Friday, October 7, 2016

මයිනර් වලට මේජර් විදිහට පෙම් කිරීම



මොරිස් මයිනර් එක කියන්නේ හැමතිස්සෙම මාව ප්‍රශ්න කරන කාර් එකක්...

මොරිස් මයිනර් සැරින් සැරේ ඉන්ටනෙට් එකෙන්, ගාලු පාරෙන් සහ මගේම ගෙදර ගරාජ් එකෙන් හොම්බ දාලා 'උඹ තාම උඹව හරියට තේරුම් අරගෙන නෑ' කියලා ආපහු නිහඬ වෙනවා.

මම, මගේ පවුලේ අය, නෑදෑ හිතවත්තු, තරහකාරයෝ, ගෙවල් පැත්තේ ඉන්න යාලුත් නැති තරහත් නැති පොරවල්, ගමනක් ගියාම මාව දකින අය ඇතුළු සියලු දෙනා හිතන විදිහට මම කොන්දේසි විරහිත ෆොක්ස්වැගන් පිස්සෙක්. මම අවුරුදු 6 ක ඉඳන් ෆොක්ස්වැගන් බීට්ල් පාවිච්චි කරනවා. බීට්ල් දෙකක ප්‍රොජෙක්ට් කරලා තියනවා. බීට්ල් ගැන අම්බානක කතා කරලා, ලියලා තියනවා. මම හිතන්නේ දෙතුන් දෙනෙක් ඒ නිසාම ෆේස්බුක් එකෙන් මාව අන්ෆ්‍රෙන්ඩ් කරලත් තියනවා. අර ළමයා ඇඳේ චූ කළාමත් ගූගල් ස්ට්‍රීට් වීව් වගේ වටේ ගිහින් ෆොටෝ ගහලා දාන මිනිස්සු!

මොරිස් මයිනර් ගැන මගේ හිත ඇතුළේ මෙව්වා එකක් ඇතිවෙන්න ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. එකක් තමයි දයාරත්න අන්කල්ගේ මොරිස් මයිනර් එක.  අනික තමයි වසන්ත සමරසිංහ මහත්මයාගේ කාර් ටික ඉන්ටනෙට් එකේ නිතර දැකීම. විශේෂයෙන්ම අර මයිනර් ටයිම්ස් එකේ පළවුණු ලිපිය. සමරසිංහ මහත්මයගේ නමේ අගට එතුමා පාවිච්චි කරන අර MV කෑල්ලේ තේරුම 'මොරිස් වසන්ත' කියන එක කියලා මම දැනගත්තෙත් මේ ලිපියෙන්. තමන්ගේ පියාගෙන් මේ මොරිස් පිස්සුව බෝ වුණු හැටි සහ ඒ පිස්සුව සුව වෙනවා වෙනුවට වැඩි වෙමින් පවතින හැටි එතුමා මේ ලිපියෙදි කතා කරනවා.

සමරසිංහ මහත්මයාගේ මයිනර් එකතුවෙන් වැඩියෙන්ම ජනප්‍රිය අර සුදුපාට convertible එක කියලයි මම හිතන්නේ.



















මේ ෆොටෝ ටිකේ සම්පූර්ණ හිමිකම් වසන්ත සමරසිංහ මහත්මයා සතුයි.

හැබැයි  මම නම් කවදත් ආසා කළේ එතුමා ගාව තියන කොළ පාට මයිනර් එකට. එතුමා මේ ළඟදී ඔය උඩ තියන ෆොටෝ ටික මට එවුවා. නමුත් කොළ පාට මයිනර් එකේ ෆොටෝ එතන තිබ්බේ නැහැ. සමහර විට ඒක විකුණලාද දන්නෙත් නැහැ. දුක හිතෙන්නේ ඉඩ තියන නිසා මම අහන්න ගියෙත් නැහැ.

මම මගේ පළවෙනි (සහ මේ දක්වා එකම) මොරිස් මයිනරේ ගෙනාවේ හොරණින්. ඒකත් මම බලන්න ගියේ බීට්ල් එකේ පාහියංගල යන අතරේ. ඒක දැක්ක ගමන් මට බයක් ආවා, ඒක මම ගත්තේ නැත්නම් කවුරුහරි පාට්ස් වලට ගලවයි කියලා. ඒ නිසා හැකි ඉක්මනින් ඒක අරගන්න මම තීරණය කළා. මිලගණන් වලට එකඟ වුණාට පස්සේ මට ඕන වුණේ ඕක එළවගෙන එන්න. නමුත් අයිතිකාරයා මට බොහොම කාරුණිකව දැනුම් දුන්නා ඕක එළවන් යන්න ගියොත් ගෙදර නෙමෙයි යන්න වෙන්නේ, පොලීසිය හෝ ඉස්පිරිතාලේ යන දෙකෙන් එකකට කියලා.

හැමෝම කියන කතාව තමයි. මයිනරේ බ්‍රේක් අඩුයි...

ජීවිතේට එකපාරක් හරි කාර් එකක් ෆ්ලැට් බෙඩ් එකක දාලා ගේන්න ආසාව තිබුණු නිසා (සහ පොලීසියට හෝ ඉස්පිරිතාලෙට මගේ විශේෂ කැමැත්තක් නැති නිසා) මමත් අයිතිකාරයාගේ කීමට වහාම එකඟ වුණා. එයා බොහොම කාරුණිකව මට සාධාරණ ගාණකට ලොරියකුත් කතා කරලා දුන්නා.

ගෙදර ගෙනාවට මම මයිනරේ ස්ටාට් කරන්නවත් හරියට දැනගෙන හිටියේ නැහැ. යතුර දාලා නොබ් එකක්  අදින්න ඕනේ කියලා මට මතකයක් තිබ්බේ නැහැ.  ඉතින් ෆ්ලැට් බෙඩ් එකේ කොල්ලෝ දෙන්නා මට කාර් එක වත්ත ඇතුළට තල්ලු කරලා දීලා යන්න ගියා.

අපේ ගෙදර තට්ටු එකහමාරක් තියනවා. අපි ඉන්නේ උඩ තට්ටුවේ. උඩ තට්ටුවේ පඩිපෙළේ මුදුනේ හිටගත්තම වත්තේ තියන දෙවෙනි කාර් එක ලාවට පේනවා.

මට මතක හැටියට මයිනර් එක ගෙනාපු දවසේ සැලකිය යුතු හඳ එළියක් තිබ්බා. එදා රෑ එකොළහමාරට විතර මම හෙමින් සීරුවේ උඩ තට්ටුවේ දොර අරගෙන පඩිපෙළේ උඩම පඩියට ආවා.  ලා හඳ එළියකින් නෑවිලා මයිනරේ බොහොම නිස්සද්දව බීට්ල් එකට පිටිපස්සෙන් නිදාගෙන ඉන්නවා. එයා තාම මාව අඳුරන්නේ නැහැ, මම එයාව තාම අඳුරන්නේ නැහැ. හරියට කොහේ හරි ගෙදරක හැදිච්චි බලු පැටියෙක් ඉස්සරලාම වෙන ගෙදරකට අරගෙන ගියා වගේ. බලු පැටියා තෝන්තුවාවෙන් හොම්බ බිම ඇනගෙන ඉන්නවා. අලුත් අයිතිකාරයා දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. හැබැයි එයා බලු පැටියට දැනටමත් ගොඩක් ආදරේ කරන්න පටන් අරං...

මගෙයි මයිනරෙයි සම්බන්ධෙ පටන් ගත්තේ ඒ විදිහට...




කාර් සම්බන්ධයෙන් හොම්බ සූරාගන්න සහ සමතලා කරගන්න හැම අවස්ථාවකදීම මගේ පිහිටට එන දයානන්ද අයියා පහුවෙනිදා ඇවිත් මට කියලා දුන්නා මේක යතුරෙන් නෙමෙයි නොබ් එකෙන් ස්ටාට් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කාර් එක ස්ටාට් කරගෙන එයා ගාවට අරන් ගියා අවශ්‍ය මූලික රෙපයාර් ටික කරගන්න.

හැත්තෑ තුනේ 1600 බීට්ල් එකක් එළවලා පනස් පහේ සීරීස් ටූ මොරිස් මයිනරයක් අතට ගන්නවා කියන්නේ ක්‍රිකට් ගගහා ඉඳලා කඳු නැගීමට මාරු වුණා වගේ වැඩක්. ක්ලච් එකයි බ්‍රේක් එකයි තියෙන්නේ එක ළඟ. එකතැන හරවද්දී ස්ටියරින් වීල් එක මාර තදයි. සයිඩ් කන්නාඩිවලින් මෙලෝ මලදානයක් පේන්නේ නැහැ. එන්ජිම තියෙන්නේ ඉස්සරහා නිසා ඉස්සරහින් සද්දේ එන්නේ කොහොමද කියලා ඔලුව විකාර වෙනවා (මේක තේරෙන්නේ ෆොක්ස්වැගන්ම පැදලා ජීවිතේ එයාකූල්ඩ් වෙච්චි එවුන්ට විතරයි). පිටිපස්සේ රෝද ගලක් වලක් උඩින් යනකොට ඔන්න ගලක් මෙන්න වලක් කියලා හොඳට දැනෙනවා. 

හැබැයි මේ සේරම දවසක් දෙකක් යනකල් විතරයි...

දයානන්ද අයියා මට අවශ්‍ය මූලික කටයුතු ටික කරලා දුන්නා. වෝටර් පම්ප් එක තන්තිරිමලේ උඩින් කම්බි රෝලක් ඇදන් යනවා වගේ සද්දයක් දෙමින් තිබ්බ නිසා මම අලුතින් වෝටර් පම්ප් එකක් ගෙනත් දැම්මා. බ්‍රේක් බඩු ටික දැම්මා. එච්චරයි.

දවසක් දෙකක් පැද්ද ගමන් පැඩ්ල් ටික කකුලට හුරු වුණා. ඩිස්ක් බ්රේක් තරම් හොඳට වාහනේ නවතින්නේ නැති වුණාට මයිනර් වල කොහොමත් බ්‍රේක් නෑ කියන කතාව මයිනර් හදන්න දන්නේ නැති බූරුවෝ සහ මයිනර් හදාගන්න පින් නැති අවාසනාවන්තයෝ කියන කතාවක් බව මට බොහොම ඉක්මනට ඔප්පු වුණා.

මයිනර් එකේ මම ආසම දෙයක් තමයි එන්ජිමෙන් එන මිහිරි සද්දේ. බීට්ල් එකේ වගේ විසිල් නැති වුණාට මොරිස්/BMC එන්ජින් වල අමුතු පැණි රසක් එක්ක ගම්මිරිස් රසක් වගේ දෙයක් මට දැනෙනවා. ඊට සාපේක්ෂව බීට්ල් එක නිකං අමු මිරිස් කරලක් හපනවා වගේ. සමහර වැඩ අධික වෙලාවල්වලට හිතේ සැහැල්ලුවක් ඕන වුණාම, ඒත් ඩ්‍රයිව් එකකට යන්න වෙලාවක් නැති වුණාම මම මයිනර් එකට නැගලා ස්ටාට් කරලා එන්ජිමේ සද්දේ අහන් ඉන්නවා.



අනික් එක තමයි ස්ටියරින් එක කොච්චර stable ද කියන එක. බීට්ල් එක එළවද්දී ස්ටියරින් එක යන දිහාව ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. ඒක බීට්ල් එකට ආවේණික ලක්ෂණයක්. සමහරු මේක පිළිගන්න කැමති නැහැ. නමුත් බීට්ල් එකක් ස්ටියරින් වීල් එක අතඇරලා පදින්න ගියොත් මීගමුවේ යන්න ගිය එකා නවතින්නේ හම්බන්තොට. නමුත් මයිනර් එක එහෙම නැහැ. මයිනර් එකේ ස්ටියරින් එක ඊට වඩා විස්වාසයි. ඒ වගේම turning circle එකත් බීට්ල් එකට වඩා හොඳයි. ඒ නිසා ටවුම ඇතුළේ යූ-ටර්න් ගහන්න ලේසියි.

(මේ වාහන දෙක සංසන්දනය කරන එක තනි බ්ලොග් පෝස්ට් එකකින් කරන්න අමාරුයි. නමුත් අනාගතයේ දවසක ඒකට උත්සහයක් ගන්නම්. අනික එහෙම සංසන්දය කරන්න ඕනේ 50 ගණන්වල බීට්ල් එකක් එක්ක මිසක් මගේ හැත්තෑ තුනේ බීට්ල් එක එක්ක නෙමෙයි. මගේ කලින් බීට්ල් එක පනස් නමයෙ හදපු එකක්. ඒ නිසා දවසක මම ඒකත් එක්ක සංසන්දනය කරන්නම්).

මගේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තු දවස

මොරිස් මයිනර් ගැන කාලෙකද ඉඳන් ලියන්න හිටියත් වෙලාවක් ආවේ නැහැ. මගේ මයිනර් එකේ ප්‍රොජෙක්ට් එකේ කතාවත් එහෙන් මෙහෙන් ගහලා දාලා ලියන්න මට හිත දෙන්නේ නැහැ. ඒ නිසා මම වැඩේ පස්සට දදා හිටියා. නමුත් ඔන්න ඔහේ අඩු තරමින් නාමිකව හෝ ලිපියක් ලියපන් කියලා මගේ හිත මගෙන් ඉල්ලුවේ අර මේ පෝස්ට් එකේ මුලින්ම දාලා තියන, නවින්ද නිර්මාල් වික්‍රමසිංහ එවපු ෆොටෝ එක දැකලා.

අද බීට්ල් වලට තියන සුපර් ස්ටාර් පිළිගැනීම මොරිස් මයිනර් වලට නැහැ. ගොඩක් අය තාමත් මොරිස් මයිනර් දිහා බලන්නේ එක්කෝ පප්පා කාර් එකක් විදිහට. නැත්නම් ඉස්සර ටැක්සි දුවපු එකක් විදිහට. එහෙමත් නැත්නම් මිනි කූපර් එකකට ගන්න පුළුවන් පොතක් විදිහට විතරයි. අද 2 ශ්‍රී වලින් එහා හොඳ තත්ත්වේ මයිනර් එකක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනේ.

මට කියන්න ඕන දේ මෙන්න මේකයි. මයිනර් එක කියන්නේ අපූරු වාහනයක්. හොඳට නඩත්තු කරගෙන යනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව රට වටේ යන්න පුළුවන් වාහනයක්. මයිනර් වලින් කඳු පාරවල් වල එහෙම ගිහින් ආපු අය දාපු ෆොටෝ පහුගිය දවස් වල බුකියේ එහෙම ඕන තරම් ෂෙයා වුණා.

ප්‍රොජෙක්ට් එකට පස්සේ. තව වැඩ ටිකක් ඉතුරුයි.

ඒ වගේම තමයි මයිනර් එකේ තවුසන් එන්ජිම හොඳට තියනවා නම් ඕක හයිවේ දුවන එකත් මහා කජ්ජක් නෙමෙයි. එහෙම හයිවේ ගිය අයත් දැන් දැන් ටික ටික මතුවෙනවා. ළඟදී 8 ශ්‍රී මොරිස් මයිනර් එකක් බලන්න ගිය මගේ යාලුවෙක් කිව්වා එයාගේ චෙරි කාර් එකට වඩා හොඳට ඒකෙ ගියර් මාරු වෙනවා කියලා.

ඒ වගේම මයිනර් එක ඇතුළේ ගොඩක් ඉඩ තියනවා. ඒ නිසා කට්ටියක් එක්ක ගමන් යන්නත්, බඩු ගේන්නත් ඒක ඉස්තරම්. තවමත් කොළඹ පැත්තේ හාඩ්වෙයාර් එකක බඩු අදින්න 9 ශ්‍රී වගේ මොරිස් මයිනර් එකක් පාවිච්චි වෙනවා (මේකේ පින්තූරේ හොයාගන්න ෆේස්බුක් පේජ් එක පීරුවත් බැරිවුණා). අර දොර දෙකේ පිස්සුව තියන අයට ටිකක් හෙවුවොත් දොර දෙකේ එකක් හොයාගන්න පුළුවන්. නැත්නම් දොර හතරේ ඒවා නම් ඕන තරම් තියනවා.


මේක ලසිත මාරසිංහ කාලෙකට උඩදී දැකපු එකක්

මයිනර් එක කියන්නේ ටින්කරින් කරන්න අමාරු කාර් එකකුත් නෙමෙයි. හැබැයි අමතර කොටස් හොයාගන්න එක ෆොක්ස්වැගන් වල අමතර කොටස් හොයන තරම්ම ලේසි නැහැ. මොරිස් අමතර කොටස් විකුණන පංචිකාවත්තේ කඩවල් අර ෆොක්ස්වැගන් කඩවල් වගේ එච්චර උද්යෝගයක් පේන තැනුත් නෙමෙයි. ඒවට ගියාම සමහර වෙලාවට දැනෙන්නේ ආණ්ඩුවේ කන්තෝරු වලට ගියා වගේ. මිනිස්සු හොඳයි, ඒ වුණාට නිකං අර නිවිච්ච් තේකක් වගේ මොකද්දෝ ඇල් රහක් ඒ කඩවල තියෙනවා. මේක ඉතින් මට හිතෙන හැටි. හැබැයි ඉතින් අවශ්‍ය අයට මේ අමතර කොටස් ඕන එකක් රටින් ගෙන්නන්න පුළුවන්. (එක්තරා කරුණාවන්ත මහත්මයෙක් මට සයිඩ් ලයිට් දෙකකුත් දුන්නා. එතුමා ප්‍රසිද්ධියට අකමැති නිසා නම සඳහන් කරන්න විදිහක් නැහැ). 

මයිනර් හොයන දවස්වල මම බලන්න ගිය එකක්

කොච්චර මොනවා ලිව්වත් අදටත් මම ප්‍රධාන කාර් එක හැටියට පාවිච්චි කරන්නේ ෆොක්ස්වැගන් එක. මගුල් ගේක යන්න වුණත් මම යන්නේ ෆොක්ස්වැගන් එකේ. නමුත් හදිසියකට ගෙදර කෙනෙකුට බේතක් හේතක් ගන්න ඕන වුණාම හරි, බඩු ටිකක් ගේන්න ඕන වුණාම හරි ඒකට කරගහන්නේ මයිනර් එක. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මම අර හාඩ්වෙයාර් එකේ වගේ බඩු අදින්න මයිනර් එක පාවිච්චි කරනවා කියලා. ඒවට තමයි ත්‍රීවීල් සහ අත්ට්‍රැක්ටර් තියෙන්නේ. නමුත් සති අන්තේ බඩු ටික ගේන්න ඕන වුණාම හරි, එහෙමත් නැත්තං ඔය ඉලෙක්ට්‍රොනික් බඩුවක්, ප්ලාස්ටික් බඩුවක් ගන්න ඕන වෙලාවක හරි යමු මචං කියලා ඉස්සරහට පනින්නේ මයිනර් එක මිසක් බීට්ල් එක නෙමෙයි. බීට්ල් එක කැමති වටේට ලයින් දදා විසිල් ගගහා නිවාඩුවට ආපු සුද්දා වගේ යන්න විතරයි. 

මයිනර් ගැන මට තියන ලොකුම වේදනාව තමයි ඒවා තාත්තලා පාවිච්චි කරලා පුත්තු දිරන්න අරින කාර් එකක් බවට සීමා වීම. අද ගොඩක් වෙලාවට කවුරුහරි 'අන්න අහවල් තැන වාහනයක් දිරනවා' කියලා කිව්වොත්, එතනට ගිහින් බැලුවම තියෙන්නේ එක්කෝ මොරිස් මයිනර් එකක්, නැත්නම් ඔස්ටින් A35 වගේ එකක්. සමහරු මම ඉස්සලාම ගත්තු කාර් එක/අපේ තාත්තා මාව ලැබිලා ගෙදර අරන් ආපු කාර් එක/අපේ සීයා එළවද්දී මැරිච්ච කාර් එක/විජේවීරව අත්අඩංගුවට ගත්තු දවසේ අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර තිබුණු කාර් එක වගේ හේතු කියකියා ඕවා ඔහේ දිරන්න අරිනවා. බලන්න යන අයත් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ කූඹි කාපු ලොසින්ජරයක්වත් ගන්න බැරි ගණන් වලට නිසා අර මිනිස්සුන්ට යකා නැගලා බැනලා එළවගන්නවා. අන්තිමට වාහනේ කාටවත් නැහැ. 

මේක එවුවේ නුවන් විජේතුංග කියලා කෙනෙක්

මටත් ළඟදීම මයිනර් එක දෙන්න වෙන්න ඉඩ තියනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එකට යන්න මට හිතේ අමාරුවෙන් වුණත් සමහර දේවල් වෙනස් කරන්න වේවි. එහෙම කියලා මයිනර් වලට මගේ හිතේ තියන ආදරේ අඩුවෙන්නේ නැහැ. ඒ වගේම උන් හිටි ගමන් එකපාරට මම 8 ශ්‍රී 9 ශ්‍රී වගේ මොරිස් මයිනර් එකක් ගෙනත් දාගන්නත් ඉඩ තියනවා. 

මම කාර් පිස්සෝ හැමෝගෙන්ම ඉල්ලන්නේ මෙච්චරයි. මයිනර් එක 'ගතියක් නැති කාර් එකක්' කියලා හිතන්න එපා. එක එක රැලි එනවා යනවා. ඔය රැලි ඔක්කොම හදන්නේ මිනිස්සු. ඔයාලා මයිනර් වලට ආදරේ කරන්න ඉගෙන ගත්තොත්, මයිනර් වලටත් ෆොක්ස්වැගන් වලට වගේම රැල්ලක් හැදෙයි. පුළුවන් නම් පළවෙනි ක්ලැසික් කාර් එක ගන්න දවසට, මයිනර් එකක් ගැනත් හිතන්න. සති අන්තෙක වගේ විතරක් පදින්න හිතනවා නම් බස්සෙක් හරි සීරීස් 2 එකක් හරි ගන්න. දුර දුවන්න හිතනවා නම් පස්සේ ආපු තවුසන්ඩ් සීරීස් එකේ එකක් ගන්න. පාට්ස් ඕනේ නම් සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් විකුණන තැනකින් හරි හොයාගන්න. ඔය පංචිකාවත්තේ අහවල් මෝටර්ස් එක වගේ තැන්වලින් ඉඳහිට දාන ලොකු පාට් කට වහගෙන දරාගෙන අවශ්‍ය දේ අරගෙන එන්න. හොඳට හදාගෙන, වාහනේ අතට හුරුවුණාට පස්සේ සහ ටිකක් ටෙස්ට් කළාට පස්සේ පොඩි දුර ගමනක් දුවලා එන්න. 

ඔයා මයිනර් වලට මේජර් විදිහට පෙම් කරන්න ගන්නවා සත්තයි...! 


www.facebook.com/CarPissuwa

64 comments:

  1. akak gannama hithuna...ath ma dawas wala hirawala hodatama.habai beetle,minor 2n akak gannawama thama..thank you oyata

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ආසාව ඉෂ්ට කරගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

      Delete
  2. මයිනරේටත් පෙම් කරන්න ගත්ත මමත් දැන්

    ReplyDelete
  3. ගොන් ප්‍රශ්නයක් අහනවට සමාවෙන්න ඕනෙ.එත් දන්නෙ නැති නිසා අහන්නෙ. ඇයි මේකට මයින්ර් කියලා කියන්නෙ. තඩි සයිස් සෙඩැන් එකක වගෙ ඉඩ තියෙනවනෙ මේකෙ

    ReplyDelete
    Replies
    1. ඕක ආවේ සාමාන්‍ය මිනිස්සුන්ට අඩුවට ගන්න පුළුවන් වාහනයක් විදිහට. අනික දැක්කම ලොකුයි වගේ පෙනුනට සහ වාහනේ සැලසුම නිසා ඇතුලේ ඉඩ තිබුනට මේක පුංචි කාර් එකක්.

      Delete
  4. ඕක ලෙඩක් ! ඕකට කියන්නෙ "Minor's Disorder", පේන විදිහට තරිඳු ලොක්කට දැන් Stage II විතර වෙන්න ඇවිත්, පවුලත් එක්ක ගිහින් මයිනර් වැගන් එකක් උස්සන් ආවොත් වැඩේ හරියන්න ඉඩ තියනවා !

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සෑහෙන දුර්ලභ බේතක් තමයි හොයන්න වෙන්නේ, නේද? :)

      Delete
    2. ලොක්කගේ ලෙඩේ කුරුවල් වෙන්න කලින් හොඳ කර ගන්න විදිහක් අපි මේ බැලුවේ ... එකත් හරි යන්නේ නැත්තං ඉතින් කළු නික කලං දෙකක් විතර හොඳට ගලේ උරච්චි කරලා, තදේට කර වෙච්ච එන්ජින් ඔයිල් බාගයක් එක්ක බිව්වා නං ඔං ලෙඩේ නිට්ටාවටම අහවරයි ! අත්දුටුවයි.... ප්‍රත්‍යක්ෂයි !

      එක නෙමේ Joint Resto Mod එකක් ගැන මොකද්ද ලොක්කගේ අදහස ?

      Delete
    3. Resto Mod ගැන මට ලොකු අවුලක් නැහැ, වැඩේට ගන්න කාර් එක එච්චර rare එකක් නෙමෙයි නම්...

      Delete
  5. අවුරුදු 11 විතර කුඩා කාලේ මයිනර් එකකින් තමයි එලවන්න පටන්ගත්තේ . ඒක අවුරුදු 8 ක් තිබුණා. ඔබගේ වාහනය වගේම එකක්. EL 4926 කොහේ හරි දැක්කොත් කියන්න. lankan.ian@gmail.com

    ReplyDelete
    Replies
    1. විස්තර දැනගත්තොත් අනිවාර්යයෙන් කියන්නම්...

      Delete
  6. tharidu kiyapu ara A35 kathawatanam dukath hithuna.mage appachchige A30 car 1 thama tiyanawa garage 1 atule hira wela.aniwa goda danawa.but time & money dekama ituru ne mata.sooooo sad

    ReplyDelete
    Replies
    1. EN 9498 with all nikal parts.mama driving purudu uneth eken.

      Delete
    2. දවසක කොහොමහරි ගොඩ දාමු...

      Delete
  7. ගාල්ලේ බටදූවේ තියෙනවාලු මොරිස් මයිනර් පාර්ට්ස් හදලා ඉන්ග්ලන්ඩ් එහෙමත් යවන වර්ක්ෂොප් එකක්.. පොඩ්ඩක් සොයා බලන්න..

    ReplyDelete
  8. https://www.facebook.com/groups/apelankaasiriya/permalink/766248816810474/

    ReplyDelete
  9. මයිනර් වලට මේජර් විදියට පෙම් කරනව? ඇත්තටම MORRIS Major කියල මොඩ්ල් එකක් තියනවා. අපේ ගමේ කෙනෙකුට තිබුනා මයිනර් එකක් CN 859. අයිතිකාරයා වැඩිය උස නෑ.ඉතින් එයාගේ පුතාට අපි විහිලු කලා තාත්තා කාර් එක එලවන්නේ ස්ටියරින් වීල් එක අස්සෙන් පාර බලාගෙන කියලා.

    ReplyDelete
    Replies
    1. වයසක ගෑනු අය මයිනර් එළවන්නේ ස්ටියරින් වීල් එක අස්සෙන් පාර බලාගෙන කියන එක එංගලන්තේ ටිකක් ප්‍රකට කියමනක් :)

      Delete
    2. අපිත් එක්ක වැඩ කරපු බ්‍රිතාන්‍ය ස්වේච්ඡා ගුරුවරියක් හිටියා ජෝර්ජ් කියලා. කෙල්ලෙක් වුනාට නම ජෝර්ජ් කියලා දාල තියෙන්නෙ එයාගෙ අම්මත් ඊනිඩ් බ්ලයිටන්ගෙ ලමා පොත් ලෝලියක් නිසා. ඒවයෙ ඉන්නවා ජෝර්ජ් කියලා කොලු ගතිගුණ තියෙන කෙල්ලක්. පස්සෙ අම්මත් මෙහෙ ආවා නිවාඩුවකට. කතාව කියන්න හේතුව ජෝර්ජ්ගෙ අම්මටත් තියෙනවා මොරිස් මයිනර් එකක් එංගලන්තෙ. ඊනිඩ් බ්ලයිටන්ට වගේම ඒකටත් ඒ මනුස්සයා මාර ආසයි. වෙරළ අයිනෙ තියෙන කලුගල් උඩ ඉඳගෙන මමත් අහං ඉඳලා තියෙනවා මොරිස් මයිනර් කතන්දර එයා කියන.

      Delete
    3. අන්තිම වාක්‍යයෙන් වැඩේ nostalgia වල ඉඳන් romanticism වලට මාරු වුණා... :D

      Delete
    4. නෑ බං. මොන පිස්සුද? මම ඒක කිව්ව විදියයි වැරදුනේ. මමයි දීපයි, චූටි පුතයි එක්ක ජෝජිපෝජි (අපි එහෙමයි ඒකිට කියන්නෙ) යි, එයාගෙ යාලුවයි (මට නම මතක නෑ) ජෝජිපෝජිගෙ අම්මයි ඉඳගෙන කතා කර කර ඉන්නකොට ඕවා කියන්නෙ.

      Delete
    5. ඩූඩයියා කලබල වුණාද මංදා! ;)

      Delete
  10. මොරිස් ඔස්ටින් දෙකම එකම කොම්පැනියද? මගේ තාත්තා ගත්තා ඔස්ටින් 1300 එකක්. ඒවාගේම මොරිස්1300 මොඩල් එකක් පස්සේ කාලේකදි දැක්කා. ෆන්ට් විල් වලින් ඩයිව් වෙන හින්දා එක මාර පිකප් වාහනයක්. එයාර් සස්පෙන්ෂන් තියෙන හින්දා කවුරුත් කිව්වේ ඔ්ක ගන්න එපා කියලා. තාත්තා රට රස්සාවකට ගිය කාලේ අයියයි මමයි එලවලා හප්පගනියි කියලා අම්මා විකුනලා දැම්මා. අපරාදේ.

    ReplyDelete
    Replies
    1. 1952 දී තමයි ඔය කොම්පැනි දෙක එකතු වෙලා British Motor Corporation හෙවත් BMC එක හැදුනේ...

      Delete
  11. අත්හැර දැමූ පැරණි කාර් තවමත් සෑහෙන්න තියනවා. මේ මෑතකදී මා දුටුවා ගම්පලදී හෝ පුස්සල්ලාවෙදී වොක්ෂෝල් වයිවන් එකක්. මට හිතෙන්නේ හදලා ගන්න පුළුවන් එකක්.

    කලකට ඉහතදී මම අපේ කාලයේ කාර් ගැන ලිපි මාලාවක් ලිව්වා.

    මේ තියෙන්නේ ඒ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය

    ReplyDelete
  12. එහෙමයි කියල කියනව කොහොමද දන්නැ

    ReplyDelete
  13. ඔය කියන්නේ කොහෙද ගමනක් යද්දී පාරක් අයිනේ දැකපු එකක් කියලා උඹ පෝස්ට් එකක් දාපු කාර් එකද ? ඒකෙනම් මට මතක විධිහට කියලා තිබුනේ වෙලා නොතිබ්බ නිසා දාලා ආවා කියලා...

    ReplyDelete
    Replies
    1. නැහැ, ඒ මැරිච්චි බීට්ල් එකක්. ඒ ගමනේදීම තමයි මම මේ මයිනර් එක බලන්න ගියේ... ගෙදර අය ට්‍රිප් යනවා කියන්නේ මම ක්ලැසික් කාර් හන්ටින් යනවා කියන එක තමයි. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. තව අවුරුද් 2ක 3කින් අතගහන්න ඕනි කැලැසික් කාර් එකකට දැනට ඉන්න ආර්තික තත්වෙත් එක්ක.
    පරන බයික් දෙකක් නම් හදන් යනව. නියම බොලොග් එකක්. discovery turbo වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඉක්මනට කාර් එකක් ගන්න ලැබේව කියලා ප්‍රර්ථනා කරනවා. බයික් ගැනත් මම ලිපියක් ලිව්වා 'බොන්ෆයර් හාට්' කියලා. මේ බ්ලොග් එකේ පරණ ලිපි අතර ඇති. ඔයා සමහර විට ආසා වෙයි ඒකට...

      Delete
    2. කියෙව්ව බ්‍රෝ... ස්ත්තියි. ඒව ඉතින් හින තමයි. 4DR5 එක්කට තමයි ආසාවෙන් ඉන්නෙ.

      Delete
    3. 4DR5 එකත් දැන් අහස උසට ගිහින් නේද!

      Delete
  15. මටත් අර එන්ජිමේ සද්දේ ඉස්සරහින් ඇහෙන්න ගත්තම මුලදී දැනුනේ විකාරයි වගේ තමා....මුල්ම කාර් එක බිට්ල් එක හන්දා මටත් එන්ජිමේ සද්දෙයි විසිල් එකයි ජානගත වෙලා තිබ්බේ..මට පේන්නේ අයියගේ මයිනරේ කලින් අයිතිකාරයා ගම්මිරිස් වැලක් යවන්න ප්‍රයෝජනෙට අරන් තියෙන හැඩයි... :)
    පරණ ඕනිම වාහනයකට ආදරය කරන මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා..කාර් පිස්සුවට එකතු වෙන ගොඩක් දෙනා ඒ වගේ අය.මම නම් හිතන්නේ මයිනරේද බීටල් එකද කියන එකට වඩා වැදගත් එක්තැන් වෙලා ඉන්න මේ වගේ පරණ වාහනවලට ආයෙම පණ දෙන එක.මොකද අලුත් වාහනවල නැති තරමේ ආත්මීය බැඳීමක් පරණ වාහනයක් සහ ඩ්‍රයිව් කරන කෙනා අතරේ ගොඩ නැගෙනවා...
    මේ මාතෘකාව ගැන නම් අත්දැකීම් එමටයි....මේ දවස් ටික හොදටම කාර්යබහුල හන්දා කොමෙන්ටුවකවත් කතාවක් කොටන්න ඉඩක් නෑ..මේක කෙටුවෙත් පැයක් විතර තිස්සේ වැඩත් එක්ක... :)
    බීටල් එක හයිවේ දැම්මා වගේ මයිනර් එකත් හයිවේ සවාරියක් එක්ක ගිහින් අපට කතාවක් දෙනකල් බලන් ඉන්නවා... :D

    ReplyDelete
    Replies
    1. ඊට කලින් EN මයිනර් එක යාවි සමහර විට. හැබැයි 65 න් විතර පස්සේ හදපු මයිනර් එකකින් ලොකු වැඩක් කරන්න හිතේ තියනවා. බලමු...

      Delete
  16. පංචිකාවත්තෙ ඉදන් යකඩ අදින මයිනර් එක මම මේ ලගදිත් දැක්ක. ඒක බඩු පටවගෙන වේගෙන් යනව. කාලයක් අපේ ගෙදරත් තිබ්බ මොරිස් මයිනර් එක දුන්න රුපියල් 30000 /- කට . ආයෙත් මොරිස් ට්‍රැවලර් එකක් ගෙනත් හදන්න ආසාවක් තිබ්බත් තියන්ඩ තැනක් නැති හින්ද හිත තද කරන් ඉන්නව.. හැබැයි මේ කාර් පිස්සුව බලල ආයෙ එකක් ගන්නමයි හිත.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්... ඉක්මනටම එකක් ගන්න පොටක් පෑදේවා!

      Delete
  17. //මොරිස්/BMC එන්ජින් වල අමුතු පැණි රසක් එක්ක ගම්මිරිස් රසක් වගේ දෙයක් මට දැනෙනවා. ඊට සාපේක්ෂව බීට්ල් එක නිකං අමු මිරිස් කරලක් හපනවා වගේ.// මේක පට්ට උපමාව.

    මාත් කීප පොලකම දැකල තියෙනව ඔය වාහන දිරන්න අතෑරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ ඔය අතහැරලා දාපු වාහන කොහොම හරි ගොඩදාන්න කට්ටියව පොළඹවන්න...

      Delete
  18. මම හිතනවා මේ වැඩසටහන් පෙළ ඔබට වැදගත් වෙයි කියල
    https://www.youtube.com/watch?v=qIFRr71Z7OI
    https://www.youtube.com/watch?v=X-ITtVXHZu4
    https://www.youtube.com/watch?v=XPqI1LT--T8
    https://www.youtube.com/watch?v=M2QPWMVNQIg

    ReplyDelete
  19. මොරිස් පාට්ස් හදනව සහ එන්ගලන්තෙට එක්සොපෝට් කරනව ගාල්ලෙ මෙන්න මේගොල්ලො.

    http://www.morrisminor.slt.lk/contactus.htm

    ReplyDelete
  20. අපෙ පුංචි මාමට තිබුනා බොග්වාර්ඩ් ඉසබෙලා කාර් එකක්.EN කාණ්ඩෙ. ක්ලැසික් කාර් ගැන මගේ උනන්දුව ඇතිවුනේ අන්න ඒක හින්ද.

    ඔබගේ ලිවීම් රටාව හරිම සිත් ඇදගන්නා සුලුයි තරිඳු..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. රවී. ඉසබෙලා එකත් මේ වෙනකොට කට්ටියගේ සෙනේ සිත අවුස්සන කාර් එකක් බවට පත්වෙලා තියනවා...

      Delete
  21. සුපිරි කතාව.මයිනරේට හිත ගියා..ඒත් තාම මයිනරයකට නැගලවත් නෑ..පුලුවන් නම් ජීප් එකේ කතාවත් දාමු ....

    ReplyDelete
    Replies
    1. දාමු දාමු! :) ඒ වගේම මයිනර් එකක් අහුවුනොත් නිකමට ළෙන්ගතු කමක් පාලා බලන්න...

      Delete
  22. fuමේ ලිපි කියවලා මටත් කොහෙන්හරි බීටලයක් හොයාගන්න හිතිල තියෙන්නෙ. හොඳ එකක් කීයකට විතර ගන්න පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. 3.50 ඉඳන් උඩට තියනවා හොඳ ඒවා...

      Delete
  23. ගාල්ලෙ හෝ මාතර තියෙනවලු මයිනර් කාර් වල ස්පෙයා පාට්ස් හදන කර්මාන්තශාලාවක්.එංගලන්තෙට බඩු යවන්නෙත් ඒකෙන්ලු.මට මතකයි ටීවී එකේ ඒක ගැන වැඩසටහනකුත් ගියා.

    ReplyDelete
  24. මොරිස් මයිනර් කාර් වල දෙවර්ගයක් තියෙනවා side valve හා over head කියලා. ඒකෙන් හොඳ එක over head මෝස්තරයයි. මොරිස් මයිනර් station vagan එක හොඳ පිරිමැසුම් කාරයක්. වතු අධිකාරීන්ට දීලා තිබුනෙ වතු පාරවල් වල තියෙන අමාරු තත්වය අදටත් වතු වලට යන අය දන්නවානෙ.

    ReplyDelete
    Replies
    1. සයිඩ් වෑල් එන්ජිමට මේ වෙනකොට ලොකු ඉල්ලුමක් තියනවා. ගැටලුව තියෙන්නේ අමතර කොටස් ගොඩක් අඩු එකයි...

      Delete
  25. Replies
    1. බොහොම ස්තූතියි සහන් :)

      Delete
  26. කුළුදුලේම අද තමයි මේ පැත්තට ගොඩ වැදුනෙ. රහ කෑම ගොඩායි...මගේ කාලාන්තරයක් තිස්සෙ ආසම වාහනේ බීට්ල් එක. ඒත් ඒවා පාවිච්චි කරපු උන් කියපු සමහර කථා නිසා ඒ උද්යෝගය අද වෙද්දි බොහොම හීන වෙලා ගිහින්. පාරෙ සුපිරියට හදපු බීට්ල් කාර් එකක් දැක්කම හීන් දුකක් වගේ එකක් හිත පතුලෙන් ඉපදෙන වෙලාවට මටම දැනෙනවා මගේ බීට්ල් පිස්සුව තවම ඉවර වෙලා නෑ කියලා. මොකක්ද ඔබේ උපදේසෙ...හදපු එකක් ගන්නද අරං හදන්නද ? පරණ කාර් වගේම ස්කූටරුත් මගේ ආසම දේවල්...ඒ නිසාම දැනට 9 ශ්‍රී චෙටැක් එකක් වසර 7 ක් තිස්සෙ ආදරයෙන් බලා ගන්නවා. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ඔය එක එක ඒවා කියන එවුන් එකෙක් වත් බීට්ල් එකක පස්ස තියල වත් නැති එවුන්. නැත්තන් ලෙඩ ගොඩක් කුණු කොල්ලෙට අරගෙන හොරු ගාවට අඩුවට හදන්න දාලා ඇනගත්ත එවුන්. මුල ඉඳන් හදන්න වියදම් සහ කාලය යනවා. ඒ දෙක තියනවා නම් 65 න් වගේ පස්සේ හදපු බීට්ල් එකකින් පටන් ගන්න. නැත්තන් මිකැනික් කෙනෙක් එක්ක ගිහින් බලලා හොඳ එකක් ගන්න. මගේ කාර් එක 73 එකක්. අද මම ලංකාව පුරා යනවා ඒකෙන්.

      මේ පැත්තට ආවට ස්තූතියි. දිගටම එන්න... :)

      Delete