ඔබ ඇතිකලා ස්තුතියි. සංස්කෘතිය රැකීමට කියා කරන අවුරුදු උත්සව දැන්නම් ඒක කනවා, පන්සල් වල අවුරුදු උත්සව ගත්තම ඒවායේ නිස්කලංක බව නැතිකරල දානවා.ඔබට මල්ලි කියල අමතනවද පුතා කියා අමතනවද නොදනිමි.කොහොම උනත් ඔබේ සේවය විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන බොහොම ස්තූතියි. මේ වගේ ප්‍රතිචාර නිසා තමයි මෙහෙම දේවල් වැඩිවැඩියෙන් කරන්න උනන්දුව ඇතිවෙන්නේ...

      Delete
  16. වටින පෝස්ට් එකක්........

    ReplyDelete
  17. මම ඔය පාර මොකක්ද කියලා බැලුවා මේ විස්තර කියවලා. අපි ඕකෙ කීපවතාවක් ගිහින් තියෙනවා. ඕක A8 නේද? අලුබෝමුල්ල, බණ්ඩාරගම, පොකුණුවිට (කරුණාසේන ජයලත්) හොරණ, ගුරුගොඩ, පෝරුවෙදණ්ඩ, ඉංගිරිය, දුම්බර( මොනවා මෙහෙත්?) ඉඩංගොඩ, ගොක‍රැල්ල, කහන්ගම, රත්නපුර. ඒකනෙ පාර?

    ReplyDelete
    Replies
    1. හරියටම හරියටම හරියටම හරි ඩූඩ් අයියා...

      Delete
  18. රයිගම් කෝරළේ ගොඩක් ගම්වල තියෙනවා දේවාල. ඒවා පත්තිනි දේවාල. ගොඩක් ඒවා අවුරුදු සිය ගණනක් පරණයි. ගොයම් කපල අස්වනු අරගෙන පත්තිනි දෙවියන්ට පුදලා මේ දේවාලවල දෙවොල් මඩු ශාන්තිකර්ම තියනවා අවුරුද්දකට පාරක්. රට වටෙන්ම එන වෙළෙන්දො සල් පිල් දානවා ඒ අහල පහල. හරිම ලස්සන අත්දැකීමක්. වෙලාවක යමං එහෙම දේවාලයක් හොයාගෙන. කපු මහත්තයෙක්වත් අල්ලගෙන කයියක් ගහල බීට්ල් එක දේවාලෙ පාමුල තියල පිංතූරෙකුත් ගන්න බලං යමු

    ReplyDelete
    Replies
    1. අන්න නියම අදහස... කාලේ බලලා විවේකයක් පාදගෙන යමං...

      Delete
  19. පරක්කු වෙලා හරි ඔන්න මම ආවා

    ReplyDelete
    Replies
    1. අප්පා... කොහෙද මෙන්ඩෝ ගිහිං හිටියේ?

      Delete
  20. බීට්ල් එකක් අරන් හොඳම තත්වයට ගොඩ දාන්න කීයක් වගෙ යනවද සාමාන්‍යයෙන්...දළ අදහසක් දෙන්න පුලුවන්ද..?

    ReplyDelete