Monday, September 10, 2018

පනස් අට වසරක ප්‍රේම කතාවක්





 "අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..."

ගිනිගහන මද්දහනේ, කෑගහන සතිපොළක් මැද්දේ, කෑගහන මිනිස්සු අතරේ, සන්සුන්ව, හිනාවීගෙන කතාකරන අසෝකරත්න මහත්මයාගේ කටහඬ මතක් කරද්දී මට මුලින් මතක් වෙන්නේ ඒ වචන ටික.

"අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..."

සති අන්තයේ අඩුම කුඩුම ටිකක් ගන්න කම්මැලි කමින් මිරිකී මිරිකී පානදුර පොළ ඇතුළට ගිහින් වාහනෙන් බහිනකොටම දැක්කේ මේ හතර ශ්‍රී පුංචි මී මැස්සා හෙවත් වෙස්පාව. බයික් වලට මහා ආසාවක් නැතත් ක්ලැසික් බයික් වලට ටිකක් ආසා, ඊට වඩා ටිකක් වැඩිපුර ක්ලැසික් ස්කූටර් වලට ආසා කෙනෙක් විදිහට ඉඳහිට පාරේ දකින Chetak එකක් අතගාන මට Vespa එකක් දැක්කම එන්නේ අර්ජුන කමලනාත්ලා අස්සෙන් විජය කුමාරතුංග මතුවුණා වගේ ෆීලින් එකක්... 

නැත්නම් කුසල් ජනිත් ගහනවා බලලා ඊට පස්සේ ජයසූරිය ගහනවා බැලුවා වගේ ෆීලින් එකක්...

එහෙම නැත්නම් නිව් බීට්ල් එකක් දිහා බලන් ඉන්නකොට ප්‍රේමතිලක මහත්තයාගේ කහ කිරිල්ලි එතනින් ගියා වගේ ෆීලින් එකක්...

මේවා ලියන්නේ Chetak වලට අපහාස කරන්න නෙමෙයි. හැබැයි වෙස්පා දෙනවා කිව්වොත් ඔය Chetak මල්ලිලා දුවන්නේ මාළු කාරයා මාලෝ කියන පරක්කුවට පූසෝ සේරම ඤාවෝ කියනවා වගේ ඉක්මනට...

ආපහු සතිපොළේ සීන්කෝන් එකට එනවා නම්, වාහනෙන් බහිනකොට දැක්ක 4 ශ්‍රී වෙස්පා එකට මගේ හිත හරියට මල්මල් විෂුවල් එකක කොල්ලා කෙල්ලට දැපනේ වැටෙනවා තරම් කුයික් එකේ වසී වුණා. මම වහාම ගිය වැඩේ පැත්තක දාලා සීනි ඇටේ වටේ කැරකෙන ඇඹල පුතා වගේ ඒක වටේ කැරකෙන්න පටන් ගත්තා.

ඒක දැක්කා එතන හිටපු අම්මෙකුයි දුවෙකුයි. එයාලා මන් දිහා බැලුවේ 'පිස්සෙක් ඇවිත්, අපි යමුද' වගේ භීති-පූර්වක මඤ්ඤං-මිශ්‍රිත අපහාස-ලාලිත ජංජාල-සජ්ජිත චෛතසිකයකින්...

මම එයාලගේ භී.ම.අ.ජ. තත්ත්වය එයාලට විඳගන්න ඇරලා දිගටම අර සීනි ඇටේ වටේ කැරකුණා.

ටික වෙලාවකින් වියපත් මහත්මයෙක්, හෙල්මට් එකකුත් දාගෙන, සන්සුන් ගමනින්, කෙහෙල් කඩේක ඇම්බුං යායක් අතරින් එළියට ආවා. මට තේරුණා මේ තමයි වෙස්පා ළඳගේ අතගත් හිමි සඳ කියලා.

මම සාමාන්‍යයෙන් අර අහක යන මිනිස්සුන්ගේ අතින් ඇදලා නවත්තගෙන උන් කාපු බූට්, ට්‍රිප් ගිය රූට් සහ මහගත්තු සූට් ගැන පැයක් තිස්සේ අහන ජාතියේ සමාජශීලී අපතයෙක් නෙමෙයි. ඒ නිසා එක තත්පරයක් මම කල්පනා කළා මෙතුමාට මී මැස්සා පිටේ නැගලා පියාඹන්න ඇරලා ආශාව දෙපරන්සේ ගහගෙන ගෙදර එනවද, නැත්නම් ඒ වයසක මනුස්සයව ගිනි අවුවේ හිට්ටෝලා තියලා පුරස්න අහනවද කියන එක.

අන්තිමට මම තෝරාගත්තේ පවුකාර ඔප්ෂන් එක.



සදාචාරය තකා එක්ස්කියුස් මී කියන්නත් කලින්, සංස්කෘතිය තකා නම ගම අහන්නත් කලින්, මනුස්සකම තකා ඔබතුමාට ඩිංගක් කතා කරන්න වෙලාවක් තියනවද අහන්නත් කලින්, ආගම තකා මේ මනුස්සයා අවුවේ මඩවන එක පවු නේද කියලා හිතන්නත් කලින්, කාර් පිස්සුව තකා මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

"මේක ඔබතුමාගෙද?"

මෙන්න මේ ප්‍රශ්නේ අහපු ගමන්, වාහන අයිතිකාරයාගේ මූණේ ඉරියවු වෙනස් වෙන දිශාව, වේගය, උස, දිග සහ පළල වගේ මානයන්ට අනුව, ඊළඟට තියෙන්නේ මතක සමුදායක්ද ගුටි පූජාවක්ද කියන එක සාමාන්‍යයෙන් කාර්/වෑන්/ලොරි/බයික් පිස්සන්ට තේරුම් ගන්න පුළුවන්.

වෙස්පා හිමිකරුගේ මුහුණේ තුංගා පියකරු හිනාවක් ඇඳුණා. ඒක ආඩම්බරය, සතුට, සැහැල්ලුව, හිතවත්කම සහ අත්දැකීම් බහුලත්වය වගේ බොහෝ දේවල් කැටිකරගත්තු හිනාවක්.

"ඔවු මගේ තමයි."

ඊළඟ ප්‍රශ්නය, පරණ වාහනයක් සහ වියපත් අයිතිකරුවෙක් දැක්කම නිතැතින්ම ඇහෙන ප්‍රශ්නයක්. හරියට කිඹුලා කිව්වම සතා මතක් වෙනවා වෙනුවට නිකම්ම බනිස් කියවෙනවා වගේ.

"කොච්චර කාලයක්ද ඔබතුමා ගාව?"

එතුමාගේ අර පියකරු හිනාව දෙගුණ වුණා.

"අවුරුදු පනස් අටක් විතර."

මම පුටින් බලන්න ඉන්නකොට රස්පුටින් දැක්කා වගේ හොල්මන් වුණා.

"ඒ කියන්නේ ෆස්ට් ඕනර් ඔබතුමා??"

"ඔවු. මම මේක ගත්තේ යුනිවර්සිටි යන්න. කාර් මාර්ට් එකෙන් ගත්තේ"

එතන ඉඳන් මම ප්‍රශ්න ඇහුවේ හරියට රංජන් මඩුගල්ලේ දැකපු රාජකීයයෙක් වගේ ගෞරව ඉරියවුවකින් (ඉස්සර ප්‍රින්සිපල් එනවා කිව්වත් කචකචේ නවත්තනේ නැති රාජකීය ශිෂ්‍යයෝ ඉස්කෝලෙට රංජන් මඩුගල්ලේ එනවා කෑ ගහන්නේ නැතුව ඉඳපල්ලා කිව්වම ජයමංගල ගාථා කියන්න බලාගෙන ඉන්න ගෑනු ළමයි වගේ සන්සුන් වෙනවා. දැන් නම් එහෙම නැතුව ඇති සමහරවිට). දකින මිනිස්සු හිතන්න ඇති මගේ පරණ ගුරුවරයෙක් හම්බ වෙලා කියලා.

එතන ඉඳන් ඉදිරියට එතුමා විස්තර කළා එතුමා ඔය පුංචි මී මැස්සට එච්චර ආදරේ ඇයි කියන එක. බැලින්නම් එතුමා ඉස්සර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති විදිහටත් කටයුතු කරලා තියනවා. තමන්ගේ බොහොම දීර්ඝ වෘත්තීය ජීවිතය ඇතුළේ, දවසක් දෙකක් හැර, වෙන කිසිම දවසක එතුමාට බස් එකේ ඉස්කෝලේ යන්න වෙලා නැහැ. 

අනික් අතට මේක නඩත්තු කිරීම, අද පවා, හරිම පහසුයි ලු. ඉඳහිට කොළඹ යන වෙලාවක, අවශ්‍යම නම් විතරක්, පංචිකාවත්ත පැත්තේ අර සුප්‍රකට අමතර කොටස් කඩ වලින් එතුමා අත්‍යවශ්‍ය අමතර කොටසක් දෙකක් අරගෙන තියාගන්නවාලු. ඒ ඇරෙන්න කවදාවත් වැඩ අතපසු කරගෙන බඩු හොයන්න තරමට ලෙඩ දීපු නැති වාහනයක් කියලා තමයි එතුමා කිව්වේ. මේ සියල්ල නිසා, රාජකාරි හෝ වෙනත් කටයුතු වලදී ගමනගමනය ගැන වද නොදී, කරන්න අවශ්‍ය දේ ගැන අවධානය දෙන්න එතුමාට මේ වාහනේ ජීවිත කාලෙ පුරාම උපකාරී වුණා ලු.

"මේක ඔය පොඩියට තිබුණට හරි සුවපහසුයි."

එතුමා වාහනේ අගය කිරීම අවසන් කළේ එහෙම.

"මම ෆොටෝ එකක් ගත්තට කමක් නැහැ නේද?" මම ඇහුවේ Vespa එකේ V අකුර වගේ ඇදවෙන ගමන්. එතුමාට කලින්ටත් වඩා ලොකු හිනාවක් ගියා.

"ගන්න ගන්න."

එහෙම කියලා එතුමා කැමරා කාචයට අහුවෙන සීමාවෙන් එහාට ගියා. මම බොහොම ඉක්මනට වෙස්පා එකේ ෆොටෝ එකතුනක් ගත්තා.



මට අවශ්‍ය වුණා එතුමා එක්ක සෙල්ෆි එකක් ගන්න. නැත්නම් අඩු තරමින් එතුමාගේ ෆොටෝ එකක් ගන්න. නමුත් දැනටමත් සෑහෙන වෙලාවක් එතුමාව අවුවේ තියාගෙන හිටපු නිසා ෆ්‍රන්ට් කැමරා ඔන් කරගෙන ගිනි අවුවේ ස්ක්‍රීන් එක බලන්න දඟල දඟල සෙල්ෆි ගහන නැහදිච්චි කමකට මගේ හැදිච්චි හිත නොනැවෙච්චි!

සමාවෙන්ඩ!

මම එතුමාට බොහොම ගෞරවයෙන් ස්තූති කරලා, සමු අරන් යන්න කලින් එතුමාගේ නම ඇහුවා.

"මම අසෝකරත්න..."

මට මුලින් අවශ්‍ය වුණේ මේ ෆොටෝ ටික නිකං ෆේස්බුක් එකේ දාන්න විතරයි. නමුත් දිගින් දිගට එතුමා සහ එතුමාගේ වෙස්පාව ගැන කල්පනා කරනකොට, මට හිතුණා මේක දීර්ඝව ලියන්න ඕන කියලා.

මගේ හදවතට වදින දේවල් මම ලියන්නේ බ්ලොග් එකේ. ෆේස්බුක් එක කොච්චර ජනප්‍රිය වුණත්, මගේ පොත් ප්‍රකාශන වැඩේට ඒක මට වචනයෙන් කියන්න බැරි තරම් ශක්තියක් වුණත්, හදවතේ ගැඹුරට කිඳා බහින හිනා කඳුළු අකුරු කරලා අලවන්න තරමට ෆේස්බුක් එක සංවේදී නැහැ කියලයි මට හිතෙන්නේ.

දැන් මට පුළුවනි මෙතන දීර්ඝ සංවාදයක් පටන්ගන්න, අපි ෆස්ට් ඕනර් වාහන වලට මෙච්චර ආසා ඇයි කියන එක ගැන. අවාසනාවකට ලංකාවේ බයින් ඇන්ඩ් සෙලින් කරන්න කබරගොයාලා ෆස්ට් ඕනර් වාහන කියන්නේ අසූව දශකයෙන් පස්සේ පවරා ගන්නේ නැතුව සීයකගේ විතර අතින් අතට ගිය වාහන වලට නිසා ඇත්තටම පළවෙනි අයිතිකරුවෙක් ජීවිත කාලයක් ආදරයෙන් බලාගත්තු ෆස්ට් ඕනර් කාර් එකක් හම්බවෙන්නේ හරිම කලාතුරකින්. නමුත් එහෙම සංවාදයක් පටන්ගත්තොත්, අසෝකරත්න මහත්මයාගේ ප්‍රේම කතාවට වඩා ඒ සංවාදයට අවධානය යයි කියලා මට බයයි. 

මට කතාකරන්න අවශ්‍ය මිනිස්සු සහ වාහන අතර තියන බැඳීම් ගැන විතරයි. ඒක අපේ කාලයේ මනුස්සකම් වල අපූරු පැතිකඩක්. 

මිනිහෙක් දශක හයක් තිස්සේ, තාක්ෂණය පියාඹද්දී, සංස්කෘතිය පුපුරා යද්දී, ජීවන රටාවල් සංකීර්ණ වෙද්දී, තමන්ගේ පෞද්ගලික ජීවිත ඔළුවෙන් හිටවෙද්දී පවා එක දෙයක් ළඟ තියාගෙන ආදරයෙන් රකිනවා නම්, මුල්ලක නොදා තාමත් එදා වගේම හරියට පාවිච්චි කරනවා නම්, එතන තියෙන්නේ නිකම්ම භාණ්ඩ හිමිකාරීත්වයක් නෙමෙයි. ඒක බැඳීමක්. මිනිස්සු සහ මනුස්ස නිර්මාණ අතර ඇතිවන අපූරු බැඳීමක්.




අසෝකරත්න මහත්මයට පහුගිය දශකයකදී අවශ්‍ය නම් ඕක විකුණලා තැපැල් නයින්ටියක් වගේ එකක් ගන්න තිබ්බා. නැත්නම් ටොයෝටා කොරොල්ලා එකක් ගන්න තිබ්බා. නැත්නම් ඩෙලිකා වෑන් එකක් ගන්න තිබ්බා.

ඒත් එතුමා ජීවිතේ හැත්තෑ වෙනි සැතපුම් කණුව පහුකරලා ඉද්දී පවා, දේශගුණ විපර්යාස මැද්දේ ක්‍රමයෙන් පෝරණුවක් බවට හැරෙමින් තියන පානදුර පොළේ, කොහෙන් ආපු මොකෙක්ද කියලා දන්නේ නැති මිනිහෙක් (හෙවත් මම) එක්ක, තමන් අවුරුදු පනස් අටකට කලින් ගත්තු වෙස්පා එක ගැන තමන්ගේ හිතේ තියන ආදරය වචන වලට හරවනවා.

මගේ ලිවිල්ල උපදින්නේ මේ මිනිස්සුන්ගේ හදවත් වලින්...

ඒ හදවත් වලට මම සදා ණයගැතියි...!
   
තරිඳු ශ්‍රී ලොකුගමගේ 




45 comments:

  1. සුපිරියටම ලියල.
    මාත් එහෙන් මෙහෙන් දැක්ක වගේ ලාවම මතකයක් තියෙනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. පොඩි පේන්ට් කිරීමේ අවශ්‍යතාවක් ආවොත් ඒක පවා කරගන්නේ එතුමා ම ලු...

      Delete
  2. මම 7 ශ්‍රී CD 200 එකක් පාරේ යනවා දැකල නවත්තගෙන ඔය ඉන්ටර්වීව් එකම කලා. ෆෝටෝත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ලියලා තියනවද විස්තර කොහෙහරි? කියවන්න කැමතියි.

      Delete
    2. අනේ මම ලියන්නේ නෑ.ඔයගොල්ල ලියන ඒවා කියවන එක විතරයි මම කරන්නේ.

      Delete
  3. එ් කාලෙ කාර් පිස්සුවට බයිසිකලය පෙන්නුවාම හයිබ්‍රිඩ් පදින සූටි මල්ලියෙක්ට කුඩමිට රෙනෝල්ට් එකක් පෙන්නුවාම මූණ හපුටු වෙලා ඇදවෙලා යන ආකාරයේ හැඟිමක් එක්ක මං බයිසිකලයට ලැයිසම වත් ගත්තෙ නැතෙයි කියාගෙන පෙට්‍රලුයි ගින්දරයි වගේ ඇතිං තියං හිටපු උන්දෑට දෙබරෙක්ට තරං හයිය ඇති බඹරෙක්ට තරං ගාය ඇති ⁣මීමැස්සෙක්ගෙ රුව ඇති මේ පුංචි හාදයා ගැන බ්ලොගයක් ලියන්න තරං හේතු කාරනා උපද්දච්ච හේතුවෙන්, පතරංග කාර් පැදපු බෝ දැන් මේ කූටරයක් බදන් අහවලක් කරනවාදැයි අහන වෙලාවට ටුවෙල්ටෙන් ලොරි රිමයක රිම් ලොක් පන්නපන්න කිලෝ⁣ ⁣ ⁣පහේ කුලුගෙඩිය ජිම් නොගිය තනි අතින් උස්සලා දඩං ගාලා ගහන්නැහෙ ගහනවාමයි.
    මීට
    විසා

    ReplyDelete
    Replies
    1. හම්මේ හාරසිය හතරෙන් චේටක්කුවකට මංගැච්චු විසාණන, තොම වදන් මෙහි දකිත මිහිරෙන් පිරේ මසිත...

      Delete
  4. වැටිච්ච ඉතාලිය නැගිටිද්දි අතපය වාරුවට හිටි වාහන. ඔව්වා කැඩෙන්න හදපු වාහන නෙවෙයි. අටෝගෙන හරි දුවන්න හදපු වාහන. දැන් වාහන කියල හදන්නෙ කොඩිවින. මට හිතෙන හැටියට අලුත් ඔප්ෂන් දාලා සෙන්සර් හරිකරලා, ඇඟිල්ල අඟලක් දුර හෙලවිල්ල අඩුකරන්න හෙනම ඔප්ෂන් දාලා, වැඩි වැඩ දාලා හදන හැම වාහනයක්ම පාරට වැටෙන්නෙ රෙපෙයාර් එකක් ආවොත් වාහනේ මිලෙන් කාලක් අමතර කොටස් හරහා ආපහු කොම්පැනියටයි, ඉතුරු ටික අලුත්වැඩියා කරන කෙනාටයි යන විදිහට.

    ඒ අතින් මනුස්ස සරීරෙට ගෝචර මේ වගේ වාහනත් තියෙනවා. එව්වා හදන මිනිස්සුත් එව්වා ජීවිත කාලෙම ලඟ තියාගෙන පදින මිනිස්සුත් හදවතින් එක සමානයි.

    ReplyDelete
    Replies
    1. අදහස් වලට ස්තූතියි මචං...

      ඒක නෙමෙයි. මම උඹෙන් අහන්න හිටියේ. මොකෝ නිහඬ මේ දවස් වල...?

      Delete
    2. වැඩ වැඩියි. හිත අවුල්. ජීවිතේ බර ගියර්වල කඳු අදින කාලෙ ඇන්ජිම හීට් නොවී, තෙල්ටික ඉවර නොවී, වැඩිය පහු නොවී අදින කාලයක්. පල්ලම එනකං ටිකක් නිසොල්මනේ.

      Delete
    3. නිදහසේ පණිවිඩයක් එවඤ්ඤං

      Delete
  5. ඒ වගෙම ලොක්කයියෙ උඹත් ගනිං පරණ බොක්සර් එකක් හරි සීටී හන්ඩ්‍රඩ් එකක් හරි. ඉස්සරහ මඩ් ගාඩ් එකය් පස්සෙ නොම්බර තහඩුවයි හැඬල් එකේ දෙකොනයි අතරෙ හෙල්මට් එකට වැහිච්ච, වයිසර් එකෙන් පේන අමුතු නිදහසක් තියෙනව. ඒකට ඇබ්බැහි වෙච්ච එකා තනියම ගමනක් යද්දි ගොඩ වෙන්නෙ බයිසිකලේට මිසක් කාර් එකට නෙමෙයි. එක වාසියක් හැටියට කිව්වොත් පාරෙ යන කෙල්ලෙක්ගෙ ලස්සන පස්සක් දිහා වැඩිවෙලාවක් අනතුරක් නැතුව බලන්න නං කාරෙකට වඩා බයිසිකලේ මල් මසුරං

    ReplyDelete
    Replies
    1. එහෙම බලන්න ගිහින් අපේ කපිල යා ගේ පුතණ්ඩියා හතර ගාතේ දාසය පොළකින් කඩාගෙන දැන් මාස ගානක් තිස්සේ බේත් කොරනවා :(

      Delete
  6. අඩෝ...සිරාවට මම දන්නේ නැහැ වෙස්පා එක මේ තරම් වටිනවා කියලා...අපේ ගෙදර එකක් තියනවා අම්මා දර අහුරනවා...හදලා ගන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. නෙද්දකිං ඒක කියපු ලස්සන.

      Delete
    2. යකෝ මෙන්ඩයියේ උඹව සමීපස්ථ ඇඟලුමකින් එල්ලන්න එපැයි. අනේ හදාපන්න ඕක!

      Delete

    3. එල ද බ්‍රා මෙන්ඩෝ මට දියංකෝ

      Delete
    4. කවුද බන් දන්නේ..වෙස්පා වටිනවා කියලා....මම හිතාගෙන හිටියේ හොනට් ට්‍රෙල් තමයි වටින්නේ කියලා

      Delete
  7. සුපිරිම කථාවක්.....
    හිත හිතා ඉන්න දෙයක් නෑ ඉක්මනටම ගේමු එකක් විශාරද තුමාට වෙච්ච⁣ ද් ඔයාට වෙන්නෙ නෑ ⁣mokada ඔයා අව්වෙ යන්නෙ නෑ සුවර් එකටම කළු වෙයි කියලා බයට.....��
    (lahiru mallikaarachchi)

    ReplyDelete
    Replies
    1. //කළු වෙයි කියලා බයට// හනේ යකූ. හැක්.

      එනිවේ, බොහොම ස්තූතියි ප්‍රතිචාරයට... :)

      Delete
    2. හිහි.... ඊටත් එහා ඩිංගක් හිතුවනං මං කියපු එක.....ධනුක අයියන්ඩිට වඩා ඩිංගක් සුදුයි ne.....

      Delete
  8. පරණ ඉස්කෝලේ මහත්තයලා හරිම ආදරෙයි මේ වගේ එව්වට. දවසක් මං ගම් පැත්තේ රවුමක් දාද්දි.. ගෙයක් ඉස්සරහා කිරි කිරි සී නයින්ටියක් තියනවා 88 නම්බර්... ගිහිං අහපුවහම ඒ ගෙදර හිටපු ඉස්කෝලේ මහත්තයාගේ. මහත්තයා මැරිලා. නයින්ටිය දැන් ගෙදර ඉන්න උදවිය විකුනලා දාන්නයි ලෑස්තිය. කොළ පොත් බලපුවහම එයා first owner! හිත හිතා හිටියේ නෑ. ඒ වෙලේම සල්ලි දීලා තල්ලු කරන් ගෙදර ගේනවා. තෙල් පොඩ්ඩක් පෙන්නලා.. චෝක් එක ඇදලා ගැහුවා. මෙන්න කිචි කිචියට දුවනවා!

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි. කියෝගෙන යද්දී මම බය වුණේ වටිනාකම නොදන්නා පොරක් අතට ගිහින් විනාස වෙලා කියන්න හදනවද කියලා. වාසනාවන්!

      Delete
  9. හොඳටම හිතට වැදුණු කතාවක්...අසෝකරත්න මහත්මයා මේ වෙද්දී තමන්ගේ ජිවිතේ අටවෙනි දශකය පෙනෙන මානේ ඉන්නවා වෙන්න ඕනේ...එහෙම කෙනෙක් මේක හරි සුවපහසුයි කියලා කියනවා කියන්නේ ඉතින් එකේ ආයේම හෝදලා තාරබර ඇරලා ගන්න දෙයක් නෑ...ඒක ඉරහඳ වගේ ෂුවර්.මේ විදිහටම නඩත්තු කෙරුනොතින් අසෝකරත්න මහත්මයාගේ දෙවෙනි පරම්පරාවටත් බොහොම ලෙන්ගතුව වෙස්පාව සේවය සපයාවි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි මල්ලි. මගෙත් බලාපොරොත්තුව එතුමාගේම පවුලේ අය මේක ඉදිරියටත් ආදරයෙන් පාවිච්චි කරාවි කියන එක.

      Delete
    2. ඔව්......යේස්....අපිත් එහමයි පරම්පාරාවෙන් පරම්පාරවට දර අහුරන්න ගන්නවා

      Delete
  10. දැන් තියෙන බයික් කියල මිනීමරු වාහන වලට වඩා මාත් ඕවට ආසයි. ෆොටෝ ගහල නිකං බුකියෙ අලෝනවට වඩා මෙහෙම මේ ගැන සඳහනක් කරපු එක වෙස්පා එකටයි අසෝකරත්න මහත්තයටයි කරපු ගෞරවයක් හැටියටයි මම දකින්නෙ.

    ReplyDelete
    Replies
    1. //දැන් තියෙන බයික් කිය[න] මිනීමරු වාහන වලට වඩා// සහතික ඇත්ත ප්‍රසන්න අයියා.

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
    2. දර අහුරන්නත් මරු වාහනේ

      Delete
  11. තරිදු පුතේ
    බලල තියෙනවද ඇමරිකාවේ History channel එකේ ගිය American restoration මාලාව .
    බොහොම අසා හිතේවි , ඔය වගේ පරණ බඩු restore කරන විදිය , පරණ කොටස් හොයා ගන්න විදිය
    හරිම අනර්ගයි

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබ්බා ඇහැ වදින වදින හැම කාර් වැඩසටහනක්ම අත් නොහැර බලපු. බොහොම ස්තූතියි ආපහු මතක් කළාට.

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. මං පොඩි කාලෙ අපේ ගෙවල් ලඟ ඉස්කෝලෙ ටීච කෙනෙක්ගෙ ගෙදර ඔය ජාතියෙ එකක් තිබ්බ මතකයි. දන්න විදිහට ඒක එයාගෙ මහත්තයගෙ තාත්තා පැදපු එකක්. ටික කාලෙකට පස්සෙ ඒක කාටද විකුණනවා දැක්කා. ගෙදර එවුන්ට වඩා මට දුක හිතුණා ඒකට.

    ReplyDelete
    Replies
    1. එතනත් කොච්චර කතා ඇද්ද! සමහර විට ගෙදර අය දැන් සෑහෙන්න දුක් වෙනවා ඇති ඒ ගැන...

      Delete
  14. ඒයි අයියේ.....මටමේ කතාවමිස් වෙලානේ... දෙයියෝ...... ��
    කූටර්වදියෙක් විදියට කියන්නේ.... චැටැක් වේවා වෙස්පාවලත් px , lml,t5 පදින ඈයෝ පවා ඩක් එකක් ඉස්සරහා අර ඔයා කිව්වවගේ වෙස්පා එකෙ V අකුරේ හැඩේට ඇබරෙනවා තමා අයියේ... ��
    චෙටැක් 96 හිමිකාරීත්වයකට උරුමකම් කියන මාත් එච්චරයි.... මගේ උන්දැත් මගේ වයසමයි . ඒ උනාට බලන්ඩෝනි දාංගලේ . කෝමහරි ඔයාගෙත් වහලේ යටට මිනියට එහායින් සූට්ටං ඇබිත්තක් තරං ඉඩක ලස්සනට කූටරයක් පාක් කරන්න හැකිවේවා.... සාදු සාදු සා...... ��❤️
    චේතිය අකලංක
    හිතාදර ස්කූටර්වාදියා ��

    ReplyDelete
    Replies
    1. හම්මේ... වෙස්පා වාදියෙකුගේ බොක්කෙන්ම මතුවූ කොමෙන්ටුවක්...
      බොහොම ස්තූතියි චේතිය...

      Delete
  15. මාරයිනෙ...අවුරුදු 58ක් ? එතන ඇති මාර බැඳීමක්..

    මම සාමාන්‍යයෙන් යකඩ එක්ක ඔය වගේ බැඳීම් ඇති කරගත්තෙ නැතත්, කලින් කාර් එක විකූනලා අලුත් අයිතිකාරයා ඒක අරන් යනවා බලන් ඉද්දි නොදැනීම කදුලු කඩන් වැටුනා...

    මේ මනුස්සයාට ඕක ජීවිතෙම කොටසක් වෙලා ඇති..

    ලස්සන ලිවිල්ල තරිඳු.. උපමාවල් කොහෙන්එනවද කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්නා. මට පස්සේ දවසක ඔතනදීම, ඔය විදිහටම ඔය මනුස්සයා ආපහු මුණගැහුණා. එයා ආසා කරපු දේවල් වලට දැන් දරුවෝ ආසා නැහැ. දැන් අසූවක් නිසා ඒ මනුස්සයට කරන්න දේකුත් නැහැ.

      ඒක මහා දිග කතාවක් සෙන්නා...

      Delete
    2. උඹ වගේ එකෙක් එහෙව් දිග කතාවක් තියනවා කියන්නෙ කියවන අපේ වාසනාව නොවැ. කම්මැලි නැතිව ඔහොම්ම අදිමු..එහෙනම්... 😀

      Delete
  16. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete