Monday, July 4, 2016

ජර්මනියට පෙම් කරලා කහ කිරිල්ලිව කරකාර බැන්ද ප්‍රේමතිලක මහත්තයා


මේක ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන චරිතාපදානයක් වත් උපහාර ලිපියක් වත් නෙමෙයි. කොටින්ම මේක ප්‍රේමතිලක බාසුන්නැහේගේ කතාව නෙමෙයි. මේක ප්‍රේමතිලක බාසුන්නැහේ ගැන මගේ කතාව. 

මම ප්‍රේමතිලක බාසුන්නැහේට එදා ඉඳන්ම කතාකරන්නේ ප්‍රේමතිලක මහත්තයා කියලා. උන්නැහේට මාව එච්චර මීටර් කියලා මම හිතන්නේ නෑ. එයාගේ දැවැන්ත ෆොක්ස්වැගන් විශ්වයට කඩා පාත්වෙන උල්කාපාත කෑලි අතරේ මාත් තවත් එක නොදැවුණු පාෂාණයක් විතරයි. 

හැබැයි මොකක් හරි හේතුවක් නිසා මම සැරින් සැරේ මනුස්සයාගේ ලෝකෙට කඩාපාත් වෙනවා. 

මට ප්‍රේමතිලක මහත්තයව මුලින්ම හම්බවුණේ මංමුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේදී. 3 ශ්‍රී 5661 අරගෙන මම මටත් වඩා මංමුලාවූ සමනල්ලු දෙතුන් දෙනෙක්ගේ අහෝමඤ්ඤං කතාවලට රැවටිලා එන්ජිම පලුකළා. එතකොට මම වාහන ගැන මෙලෝ සීනිබෝලයක් දන්නේ නැහැ. මම හිතුවේ එන්ජිමක් පලුකරලා හැදුවාම අලුත් එන්ජිමක් වගේ හදාගන්න පුළුවන් කියලා. 

අන්තිමට මට තව පොඩ්ඩෙන් තියන කැකිරි කෙඩියත් නැතිවෙනවා! (මෙන්න කාර් පිස්සුව ටොප් ටිප් එකක්- කැඩිලා නැත්තන් හදන්න යන්න එපා. If it ain't broke, don't fix it.) 



එන්ජිම ගලවන්න මම ගියේ මගේ හිතවත් මිකැනික් කෙනෙක් ගාවට. එයා සාමාන්‍යයෙන් ජපන් වාහන හදන කෙනෙක්. එයාගේ ගරාජ් එක තියෙන්නේ මට බොහොම ළඟින් නිසා මම එයාට කිව්වා මේක කෑලි කරලා හදලා දෙන්න කියලා. එතකොට වුණේ මෙහෙම දෙයක්. 

එයා ඉඳන් නෝ නෝ කියනවා... 

මම ඉඳගෙන කම් කම් කියනවා.. 

එයා අමුවෙන් කරවිල කනවා වගේ මූණක් දාලා අන්තිමට මම පවු කියලා වැඩේ භාරගත්තා. ඊට පස්සේ ගැලෙව්වාම මිනිහා හොඳටම බයවුණා. බයවෙලා මට ලිස්ට් එකක් ලියලා දුන්නා මෙන්න මේ බඩු ටික හොයාගෙන එන්න කියලා. එතකොට මම පංචිකාවත්තට පය නොගහපු නොඉඳුල් කොල්ලෙක් (ලාන්සර් බොක්ස් එකක් පැද්දා අවුරුදු 5 කට වැඩිය. එක දවසක් පංචිකාවත්තේ යන්න වෙලා නෑ මට!). ඉතිං මම හොඳටම බයවෙලා, අර එන්ජිමේ කෑලි ටිකත් පෝර උරේක දාගෙන ගෙදරට ගිහින් දාලා, මංමුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන්න පටන් ගත්තා. රත්මලානේදී මට එකෙක් කිව්වා අන්න අහවල් තැන කාර් මාර්ට් එකේ වැඩකරපු අන්කල් කෙනෙක් ඉන්නවා, ගිහින් බලන්න කියලා. 

මම යනකොට මනුස්සයා ඉබ්බෙක් ළඟ දණ ඇනගෙන බරටම වැඩ. අහල පහල කාමන් ගියා එකකුයි, බගියකුයි, ඕවල් ඉබ්බෙකුයි, වැටවල් දෙක තුනකුයි, කනේ මයිල් පිරිච්ච ඉබ්බෝ කීප දෙනෙකුයි හිටියා. මට ඉතිං දෙයියෝ දැක්කා වගේ. 

'එන්ජිමක් තියනවද ගන්න?" මම ඇහුවා. 

"එන්ජින් කොහෙද මෙහෙ?" ප්‍රේමතිලක මහත්තයා ඇහුවා. 

දීපන්කො උත්තර! 

ඊට පස්සේ මම ෆුල් ස්ටොරිය කිව්වා. 

"එන්ජින් නැහැ මෙහෙ. පංචිකාවත්තේ ගිහින් බලන්න. හැබැයි තියන එන්ජිම ගෙනත් දුන්නොත් හදලා දෙන්නම්." ප්‍රේමතිලක මහත්තයා බොහොම ඩෝන්ට් කෙයාර් එකේ කිව්වා (එතුමාගේ ඩෝන්ට් කෙයාර් ටෝන් එක භාෂාවට අහුවෙන්නේ නැහැ. එතුමා ඉස්සරහා භාෂාව ෆේල් වෙලා කතිකාව විසංයෝජනය වෙනවා!).

ඒත් මම 3 ශ්‍රී 5661 එකේ එන්ජිම අරන් එතනට ගියේ නැහැ. ඒ වෙනුවට මම ළඟ අහල පහල 'පොස්සගන් එස්පර්ට්' කියාගත්තු පොරක් හොයාගෙන මිනිහට පෝර උරේ ගිහින් දුන්නා. ඒ ගැන මම සසර වසන තුරු නිවන් දකින තුරු පසුතැවෙනවා. මොකද මිනිහා එන්ජිම හදලා දුවන්න ලැබුණේ එක දවසයි. එන්ජිම නතර වුණා අවුරුද්දක් විතර යනකල්. 

අන්තිමට ටින්කරින් කරපු වලවෙට්ටුවා අවුරුද්දකට විතර පස්සේ බොඩිය හදලා ඉවර කළාම එන්ජිම හදලා දුන්නේ අර මුලින් බයවෙච්චි ජපන් කාර් මිකැනික් හාදයාම තමයි. 'පොස්සගන් එස්පර්ට්' ට බැරිවෙච්ච දේ මේ 'භයෙන් තජ්ජිත වූ මනුෂ්‍යයා' කළා. එතනින් පස්සේ මම සෑහෙන කාලයක් කිසි අවුලක් නැතුව 3 ශ්‍රී 5661 පැද්දා (ඉල්ලං කාපු වතාවල් තිබුණා. හැම පාරම ආපහු අර ජීවිතේ වරද්දාගෙන මහ ගෙදරට එන බාලයා වගේ මම අර ජපන් කාර් මිකැනික් ගාවට ආවා. හැම පාරම ඒ මනුස්සයා වචනයක් වත් නොකියා මට වැඩේ ගොඩදාලා දුන්නා. එයා ගැනත් දවසක මම පෝස්ට් එකක් දානවා!).



මීට කාලෙකට පස්සේ මම 9 ශ්‍රී 5661 ගත්තහම මට ඒක 'ප්‍රවීණයෙකුට' කෙනෙකුට දීලා ටියුන් කරගන්න ආසාවක් ආවා. එතකොට මම ගියා ආයෙත් පාරක් ප්‍රේමතිලක මහත්තයා හොයන්න. 

මම යනකොට මනුස්සයා ඉබ්බෙක් ළඟ දණ ඇනගෙන බරටම වැඩ. අහල පහල කාමන් ගියා එකකුයි, බගියකුයි, ඕවල් ඉබ්බෙකුයි, වැටවල් දෙක තුනකුයි, කනේ මයිල් පිරිච්ච ඉබ්බෝ කීප දෙනෙකුයි හිටියා. මට ඉතිං දෙයියෝ දැක්කා වගේ. (කම්මැලි කමට කොපි-පේස්ට් කළා නෙමෙයි. පසුතලය මේකමයි. 'යාලුවො අද නැත වෙන අය එහි ඇත.' ප්ලේස් එක එකයි. කාර් වෙනස්. චින්තනය එකයි. ආදරය එකයි.).

"මට කාර් එකේ එන්ජිම පොඩ්ඩක් ඔබතුමාට කියලා බලාගන්න ඕනේ. ඉරිදට වැඩද?" මම ඇහුවා. 

"මැරෙනකල් වැඩ තමා ඉතිං..." ප්‍රේමතිලක මහත්තයා කිව්වා. (ආයෙමත් එතුමා ඉස්සරහා භාෂාව ෆේල් වුණා). ඒ ඩෝන්ට් කෙයාර් එක නිහඬව දරාගෙන හැරෙනකොට තමයි මම එතුමාගේ ගෙදර කියලා හිතන්න පුළුවන් තැන ඇතුළේ තිබුණු කහපාට කාර් එක දැක්කේ. දැක්ක ගමන් මට ආසා හිතුණා. ඒ නිසා ආත්ම ගෞරවය ආත්මයෙන් ගලවලා අරන් හීනියට දෙකට තුනට නමලා සාක්කුවේ දාගෙන මෙම ප්‍රේමතිලක මහත්තයාගෙන් මෙහෙම ඇහුවා. 

"අර කාර් එක ඔබතුමාගෙද?" 

පළවෙනි වතාවට එතුමාගේ මූණේ හිනාවක් ඇඳුණා. 

"ඔය ඉන්නේ කහ කිරිල්ලි වගේ..."

මම යන්න ගියේ කහ කිරිල්ලිව හොරෙන් ෆොටෝ අරගෙන.හොඳට බලන කෙනෙකුට පේනවා ජනේලේ ග්‍රිල් ටික පවා තියෙනේ VW හැඩේට කියලා.



හැබැයි මේ පාරත් මම වාහනේ අරගෙන ගියේ නැහැ. දවසේ කරදර කර උඩ ගෙට ඇවිදින් ගෙයි පිල උඩ ඉඳගෙන කකුලෙන් අදින නිසා මට හිතේ ඇඳෙන සිහින රේඛා සැබෑ ලොවේ අඳින්න ලැබෙන්නේ ඉඳල හිටලා.

ඊට පස්සේ ෆාස්ට් ෆෝවඩ් කරමු 2016 අප්‍රේල් 10 වෙනිදට. එදා තමයි ෆොක්ස්වැගන් බීට්ල් හිමිකරුවන්ගේ සංගමයේ 2016 Pride of Ownership drive එක තිබ්බේ. මේකට යන්න මම පෙරුම් පුරාගෙන හිටියේ. මේකට මම නොහිතපු අමුත්තෝ දෙන්නෙක් ඇවිත් හිටියා. 

ප්‍රේමතිලක මහත්තයයි, කහ කිරිල්ලියි! 




රැළිය බේරුවලට ගියාට පස්සේ තමයි මම දැනගත්තේ එදා එතුමාගේ උපන්දිනේ කියලා. සංගමේ කට්ටිය එතුමාට විශේෂ උපහාරයක් තියලා තෑග්ගකුත් දුන්නා. මට මතක හැටියට එතුමා කොළඹ ඇවිත් ෆොක්ස්වැගන් හදන්න පටන් අරන් තියෙන්නේ අවුරුදු 18 දී. එදා ඉඳන් පුරා අවුරුදු 50 ක් එතුමා ඉබ්බෝ ජීවත් කරවනවා. 

එදා මම දෙපාරක් විතර එතුමා ළඟට ගිහින් කතා කළා. උපන්දිනේට සුභ පැතුවා. වැඩි උද්යෝගයක් නැතුව එතුමා ඒවා අසා සිටියා. 

හැබැයි යන්න වෙලාව ආවම එතුමා මගේ ළඟට ඇවිත් 'අපි ගිහින් එන්නම්' කියලා යන්න ගියා.

ඊට පස්සේ මට ආපහු එතුමාව හම්බවුණේ පහුගිය 26 වෙනිදා World Volkswagen Day celebration එක දවසේ. ගෝල්ෆේස් හෝටලේදී මම එතුමා ළඟට ගිහින් වචනයක් දෙකක් කතා කළා. ඊට පස්සේ ගල්කිස්ස හෝටලේ තිබුණු වැඩ ටික අහවර වෙලා මම පල්ලෙහාට බහිද්දී තරප්පු පේළියේ අත්වැට අල්ලාගෙන එතුමා උඩ බලාගෙන ඉන්නවා. 

"ඔබතුමා මොකද මෙතෙන්ට වෙලා කරන්නේ?" මම ඇහුවා. 

"මුණුපුරාලා ටික සේරම උඩ නේ. මම මේ එනකල් බලන් ඉන්නවා.." එතුමා මූණ පුරා පැතිරුණු හිනාවකින් කිව්වා... 



කාර් ලෝකේ ඇතුළේ ඕන තරම් ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන කතාවෙලා ඇති. ඔය ෆොක්ස්වැගන් ලෝකේ සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්ලැසික් කාර් විශ්වයේ සැරිසරන මැමත්ලා, ඩයිනසෝරයෝ සහ වෙනත් ප්‍රාග් ඓතිහාසික දැවැන්තයෝ හැමදෙනාම ප්‍රේමතිලක බාසුන්නැහැ ගැන දන්නවා. හැබැයි එයාලා 'ප්‍රේමතිලක මහත්තයා' ගැන දන්නවද කියන්න මම දන්නේ නැහැ.

මම ප්‍රේමතිලක මහත්තයා ගැන මගේ ඇබිත්තන් කතාව ලියන්න හිතුවේ ඒ නිසයි. මේකේ මහා ජීවන කතාන්දරයක් නැති එක ඇත්ත. නමුත් අද අපි මෙහෙම කාර් පිස්සෝ කියලා ආඩම්බරයෙන් කියන්නේ, බ්ලොග් ලියන්නේ, බුකියේ සරන්නේ, බල්ටි ගහන්නේ, එතුමා වගේ මිනිස්සු දශක ගාණක් තිස්සේ තමන්ගේ සේවාව බුම්මගෙන හරි නිහඬව කරපු හින්දා නේද කියන එක මට එතුමාව දකින හැම වාරයක් ගානෙම මතක් වෙනවා. එතකොට අර හිතේ තියෙන පොරත්වයේ බවුන්ඩ්‍රි බිඳගෙන කඳුළු බින්දුවක් ඉමැජිනරි බීට්ල් එකක නැගලා ඇහැට ඩ්‍රයිව් කරනවා...

ප්‍රේමතිලක මහත්තයයි කහ කිරිල්ලියි... Still a better love story than twilight...!


www.facebook.com/CarPissuwa


පසු සටහන්: 

1. උදවුවක් හැටියට මගෙන් එතුමා ඉන්න තැන අහන්න එපා. මම දන්නා තරමින් එතුමා වැඩි ප්‍රසිද්ධියට කැමති නැහැ. මේක ලිව්වෙත් අවසර අරන් නෙවී. මට තවත් ලෙඩක් නම් දාගන්න බැහැ. ටිකක් කල් ෆොක්ස්වැගන් ලෝකේ හෝල්ඩින් පැටර්න් එකක පාවෙවී ඉන්න. එතකොට ලෑන්ඩ් කරන්න පර්මිෂන් හම්බවෙයි. 

2. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රේමතිලක මහත්තයා ලොකු ඔළුවෙන් ඉන්නවා කියලා. හොඳ මිනිස්සු වැඩිය කට කියවන්න යන්නේ නැහැ. මම මේ බ්ලොග් කට්ටකින් කරනවා වගේ මිලියන ගුණයක සේවයක් ඒ මනුස්සයා රටේ කාර් සංස්කෘතියට කරලා ඇති අඩ සියවසක් තිස්සේ. මම ඒක දන්නවා. ඒ නිසා කවුරුවත් මේකට offend වෙන්න එපා.









29 comments:

  1. ඒකත් එහෙමයි නේද එතකොට? මට නම් බීට්ල් එකක් නැති නිසා ප්‍රශ්ණයක් නෑ. තරිඳු දන්නවද මම ඔය හුඟක් ක්ලැසික් කාර් වලට දක්වන්නෙ Platonic love එකක්. මම ඒවට ආදරේ වුනාට මට ඒවා අයිතිකරගන්න ඕනෙ නෑ. ඔය තරිඳුලා, මගෙ යාලුවා මහින්දලා වගේ උන් ඒවා තියාගෙන ඉන්න හැටි බලලා සතු‍ටු වෙන්න පුලුවන්.

    ඒකට පළවෙනි හේතුව මුදල. දෙක කාලය. අපිට ඔය ක්ලැසික් කාර් ගොඩ ගන්න සල්ලි නෑ. අනික ඕවට බාස්ලගෙ ආඩම්බරකම් බලන්න ගරාජ්වල පංචිකාවත්තෙ රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. අපිට හරියන්නෙ ගහපු ගමන් ස්ටාට් වෙන, මතක ඇති කාලෙකින් අතරමගක නැවතිලා නැති වාහන.

    තරිඳුලා කරගෙන යන්න. අපි කමෙන්ට් එකක් දාලා පෝස්ට් කියවලා FB status බලලා සතු‍ටු වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හෙන්රි අයියා. ඔයාලා දෙන සපෝට් එක හින්දා තමයි මේ දහසක් වැඩ රාජකාරි අස්සේ මේවා ලියන්නේ. මම වෙලාව හොයාගන්නේ සරදියෙල් ටයිප් එකේ ගේමක් දීලා. නමුත් ඇබ්බැහිය ඇරෙන්නේ නෑ මොන කට්ට කන්න වුණත්...

      Delete
  2. පන්නිපිටියෙ පර්ජෝ පියා ළගදි ප්‍රංශෙ නොගිහින් දිවිය ලෝකෙ ගියා. හිටියනම් පර්ජෝ අන්දරයට තවත් පරිච්ඡේද කිහිපයක් ලියන්න දක්ෂ බාස් කෙනෙක්. ඒ හන්දම ප්‍රේමතිලක මහත්තයාට දීර්ඝායුෂ පතනවා. !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොල්ලා. උඹ ගාව හොඳ හොඳ කතා තියනවා. පුළුපුළුවන් විදිහට එෆ්.බී. පිටුවට නැගලා හලලා පලයන්. නැත්තන් මෙතන හරි හලපන්!

      Delete
  3. කව් ගී ලියූවෝ ... පිලිරූ නෙලූවෝ .... වෙන්වී ගියත් ලෝ නියාවෙන් 
    ආකාස තලයේ ඔවුහූ සරන්නෝ .... දෙවි දේවතාවුන් විලාසෙන් ....

    ReplyDelete
    Replies
    1. කිව්වා කියන්න ඕන ටික ගීයෙන්ම!

      Delete
    2. ඔය ඉන්නේ විශ්මකරමයෝ මචං..

      දුක දන්න එකා ඔය "සහතික නැති ඉංජිනේරුවන්ට " වඳින්නේ මල් තියලා …

      Delete
  4. තමුන්ගෙ අසාව ජොබ් එක වීම හින්දා බොහෝම සතුටින් ජීවිතය ගෙවනවා ඇති කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒක සමහර වෙලාවට මනුස්සයාගේ ඇස් දෙකෙන් පේනවා. මනුස්සයා එයා නඩත්තු කරන, ඔරිජිනල් ඕවල් බීට්ල් ගැන එහෙම කියන්නේ පුදුමාකාර ආඩම්බරේකින්. ඒක අර ලොකුකමක් නෙවෙයි. මම හිතන්නේ ආත්ම තෘප්තියෙන් උපදින සාධාරණ ආඩම්බරයක්!

      Delete
  5. හැමදාම මේ බ්ලොග් එකේ අලුත් පොස්ට් එකක් වැටෙනකල් බලන් ඉදල කියවනවා වුනත් කොමෙන්ටුවක් කොටන්න තරම් ඉඩක් ලැබෙන්නේ නෑ කාර්යබහුල හන්දම.ඒ හන්දා ඉඩ ලැබුන වෙලාවේ හරි එකක් කොටන්නයි ලෑස්තිය.
    බිට්ල් එකට හිත යද්දී මගෙත් වයස අවුරුදු 4-5ක් වාගේ වෙන්න ඇති.ඒ තෑගි ලැබුන සෙල්ලම් බිට්ල් එකක් හන්දා.එදා ඉදල කවදා හරිම මාත් ඉබ්බෙක් ගන්නවාමයි කියල දැක්ක හීනෙ 2013 දී හැබෑ කරගත්තා.9 ශ්‍රී 4750 මගේ මුල්ම කාර් එක.ඒක ගන්න ගිය ගානට වඩා මම එක මට ගැලපෙන විදිහට හදාගන්න වියදම් කළා.හැබැයි ප්‍රතිපල ගැන මම 100% ක්ම සෑහීමට පත් වෙනවා.හදන්න දන්නේ නැති බාස්ල හන්දා කරදර වුනාට හරි පාරට වැටුනම වාහනේ කවදාවත් මට වදයක් දුන්නේ නෑ.
    මම මාතර හන්දත් වැඩ කරන්නේ කොළඹ හන්දත් බිට්ල් එක මාත් එක්ක හයිවේ එකේ සති අන්තේ මාතර ගිහින් එනවා.කිසි වදයක් නැතිව ගොඩගම ඉදල කොට්ටාවට පැය එක හමාරක් යන්න කලින් එනවා.මීටර් එක 160 ටම තිබ්බ හන්දා මම එකෙන් 140 ටම පාගල ඇවිල්ලත් තියෙනවා.ඉතිරි 20 ත් පාගන්න හිතුනට ඒ වෙද්දී අවුරුදු 44 ක් වුන වාහනේ ගැන හිතල එක කලේ නෑ.එකක් කියන්නම ඕනි.ඒ වෙගේදී වුනත් කාර් එක පුදුම විදිහට කීකරුයි.
    ගෙදර අයගේ අකමැත්ත හන්දා මට වෙන කාර් එකකට යන්න සිද්ද වුනත් ආයෙම මම පරණ බිට්ල් එකකට පන දෙනවා මට පුළුවන් වුන දවසක.කොමෙන්ටුව පොස්ට් එකක් තරම් දිග කලාට සමාවෙන්න ඕනේ.අන්තිමට මේ පොඩ්ඩත් කියලම යන්න ඕනේ.බිට්ල් එකට ආදරේ කරන මිනිස්සුයි කාර් එකයි අතරේ ඇතිවෙන බැඳීම ඔයිල් සම්ප් එකේ යටම කැටි ගැහුන ඔයිල් වලටත් වඩා ගනකමයි.හරියට බලාගන්න බිට්ල් එක කවදාවත් අපිව මග තොටක අතරමන් කරන්නේ නෑ.අත්දැකීමෙන්ම ඒක මම දන්නවා..
    එහෙනම් අයියේ...සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. අගය කළාට සහ මේ තරම් අපූරුවට සවිස්තරව ලිව්වට බොහොම ස්තුතියි පුබුදු. ඔන්න ඔය වගේ සපෝට් එක දෙන ළෙන්ගතු සෙට් එකක් මේකත් එක්ක එකතු වෙලා ඉන්න නිසා තමයි මට මේක මෙහෙම ඇදගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ළඟදීම ඉබි පැංචෙක් ගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

      Delete
    2. පුබුදු අපේ ෆේස්බුක් පේජ් එක බලන්න. ඔයාගේ කමෙන්ට් එක අපි එතන පෝස්ට් කළා ඔයාගේ නම එක්ක.

      Delete
    3. සපෝට් එක කිව්වමයි මතක් වුනේ.අලුත් වාහන පාවිච්චි කරන අයට වඩා පරණ වාහන එක්ක බැඳුනු මිනිස්සුන්ගේ හිත හොඳයි.පාරක් අයිනක පරණ වාහනයක් කැඩිලා තිබ්බොතින් තවත් පරණ වාහනයක් යන මනුස්සයෙක් කවදාවත්ම මඟ ඇරලා යන්නේ නෑ..තමන් යන ගමනත් මොහොතකට නවත්තල උදව්වක් කරලයි යන්නේ.
      මාගේ බිට්ල් එක තාමත් මාත් එක්ක ඉන්නවා..ගෙදර පාර්ක් කරගන්න ඉඩ නෑ..ඉතිං මට පාඩුවක් නැති ගානකට ඉල්ලුව කෙනෙකුට දෙනවා.හැබැයි හොදට හොයල බලල.මම මගේ බිට්ල් එකේ ඇනයක් මුරිච්චියක් ගානෙම ගලවල හයි කරලා තියෙනවා.එන්ජිමයි,ගියර් පෙට්ටියයි දෙක ඇරුනම.ඒ දෙකත් හැදුවා..සුවාරපොල මහේෂ් අයියගෙන්...
      ඒ ෆේස්බුක් පේජ් එකෙත් මම ඉන්නවා ඉතිං. :)බොහොම ස්තුතියි මම හිතුවේ නෑ ඒ කොමෙන්ටුව එච්චර දුරක් යාවි කියල.
      බිට්ල් එකත් එක්ක ගතවුණ පොඩි කාලෙට වුනත් අත්දැකීම් නම් ඕනි තරම්.ඉඩක් ලැබුනම කොමෙන්ටුවක් විදිහට වත් ඒවා කොටලා යන්නම්.

      Delete
  6. ඇත්තටම ඔහොම බාසුන්නැහේලට ටයි කෝට් දාගෙන ඉන්න අයට වැඩිය මහත්මය කියන එක ගැලපෙනව.
    හෙන්රි කියල තියෙනව වගේ මාත් ඔය වාහන තියාගෙන ඉන්න කෙනෙක් දිහා බලල සතුටු වෙනව මිසක් ඔය කට්ට කන්නනං හීනෙකින්වත් හිතන්නෙ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ වෙනස් වෙනවා ප්‍රසන්න. දුර ඈත අතීතෙක මට ඕන වුණේ පර්ජෝ 407 එකක් ගන්න. ඒ 407 ආපු අලුත. මට හීනයක් තිබුණ ඔහොම එකක් ෂෝ-රූම් එකකට ගිහින් ගන්න තිබ්බනං කියලා. දැන් මතක් වෙනකොට හිනහත් යනවා. You never know!

      Delete
    2. මේ බ්ලොග් එක බලලා මටත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ

      Delete
  7. මොකක්ද බන් ඔය වාහනේ ඔච්චර තියන විශේෂත්වය.. ?? මම නම් කැමති අලුත්ම අලුත් ටෙක්නොලජීස් එක්ක එන කිරි ටොයියන්ට..ගන්න බැරි එක වෙනම පුරස්නයක්... :D

    ReplyDelete
    Replies
    1. ලෙඩේ ඩයග්නෝස් කරගෙන නෑ සෙන්නා. අපි දන්නේ හැදුණාම හොඳ කරන්න බෑ කියලා විතරයි... නිකමට එකක් අරගෙන රැළියකට ඇවිත් බලන්න මොකද වෙන්නේ කියලා...:D ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි!

      Delete
  8. තරිඳුගේ පෝස්ට් එක කියෙව්වම මතක් උනේ මටත් ඔයිට සමාන සිද්දි ටිකක් වෙලා තියෙනවා කියල. ඇත්තම කිව්වොත් තරිඳු පරණ වාහනයක් හදන කෙනෙකුට තමන්ගේ ජොබ් එකට එහා ගිය කැක්කුමක් හදන්න ගේන පරණ වාහනයක් ගැන තියෙන්න ඕනේ. ''මහත් හොරු'' බර ගානකට රැවටිලා, සල්ලි, කාලය වැය කරාට පස්සේ මටත් මගෙ බීට්ල් එක හදාගන්න අන්තිමට ඒ වගෙ ''මහත්තයෙක්'' හම්බ වුනා.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කෙනෙක් හම්බුණාම තමයි ආපහු ජීවිතේ ලස්සන වෙන්න ගන්නේ... ප්‍රතිචාරයට බොහොම ස්තුතියි!

      Delete
  9. මාර වැඩේ කියන්නෙ මටත් ඔය පිස්සුව හෙදටම තියනව කොච්චර ට්‍රයි කලත් හොද වෙන්නෙම නෑ එකක් හොද වෙනකොට තවත් එකක් ඔක්කොම අතඇරල දාල කාර් එක පැත්තෙවත් බලන්නැතුව දවසක් දෙකක් ඉදියි සල්ලි කීයක් හරි අතට ආපුගමන් ආයිත් ලෙඩේඋත්සන්න වෙනව හැබැයි මේ ලෙඩේ වැඩි වෙන්න වැඩි වෙන්න තමා මාර සනීප

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ලෙඩේ වැඩිවෙන්න තමා සනීප!

      Delete
  10. එහෙම පුද්ගලයෙක් ගැන සඳහනක් කරපු එක ගොඩක් වටිනවා. ඔය වගේම VW එක්ස්පර්ට් කෙනෙක් තමයි රත්නපුරේ සුගතෙ බාසුන්නැහේ, වැඩිය කතා බතා නැති ඕනිම මනුස්සයෙක් ඕනම වෙලාවක උදවුවක් ඉල්ලගෙන ආවොත් බඩේ තියන දෙයක් හරි ඇදලා දෙන ඝණයේ රත්තරං මනුස්සයෙක්. මටත් නොසැඅහෙන්න උපදෙස් දීලා ඇති. ඔයා කිව්වා වගේම මෙතුමගෙත් භාෂා ව්‍යවහාරය ඒ විදියමයි හැබැයි ඇතුලතින් හරි සුන්දර මනුස්සයෙක්. අවාසනාවට එතුමා මීට මාස කීපයකට කලින් අප අතරින් වෙන්වුනා මළගෙදරට ගිය මට ඇස්වලට ( මගේ පියා මිය ගිය දවසෙවත් නොහඬපු) කඳුලු ආවා.

    ReplyDelete
  11. තරින්දු දැන් මේක මටත් මාාර පිස්සුවක් උම්ඹ මොකක් හරි ලියල මේකට අත හරිනකන් කෙල පෙරාගෙන බලන් ඉන්නෙ මටත් VW සිහිනයක් පොඩිකාලෙ ඉන්දල තිබුන එකක් ගන්නත් ගියා ඒත් හදන්න බඩු නැතිවෙයි කියල බයවෙලා ඒක ගත්තෙ නෑ පස්සෙ Toyota Corolla AE 81 එකක් ගත්තා එකටත් හොද කට්ටක් කාල ගොඩදාගත්ත එකත් හොද වාහනයක් ඒකෙත් මම ගලවපු නැතිකෑල්ලක් නෑ තාමත් අර පොඩිකාලෙ සිහිනය තියනව හිතේ කොනක සල්ලි ගහේ දඑ තාම මොරපු ගමන් වැඩේට බහිනව ඔයා ලගෙ සපෝට් එක එතකොට උපරිමයෙන් ඔනි වෙයි උම්ඔ හොදට ලියනව තව පරන කාර් ගැන ලියපන් කෙල පිහදාගෙන කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතිය පවසන්න වදන් නැත. සපෝට් එක රටක් වටී. වැඩේ කරන දවසක් දෙන්න පුළුවන් ඕන සපෝට් එකක් දෙන්නම්!

      Delete